කසළ කළමනාකරණය පිළිබඳව මිනුවන්ගොඩ නගර සභාව විශේෂ අගැයීමකට | දිනමිණ

කසළ කළමනාකරණය පිළිබඳව මිනුවන්ගොඩ නගර සභාව විශේෂ අගැයීමකට

 බාහිර ආයතන සඳහා මුදල් වැය නොකර විධිමත් කසළ අපහරණ ක්‍රමයක් මඟින් මිනුවන්ගොඩ නගරය කසළ ගැටලුවෙන් තොරව පවත්වාගෙන ගොස් දෙවසරක් තුළ රුපියල් කෝටි දෙකක් ඉතිරි කරගනිමින් බස්නාහිර පළාතේ ප්‍රමුඛස්ථානයට පත්වීම පිළිබඳව මිනුවන්ගොඩ නගර සභාව බස්නාහිර පළාත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ විශේෂ ඇගයීමකට ලක්ව ඇත.

ග්‍රාම නිලධාරි වසම් හයකින් යුත් මිනුවන්ගොඩ නගර සීමා බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් හතර හමාරකට ආසන්නය. නිවාස 2300 කින් හා ව්‍යාපාරික ස්ථාන 1100 කින් සමන්විතය. වාර්ෂිික කසළ කළමනාකරණ සැලැස්ම අනුව බල ප්‍රදේශය කලාප හතරකට බෙදා කසළ එක්රැස් කිරීම සිදුවේ.

මේ වැඩ පිළිවෙළ ආරම්භ කරමින් නිවසෙන් හෝ ව්‍යාපාරික ස්ථානයෙන් බැහැර කරන කසළ දිරන හා නොදිරන ලෙස වෙන් කරදීම සම්බන්ධයෙන් 2015 වසරේ දී ජනතාව දැනුම්වත් කිරීම සිදුවිය. ආරම්භයේ දී ජනතාව මේ ගැන විරෝධය පල කරන්නටද වූයේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට කසළ ක්‍රමවත්ව සාර්ථකව මැනවින් වෙන් කරදීම සියලු දෙනා අතින් සිදුවීම නගර සභාවේ විශේෂ පැසසුමට ලක්වී ඇත. ඒ තත්ත්වය නිසා මේ වනවිට මිනුවන්ගොඩට කසළ ගැටලුවක් ඇත්තේම නැත. මේ තත්ත්වය මත 2015 හා 2016 වසරවල කසළින් තොර පුරවරයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ නගර සභාව සම්මාන ගණනාවකින් පුද ලබා ඇත. 2017 මේ වසරේද එම සම්මානය ලැබෙන බවට සභාවේ සේවක පිරිස් අතර ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි.

තිහකට ආසන්න සේවක පිරිස දිනපතා සියලු නිවාඩු දිනවලද ඇතුළුව බල සීමාවේ කසළ එකතු කරනු ලබයි. දිනකට ටොන් පහක් පමන එකතු වන අතර ඉන් ටොන් එකක් පමණ දිරන කසළය. නොදිරන කසළ ජාපාලවත්තේ පිහිටි එක්රැස් කරන මධ්‍යස්ථානයට ගෙන යන අතර දිරන කොටස් ප්‍රදේශයේ වතුවලට පොහොර සඳහා ලබාදීම සිදුවේ. සියයට සියයක්ම වෙන් කෙරුණු කසළ බැවින් වතු හිමියෝද මේවා ලබා ගැනීමට මහත් උනන්දුවක් දක්වති.

නොදිරන කසළ වර්ගීකරණය කිරීමෙන් අනතුරුව බේල් බැද ගිවිසුම් ප්‍රකාරව දහන කටයුතු සඳහා හොල්සිම් සමාගමට මසකට ටොන් විස්සක පමන ප්‍රමාණයක් ලබාදීම සිදුවේ. මෙම කසළ ලබාදෙන්නේ් කිසිම අය කිරීමකින් තොරව වීමද විශේෂත්වයකි.

තවදුරටත් ඉතිරිවන වීදුරු බෝතල් වැනි ද්‍රව්‍ය මෙන්ම නිවෙස්වල ඉතිරිවන ද්‍රව්‍යද මසකට වරක් පැවැත්වෙන පරිසර පොළට ඉදිරිපත් කර විකීණීමට කටයුතු කෙරේ. මේවා අලෙවියෙන් ලැබෙන ආදායම සේවක සුබ සාධනයට යොදවනු ලබන්නේ ඔවුන්ගේ කැපවීම අගය කරනු පිණිසය. ඒවා ලබා ගැනීම සඳහා නගර සභාවේ ලියා පදිංචි ගැනුම්කරුවන් ද සිටී.

මේ පිළිබඳව නගර සභාවේ ලේකම් එච්.ඒ.එස් රත්නලතා මහත්මිය මෙසේ අදහස් පළ කළාය. නිසි පරිදි කළමනාකරණය නිසා බල ප්‍රදේශයේ කසළ සියයට සියයක්ම ඉවත් වෙනවා. කිසිවක් පරිසරයට මුදා නොහැරීම විශේෂ කරුණක් වෙනවා. බාහිර ආයතන සඳහා කසළ බැහැර කරන්නට ශතයක්වත් වැය කරන්නේ නැහැ. මේ සඳහා ලැබෙන ජනතා සහාය අති ඉහළයි.

ඡායාරූප - කොටදෙනියාව සමූහ

නව අදහස දක්වන්න