ඇමැති රාජිත ගම්පහ රෝහලේ අඩුපාඩු සොයා බලයි | දිනමිණ

ඇමැති රාජිත ගම්පහ රෝහලේ අඩුපාඩු සොයා බලයි

 ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පවතින තත්ත්වය සොයා බැලීම පිණිස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා හදිසියේම එම රෝහල වෙත පැමිණියේය.

මෙම රෝහලෙහි අංශ කිහිපයක පවතින අවශ්‍යතා සපුරා ගැනීම පිණිස පවතින තත්ත්වය පැහැදිලි කරදීම සඳහා රෝහලට පැමිණෙන ලෙසට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කළ ඉල්ලීමක් අනුව මෙසේ පැමිණි ඇමැති වරයා හෘද රෝග දැඩි සත්කාර ඒකකය සහ ඩෙංගූ රෝග ප්‍රතිකාර ඒකකය නිරීක්ෂණය කළේය.

මෙහිදී හෘද රෝග විශේෂඥ වෛද්‍ය ජනත් පී. ගූණසිංහ මහතා සහ හෘද රෝග ඒකකයේ වෛද්‍ය මොනිකා මාන්නප්පෙරුම මහත්මිය විසින් එම ඒකකයට අවශ්‍ය එකෝ ස්කෑන් යන්ත්‍රය ලැබීමේ පමාවක් පවතින බව ඇමැති වරයාට පෙන්වා දුන් අතර එම මොහොතේදීම රාජිත සේනාරත්න මහතා දුරකථනයෙන් වෛද්‍ය සැපයුම් අංශ ප්‍රධානි වරයාට දැනුම් දී සිටියේ රුපියල් මිලියන 13ක් වන එම යන්ත්‍රය කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙසය.

හෘද රෝග දැඩි සත්කාර ඒකකය සදහා නව වාට්ටුවක් සකස් කිරීමටද පියවර ගන්නා බව පැවසු ඇමැති වරයා නවීන තාක්ෂණයෙන් යුත් එක්ස් කිරණ යන්ත්‍රයක් කඩිනමින් ලබා දෙන බවද කීය.

ඩෙංගූ ප්‍රතිකාර ඒකකය නිරීක්ෂණය කළ අමාත්‍ය වරයාට එහි පවතින මොනිටර් යන්ත්‍ර අවශ්‍යතාවය වෛද්‍ය වරියන් පෙන්වා දුන් අතර එම අවශ්‍යතාවය සපුරාලීමට පියවර ගන්නා බවත් පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු ද එක්ව සිටියහ.

ජායාරූපය - ගම්පහ අතිරේක


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...