වර්ෂාව තවත් දින කිහිපයක් පවතිනවා | දිනමිණ

වර්ෂාව තවත් දින කිහිපයක් පවතිනවා

බුද්ධිකා ඉඹුලාන,  සමන්මලී ප්‍රියශාන්ති

දිවයිනේ නිරිතදිග කොටසට ඇඳ හැලෙන වර්ෂාපතන තත්ත්වය තවත් දින කිහිපයක් පවතින බවත් මේ දීර්ඝකාලීන වර්ෂාපතනය හේතු කොටගෙන නායයෑම් හා ගංවතුර අවදානමක් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වලට කඩින් කඩ වැසි හා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි නිසාත් මුහුදු සීමාවේ සුළඟ රළු විය හැකි නිසාත් මේ දිනවල අවධානයෙන් පසු වන ලෙස වැඩබලන කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවට දැනුම් දෙයි.

ඉදිරියේ දී නායයාම් හෝ ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට හා ජනතාව ආරක්ෂා කිරීමට රජය සියලු කටයුතු සුදානම් කර ඇතැයි අපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහි දී ඇමැතිවරයා පැවසුවේ නායයෑම් අවදානම සම්බන්ධයෙන් රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල අදාළ ප්‍රදේශවල ජනතාව දැනුවත් කර තිබෙන බවයි. ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා දිසාපතිවරු, ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය ආයතන හා නිලධාරීන් දැනුවත් කර තිබෙන බවත් එම දිස්ත්‍රික්කවලට අවශ්‍ය වතුරේ යා හැකි ටැංකි රථ, බෝට්ටු හා අඟුල් ප්‍රමාණවත් පරිදි වෙන් කර තිබෙන බවත් ඇමැතිවරයා කීවේය.

එහිදි ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

මේ වන විට අපි නායයෑම්, ගංවතුර තත්ත්වයන් ගැන අඛණ්ඩව ජනතාව දැනුවත් කර තිබෙනවා. දිසාපතිවරු, ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, රත්නපුර, කිරිඇල්ල, අයගම, ඇලපාත, කුරුවිට, පැල්මඩුල්ල දෙහිඕවිට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල අවදානම් කලාප ගැන ජනතාව දැනුවත් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, මතුගම අවට අවදානම් කලාපවල ජනතාව දැනුවත් කර තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කෑගල්ල දිස්ත්‍රික්යේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතා දැනුවත් කර තිබෙනවා. නුවරඑළිය අඹගමුකොරළේ ජනතාව ජනතාව දැනුවත් කර තිබෙනවා.

ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් භාවිත කිරීමට වතුරේ යා හැකි යා හැකි යුද ටැංකි 5 බැගින් කළුතර, රත්නපුර, ගාල්ල, දිස්ත්‍රික්කවලට යවා තිබෙනවා. ගංවතුර අවදානමක් ඇති දිස්ත්‍රික්කවලට බෝට්ටු සහ අගුල් වෙන් කර තිබෙනවා. ඒ අනුව රත්නපුර බෝට්ටු 14 ත් අඟුල් 39 ක්, කළුතරට බෝට්ටු 40 අඟුල් 42 ක් සහ ගාල්ලට බෝට්ටු 25 ක් අඟුල් 10 ක් සුදානම් කර තිබෙනවා.

මාතරට බෝට්ටු 11 ක් අඟුල් 17 ක් සුදානම් කර තිබෙනවා. නාවික හමුදා බෝට්ටු ද 13 ක් සුදානම් කර තිබෙනවා. ඒ අනුව අවශ්‍ය වුවහොත් තවත් ලබා දෙනවා. හදිසියක් වුවහොත් අදාළ නිලධාරීන් කැඳවන්න කටයුතු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය හා සම්බන්ධ වී රෝහල් සුදානම් කර තිබෙනවා. ජාතික අපාදා සහන සේවා මධ්‍යස්ථානයේ අංශ සුදානම්, ගිලන් රථ සේවා සුදානම් කර තිබෙනවා. මේ වන විට රත්නපුර දිස්ත්‍රික්යේ මුදුව, ගැටංගම ප්‍රදේශවල අඩි 4 ක ජල තත්ත්වයක් ඇති බව වාර්තා වෙනවා. කුකුලේ ගඟ තප්පරයට ඝන මීටර් 140 ‍බැගින් යන ලෙස වාන් දොරටු විවෘත කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් අනතුරු හැඟවීම් මෙහෙයවුවා.

මේ කාලගුණ තත්ත්වය යහපත් අතට හැරෙවි කියා විශ්වාස කළත් ඒ අතර තවත් තත්ත්වය දිගු කරන්න සිදු වෙලා තිබෙනවා. ඒ අනුව අපි ක්‍රම දෙකක් යටතේ කාලගුණය ගැන නීරක්ෂණය කරනවා. ඒ ගණිතමය ක්‍රමවේදයට අනුව සහ චන්ද්‍රිකා තොරතුරු තාක්ෂණය ඔස්සේ අපි නිරීක්ෂණය කරනවා. ඒ අනුව මේ මෝසමේ අග භාගයේ යම් ආකාරයක සුලු ගංවතුරක් හෝ ඇති වේයැයි අපි විශ්වාස කරනවා. වැස්සේ ස්වරූපය අනුව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස අපි ජනතාවට අනතුරු හැඟවීමක් කරනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනට ඇහැලියගොඩ, අයගම, රත්නපුර, ඇලපාත, කුරුවිට, පැල්මඩුල්ල, කළුතර බුලත්සිංහල ප්‍රදේශවලට නායයෑම් ගැන පුර්ව අනතුරු හැඟවීම සිදු කර තිබෙනවා.

ඒ අනුව වැස්සේ ස්වාභාවය අනුව ප්‍රදේශයේ ජල ගැලුම් ඇති වේ නම් අපේ නිලධාරීන් සමඟ ආරක්ෂිත ස්ථානවලට යන්න කියා ජනතාවට දැනුම් දී තිබෙනවා. ගංවතුර නායයම් තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට සුදානම් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු යොදා තිබෙනවා. මුදල් සුදානම් කර තිබෙනවා. ආපදා තත්ත්වවල දී අපට මුදල් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ආපදාවට ලක්වීමක් මරණයක් වාර්තා වී නැහැ. අපිට අවශ්‍ය ඒ දේවල් වළක්වා ගන්නයි. ඒ නිසා අපි මේ අනතුරු හැඟවීම් කරලා පුර්ව සුදානමක් ඇති කරන්න පියවර ගෙන තිබෙනවා.

මෙහි දී අදහස් දැක්වු වැඩබලන කාලගුණ විද්‍යා අධ්‍යක්ෂවරයා,

බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ කැළඹිලි ස්වාභාවයක් දක්නට ලැබෙන අතර මෙය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමක් දක්නට නැතත් එය තීරණය කළ හැකි වන්නේ නිරිතදිග කොටසට ඇඳ හැලෙන වර්ෂාපතනයේ අඩු වැඩි වීමේ ස්වාභාවය අනුවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය,

මේ අවස්ථාව වන විට අවදානමක් ගැන කියන්න බැහැ නමුත් කළු ගග ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි. දැනට සුළු ගංවතුර තත්ත්වයක් තිබෙනවා. අද හවස රාත්‍රියේ වැස්සක් ආවොත් රත්නපුර මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. කුකුළේගග පිටාර ගැලීම නිසා ඒ ප්‍රදේශවලත් ගංවතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කැලණි, නිල්වලා. ගංගග වැඩි වතුර මට්ටමක තිබෙනවා නමුත් ගංවතුර තත්ත්වයක් බලාපොරොත්තු වන්නේ නැහැ.

නව අදහස දක්වන්න