ශ්‍රී ලංකා සුපර් සීරීස් අවසන් අදියර හෙට | දිනමිණ

ශ්‍රී ලංකා සුපර් සීරීස් අවසන් අදියර හෙට

ගීෂා මුණසිංහ

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR), ආසියානු මෝටර් රථ ධාවයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) හා කොළඹ මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (CMSC) සමග එක්ව 2017 වසර වෙනුවෙන් සංවිධාන කළ ශ්‍රී ලංකා සුපර් සීරීස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ අවසන් වටයේ තරග හෙට (09) පන්නල ස්පීඩ්ඩ්‍රොම් ධාවන පථයේදී පැවැත්වෙයි.

මෝටර් රථ තරග ඉසව් 12ක් හා යතුරුපැදි තරග ඉසව් 8කින් සමන්විත දිවා රාත්‍රී තරගාවලියක් ලෙස සංවිධාන කර ඇති මේ තරගාවලියේ මෝටර් රථ තරග සඳහා තරගකරුවන් 139ක්ද, යතුරුපැදි තරග ඉසව් නියෝජනය කරමින් තරගකරුවන් 87 දෙනෙකු තරග වැදීමට නියමිතය.

වසර තුනක් සංවිධාන කළ කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලියෙන් පසු මෙරට පැවැත්වෙන පළමු දිවා රත්‍රී මෝටර් රථ ධාවන තාරගාවලිය ලෙස මෙය පැවැත්වෙයි. කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලිය සංවිධාන කළ කොළඹ මෝටර් රථ ධාවයන්ගේ සංගමය මේ තරගාවලියේ ප්‍රධානතම කාර්යභාරයක් උසුලන අතර ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය ප්‍රමුඛව ක්‍රියාකරයි.

සිවුවැනි අදියර වූ කමාන්ඩෝ චැලේන්ජ් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය අවසන් වනවිට මෝටර් රථ තරග කාණ්ඩයේ ශූරයා ලෙස අශාන් සිල්වා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර යතුරුපැදි ශූරයා ලෙස ඉෂාන් දසනායක ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි. අශාන් පසුපසින් කුෂාන් පිරීස් පසුවන අතර ඉෂාන් පසුපසින් ඉවෝන් බියාජී ගුරුසිංහ පසු වෙයි.

තරගාවලිය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියෙන් පසු එදින ජයග්‍රාහකයන්ට කුසලාන පිරිනැමිමට නියමිත අතර ශ්‍රී ලංකා සුපර් සීරීස් සමස්ත තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයාට හිමි කියා පිකැන්ටෝ මෝටර් රථය හා දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි හොන්ඩා හොනට් යතුරුපැදිය ඇතුළු කුසලාන හා ත්‍යාග පසුවට උත්සවත්ශ්‍රීයෙන් පිරිනැමීමට තරග සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ නියැලි ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ටද නවමු අත්දැකීමක් එක් කීරීමට ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගාවලියේ අවසන් අදියර සමත්වනු ඇති මෙන්ම ජාත්‍යන්තරයට යන ජාතික ක්‍රීඩකයන්ටද මෙය මහගු රුකුලක් වන නොවනු මානයි.

ශ්‍රී ලංකා සුපර් සීරීස් 2017 තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අබේ සහ සමාගම කටයුතු කරන අතර විෂන් කෙයා, ‘කීයා’ මෝටර්ස් (ලංකා) හා ස්ටැෆඩ් මෝටර්, සම අනුග්‍රහකයන් ලෙස ක්‍රියා කරයි. 

නව අදහස දක්වන්න