ජනපති ගොවි සතියක් ප්‍රකාශ කරයි | දිනමිණ

ජනපති ගොවි සතියක් ප්‍රකාශ කරයි

 රට භව භෝගයෙන් අස්වද්දන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ලබන මස අරඹන බව ජනපති පවසයි.

ඔක්තෝබර් 05 වනදා සිට 11 වනදා දක්වා සතිය ජාතික ගොවි සතියක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමය ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වූ පුළුල් ජාතික වැඩසටහනක් ලෙස එය ක්‍රියාවට නංවන බව ද පැවසූ ජනාධිපතිවරයා පසුගිය නියං සමයේ සිදුවූ ආහාර නිෂ්පාදනයේ පහත වැටීම මඟහරවා ගනිමින් දේශීය සහ විදේශීය වෙළෙඳ පොළ සඳහා ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම ඉන් අපේක්ෂා කරන බව ද ප්‍රකාශ ක‍ෙළ්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කදුරුවෙල කෘෂි ආර්ථික ‍මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (07) පෙරවරුවේ සහභාගි වෙමිනි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ මෙන්ම සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවයි.

චීන රජයේ ආධාර යටතේ රුපියල් කෝටි 520ක වියදමින් මෙම කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ඉදිකෙරෙන අතර ප්‍රධාන වාණිජ සංකීර්ණය සහ කෘෂිකර්මාන්ත පරිශ්‍රයකින් සමන්විත මෙම මධ්‍යස්ථානය වෙළෙඳ සැල් ළමුන් සඳහා ක්‍රීඩාකරන ස්ථාන, භෝජනාගාර පහසුකම්, බැංකු පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය. කෘෂි ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමරු ඵලකය ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරුණු අතර එම පරිශ්‍රයේ රුක් රෝපණයක්ද සිදුකෙරිණි.

මේ අතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන චාරිකා ඇතුළු ඔවුන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට බස් රථ 03ක් පොළොන්නරුව, දිඹුලාගල සහ හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල වෙත භාරදීමද ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.

දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක දරුවන් කළ ඉල්ලීම පරිදි ජනාධිපති කාර්යාලයේ අරමුදල් මත මෙම බස් රථ ලබාදීම සිදුවූ අතර බස් රථ දරුවන්ගේ අවශ්‍යතා සඳහා පමණක්ම යෙදවිය යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් 06 දෙනකු වෙත ඉඩම් ඔප්පු පිරිනැමීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

උතුරු මැද හා නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පොළොන්නරුව තමන්කඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ඉසිපතනාරාමාධිපති උඩගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේද, අමාත්‍ය පී. හැරිසන්, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමැතිවරුන්ද, චීන තානාපති ෂි ෂියෑන්ග් ලියෑන්ග් මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...