ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේ දී අශාන්-ජාක් ශූරතා දිනති | දිනමිණ

ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේ දී අශාන්-ජාක් ශූරතා දිනති

 සියැට්-ස්ලඩා මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ තෙවැනි වටය වූ ‘ගජබා සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම රියදුරු ලෙස අශාන් සිල්වාත්, දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ජාක් ගුණවර්ධනත් සම්මාන දිනා ගත්හ.

ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුව හා ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය සමග එක්ව 16 වැනි වරට සංවිධාන කළ විශිෂ්ටයන් අතර විශිෂ්ටයන් තොරාගන්නා ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය පසුගියදා අනුරාධපුර සාලියපුර ගජබා ධාවන පථයේදී නිමා විය.

එහිදී අශාන් සිල්වා ‘එස්.එල්./ජී.ටී.’ 3500 සී.සි. කඩයිම් පළමු තරගයෙන් දෙවැන්නා ලෙසත් අවසන් තරගයෙන් පළමු වැන්නා ලෙසත් ජයගනිමින් දක්ෂතම මෝටර් රථ ධාවකයාට හිමි ගජබා ශූරතාව දිනාගත්තේ තෙවැනි ගජබා ජය සටහන් කරමිනි. ජාක් ගුණවර්ධන ‘එම්. එක්ස්.’ කාණ්ඩයේ 175-250 සී.සී. (4ටී.)/ 100-125 සී.සී. (2ටී.) තරග ඉසව් දෙකෙන්ම පළමු වැන්නා වෙමින් දක්ෂතම යතුරුපැදි ධාවකයට හිමි ගජබා ශූරතාව දෙවැනි වටරත් දිනා ගැනීමට සමත් විය.

සියැට් කැලණි ටයර් පුද්ගලික සමාගම අනුග්‍රහයෙන් හා මැලිබන් බිස්කට් සමාගමේ සම අනුග්‍රහයෙන් පැවැති තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 14 ක් හා යතුරුපැදි තරග ඉසව් 11ක් ඇතුළත්ව තිබිණි.

අශාන් සිල්වා ‘එස්.එල්./ජී.ටී.’ 3500 සී.සි. පළමු කඩයිම් තරග ඉසව්වෙන් පෙරමුණේ සිට ඉතා හොඳ ආරම්භයක් ලබාගත්තද තරග තීරකයන් විසින් ඔහුගේ ආරම්භය නීති විරෝධි යැයි සටහන් කරමින් තරගය තුළදී ඔහුගේ වරද නිවැරැදි කිරීම කළේය. ඒ සඳහා ගතකළ ක්‍රමවේදයේ අඩුවක් නිසා අශාන්ට එම තරගයෙන් හිමිවූයේ දෙවැනි ස්ථානයයි. ඉෂාක් වහාබ් පළමු වැන්නා ලෙස තරගය නිමාකළ අතර සජාඩ් සුහයිර් තෙවැන්නා විය. එම ඉසව්වේම දෙවැනි කඩයිම් තරගයෙන් පෙරමුණ ගනිමින් තරගය ආරම්භ කළ උෂාන් පෙරේරාට සාර්ථක අවසානයක් කරා ළගා විය නොහැකි විය. කුෂාන් පිරීස් පළමු වැන්නා ලෙස තරගය නිමා කරමින් දෙවැනි කඩයිම් තරගය ජයගත් අතර ජනක ඩයස් දෙවැන්නාද අරවින්ද ප්‍රේමදාස තෙවැන්නාද ලෙස තරගය නිමා කළහ. පසුගිය වසරේ දක්ෂතම රියදුරු වූ උෂාන්ගේ මෝටර් රථයේ කාර්මික දෝෂය නිසා සාර්ථක අවසානයක් ලබා ගත නොහැකි විය. ඉෂාක්, කුෂාන් හා අශාන් එක, දෙක හා තුන ලෙස පෙරමුණ ගනිමින් පළමු හා දෙවැනි කඩයිම් තරග දෙකෙන්ම ජයගත් පළමු සිවුදෙනා තෝරාගෙන අවසන් ශූරතා තරගය පැවැත්විණි. එහිදි තුන්වැන්නා ලෙස තරගය ආරම්භ කළ අශාන් තරග අාරම්භ කර පළමු වංගුවේදීම පෙරමුණ ගත් අතර තරගය අවසන් වන තුරුම පෙරමුණේ පසුවෙමින් ගජබා මෝටර් රථ ශූරතාවට හිමිකම් කීමට සමත් විය. කුෂාන් දෙවැන්නා ද සජාඩ් තෙවැන්නාද ජනක සිවුවැන්නා හා අරවින්ද පස්වැන්නාද ලෙස තරගය නිමා කළහ. අශාන් හා කුෂාන් සම ප්‍රසාද ලකුණු ලබාගෙන සිටියත් අවසන් තරගයෙන් ජයගත් අශාන්ට කුසලානය හිමිවිය. නව වතාවක් ගජබා කිරුළ දිනාගත් අරවින්ද ප්‍රේමදාසට හිමිවූයේ පස්වැනි ස්ථානයයි.

ජාක් ගුණවර්ධන ‘එම්. එක්ස්.’ කාණ්ඩයේ 175-250 සී.සී. (4ටී.) / 100-125 සී.සී. (2ටී.) තරග ඉසව් දෙකෙන්ම කිසිදු අභියෝගයකින් තොරව ජයගත් අතර තරග ඉසව් දෙකෙන්ම ගයාන් සඳරුවන් දෙවැන්නා විය. පළමු තරගයෙන් බුද්ධික කසුන් සිල්වා තෙවැන්නා ලෙසත් ළහිරු ජීවන්ත සිවුවැන්නා ලෙස තරගය නිමා කළ අතර ඉවෝන් බීයාජී ගුරුසිංහ පස්වැන්නා විය. එම ඉසව්වේම දෙවැනි තරගයෙන් ඉවෝන් බීයාජී ගුරුසිංහ තෙවැන්නා වෙද්දී ළහිරු ජීවන්ත සිවුවැන්නාත් ෂෙහාන් සී. අධිකාරී පස්වැන්නාත් විය. මේ තරග ඉසව් දෙකේදීම ගයන් හා ඉවෝන් අතර සටනක් පැවැතුනත් තරග දෙකේදීම ඉවෝන් ධාවන පථය තුළ සමබරතාවය ගිලිහී ගොස් ඇඳ වැටිණි. හය වරක් ගජබා යතුරුපැදි ශූරයා වූ ගයාන් සඳරුවන් තරග දෙකෙන්ම දෙවැන්නා විය.

දිනයේ වැඩිම මෝටර් රථ සංඛ්‍යාවක් එක්වූ “එස්.එල්. /එන්.” කාණ්ඩයේ ෆොඩ් ලේසර් /මැස්ඩා 1500 සී.සී. තරග ඉසව්වෙන් ප්‍රවීණ මෝටර් රථ ධාවක උපුල්වන් සේරසිංහ ජයගත් අතර රජීත උළුවිට දෙවැන්නා විය. ප්‍රවීණයෙක් වන උපුල්වන් හ නවකයකු වන රජීත අතර කරට කර තරගයක් දැක ගත හැකි වුවත් දස වසරකට වැඩි අත්දැකීම් ලත් මෝටර් රථ ධාවකයකු වන උපුල්වන් ඉතා සියුම් ජයක් වාර්තා කිරීමට සමත් විය. 1300 සී.සී. ‘එස්.එල්. /එන්.’ කාණ්ඩයේ ෆොඩ් ලේසර් /මැස්ඩා ඉසව්වෙන් කුෂාන් පිරීස් ජයගත් අතර දෙවියන් ‘එස්.එල්. /ඊ.’ කාණ්ඩයේ නිසාන් මාච් 1000 සී.සී. තරගයේ පළමු වැන්නා විය. ‘එස්.එල්. /එච්.’ කාණ්ඩයේ නිසාන් මාච් 1618 සී.සී. ඉසව්වෙන් කුෂාන් පිරීස් ජයගත් අතර සුපුරුදු ලෙස මල්ලික කුරුවිටආරච්චිගේ ‘එස්.එල්. /එච්.’ කාණ්ඩයේ සුභාරු ලෙගසි 2200 සී.සී ඉසව්ව ජය ගත්තේය.

ඉෂාක් වහාබ් ‘ටී. හා ජේ.’ කාණ්ඩයේ විවෘත ට්‍රක් හා ජීප් රථ තරගයෙන් ජයගත් අතර කේ. පරමේෂ්වරන් ‘එස්.එල්. /ඒ.’ කාණ්ඩයේ මිනි 07 තරග ඉසව්වෙන්ද ‘එස්.එල්. /එච්.” කාණ්ඩයේ ඕස්ටින් මිනි 1275 සී.සී. තරග ඉසව්වෙන් චානක රත්නායකද, අජිත් කීර්ති ‘එස්.එල්. /ඒ.’කාණ්ඩයේ නවීකරණය කළ 1050 සී.සී. ඉසව්වෙන් ජයග්‍රහණ හිමිකර ගත්හ.

‘එම්.එක්ස්. රේසිං’ කාණ්ඩයේ 100-125 සී.සී.මෝටර් ක්‍රොස් (2ටී.) සන්නද්ධ සේවා තරග ඉසව්වෙන් බුද්ධික කසුන් සිල්වා ජයගත් අතර සන්නද්ධ සේවා හා විවෘත ඉසව්වෙන් ඉෂාන් දසනායක ජය වාර්තා ‍කළේය.

ඉමල් මංචනායක ‘එස්.එම්.’ කාණ්ඩයේ සුපර් මෝටාඩ් 250-750 සී.සී. (4ටී.) /125-500 සී.සී. (2ටී.) ඉසව් දෙකෙන්ම ජයගෙන පළමු වරට පිරිනැමුණු ආනන්ද වෙඩිසිංහ අනුස්මණ කුසලානය දිනාගැනීමට සමත් වූ අතර මිනුක රත්නායක ‘ජේ.’ කාණ්ඩයේ ‘එම්.එක්ස්.’ 50 සී.සී. අවුරුදු 7 -10 අතර තරගයෙන්ද, කේෂර ගොඩගේ 65- 85 සී.සී. (2ටී.) 13 න් පහළ තරගයෙන්ද, විනුක රත්නායක 65- 85 සී.සී.(2ටී.) 16 න් පහළ තරගයෙන්ද ජය වාර්තා කළහ.

ඉවෝන බීයාජී ගුරුසිංහ ‘එම්.’ කාණ්ඩයේ එස්.ටි.ඩී. /එම්.ඕ.ඩී. 175- 250 සී.සී. (4ටී.) /100-125 සී.සී. (2ටී.) පළමු තරගයෙන් ජයගත් අතර නිහාල් විජේරත්න නැවතත් තරග කිහිපයකට පසු ‘එම්.’ කාණ්ඩයේ එස්.ටි.ඩී. /එම්.ඕ.ඩී. 125 සී.සී. (2ටී.) ඉසව්වෙන් පසු ජයක් වාර්තා කළේය.

මේ තරගාවලිය ආරම්භ වීමට පෙර දිනයේ ආරාධිතයා වූ ගජබා රෙජිමේන්තුවේ වත්මන් රෙජිමේන්තු අධිපති හා යුද හමුදා විධායක ජෙනරල් වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්‍වා ජ්‍යෙෂ්ඨ නිලධාරි‍තුමන් හා ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් නිලධාරියකු වන මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ මහතාගේ හා ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ මෝටර්රථ ධාවක මහේෂ්ගම්මන් පිල මහතාගේ සහාභාගීත්වයෙන් මෙරට යතුරුපැදි ධාවනයේ ජ්‍යෙෂ්ඨ ධාවකයකු ලෙස අඛණ්ඩව විසිපස් වසරකට වැඩි කාලයක් ධාවන තරගයන්ට සහභාගි වෙමින් ජයග්‍රහණ රැසකට හිමිකම් කියමින් සිටියදී මේ වසරේදී වියෝ වූ ආනන්ද වෙඩිසිංහ නමින් ගජබා ධාවන පථයේ ප්‍රධාන ප්‍රේක්ෂක මණ්ඩපයක් නම් කිරීමද සිදුවිය. මේ අවස්ථාවට ආනන්දගේ සො‍යුරු උදේෂ් වෙඩිසිංහද සහභාගී විය.

ත්‍යාග හා කුසලාන ප්‍රදානය ගජබා රෙජීමේන්තුවේ හිටපු සේනා විධායක මෙන්ම කීරීතිමත් යුද නිලධරයකු වන මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ හා මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්‍වා මහාතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ගීෂා මුණසිංහ
ඡායාරූප - රුක්මාල් ගමගේ

නව අදහස දක්වන්න