කොල්ලකෑම් මර්දනය ගැන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අලව්වේදී | දිනමිණ

කොල්ලකෑම් මර්දනය ගැන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අලව්වේදී

 කොල්ලකරුවන් බැංකුව ඇතුළට එන්නේ පිටත සියල්ල සැලසුම් කරලයි. එම නිසා බැංකුවේ මුදල් කවුන්ටරය, සේප්පුව පමණක් ආරක්ෂා කරලා මදි. අවට පරිසරයද ආරක්ෂා කළ යුතුව ඇතැයි කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක මහතා පැවැසීය.

දිවයින පුරා අද සිදු වන බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන කොල්ලකෑම මර්දනය කිරීම පිණිස ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා අලව්ව පොලිස් ස්ථානයේ පැවති වැඩමුළුකදී ඒ මහතා එසේ කීය. මෙම වැඩමුළුවට අලව්ව ලංකා බැංකුව මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු අනෙකුත් සියලුම මූල්‍ය ආයතන ප්‍රධානීහු සහභාගී වූහ. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ සමන් දිසානායක මහතා - කොල්ලකරුවන් මූල්‍ය ආයතනයක් කොල්ල කෑමට සැලැසුම් කරනුයේ මාස ගණනක් තිස්සේය. අද බැංකු තාක්ෂණයේ දියුණුව මෙන්ම හොරාගේ තාක්ෂණයත් දියුණු කරගෙනයි තියෙන්නේ CCTV කැමරා මඟ හැර තප්පර කිහිපයකින් සියලු වැඩ අවසන් කිරීමට ඔවුන් අද සමත් වී සිටිනවා. විශේෂයෙන් බැංකුවේ වැඩ කරන සේවකයන් ගැනද දැඩි අවධානයකින් සිටිය යුතුයි. බොහෝ කොල්ලකෑම් වලට සේවකයන් සම්බන්ධ බව පරීක්ෂණ වලින් හෙළිවී තිබෙනවා. මේ සඳහා ආරක්ෂක වැඩ පිළිවෙළක් වනුයේ සේවයට පැමිණි විගස ඔවුන්ගේ ජංගම දුරකථන ආරක්ෂ අංශ භාරයට ගැනීම යැයිද සමන් දිසානායක මහතා වැඩිදුරටත් කීය.

අලව්ව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටියුඩර් අබේවික්‍රම, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් කුමාරසිංහ මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූපය - අලව්ව විශේෂ 

නව අදහස දක්වන්න