ඔස්ට්‍රේලියාව 1ට 1 කරයි | දිනමිණ

ඔස්ට්‍රේලියාව 1ට 1 කරයි

 නේදන් ලයන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශයේ චිතගොං හිදි පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් සත්කාරකයන් පරදවා කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව නිමාකර ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකි විය.

ලකුණු 72ක් පසුපසින් ඊයේ දෙවැනි ඉනිම ඇරැඹු බංග්ලාදේශය දෙවැනි ඉනිමේදී ලකුණු 157කට දැවී ගියේ ඔස්ට්‍රේලියාවට ලකුණු 86ක ඉලක්කයක් ලබාදෙමිනි. එම ඉලක්කය කඩුලු 3ක් බිඳ වැටී තිබියදී සපුරා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. පීටර් හැන්ඩ්ස්කොම්බ් ලකුණු 16ක් හා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 25ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඩේවිඩ් වෝනර් ලකුණු 8ක්, මැට් රෙන්සොව් ලකුණු 22කට හා ස්ටීවන් ස්මිත් ලකුණු 16කට දැවී ගිය පිතිකරුවන් වූහ.

කඩුලු 9ක් දැවී ලකුණු 377ක් ලබාසිටියදී ඊයේ සිවුවැනි දිනය ඇරැඹූ ඔස්ට්‍රේලියානු අවසන් කඩුල්ල ලකුණු ලබාගැනීමට පෙර බිඳ වැටිණි.

ලකුණු 157කට සීමාවූ බංග්ලාදේශ දෙවැනි ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 43ක් තුළ බිඳ වැටිණි. අනතුරුව නායක මුෂ්ෆිකර් රහීම් හා සබීර් රෙහෙමාන් එක්ව 6වැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් පිහිටුවමින් බංග්ලාදේශ ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට සමත්වූහ. රහීම් ලකුණු 31ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. රෙහෙමාන් ලකුණු 24ක් රැස්කළ අතර මොමිනුල් හක් ලකුණු 29ක් වාර්තා කළේය. ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසු කිරීමට නොහැකි විය.

විශිෂ්ට පන්දු යැවීමක නිතරවූ නේදන් ලයන් ලකුණු 60ක කඩුලු 6ක් දවාගත් අතර ඔහු පළමු ඉනිමේදී කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය. එය ඔස්ට්‍රේලියානු පන්දු යවන්නකු ආසියාවේදී දැක්වූ ඉහළම දස්කම ලෙස සටහන් වෙයි. මින් පෙර ස්ටීවන් ඕ'කෆී ඉන්දියාවට එරෙහිව පූනේ හිදී ලකුණු 70කට කඩුලු 12ක් දවාගැනීම ඔස්ට්‍රේලියානු පන්දු යවන්නකුගේ ආසියාවේදී ඉහළම දස්කම විය.

ඒ සමග තරග දෙකේදී කඩුලු 22ක් දවාගත් ලයන් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියක ලොව දෙවැනි හොඳම පන්දු යැවීමේ වාර්තාව සම කිරීමට සමත් විය. මුත්තයියා මුරලිදරන් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 22ක් දවාගෙන ඇති අතර එහි පළමු තැන රැදී සිටින රංගන හේරත් පාකිස්තානයට එරෙහිව කඩුලු 23ක් දවාගෙන තිබේ.

බංග්ලාදේශ පළමු ඉනිම - 305යි. මුෂ්ෆිකර් රහීම් 68, සබීර් රෙහෙමාන් 66, නසිර් හුසේන් 45 (නෙදන් ලයන් 94/7, ඇෂ්ටන් ආගර් 52/2) සහ දෙවැනි ඉනිම - 157යි. මුෂ්ෆිකර් රහීම් 31 (නේදන් ලයන් 60/6)

ඔස්ට්‍රේලියා පළමු ඉනිම - 377යි. ඩේවිඩ් වෝනර් 123, පීටර් හැන්ඩ්ස්කොම්බ් 82, ස්ටීවන් ස්මිත් 58 (මුස්තෆිසුර් රෙහෙමාන් 84/4, මෙහෙදි හසන් 93/3) සහ දෙවැනි ඉනිම - 87/3යි. 

නව අදහස දක්වන්න