මහින්දට දේශපාලන වාසියක් සලසලා | දිනමිණ

මහින්දට දේශපාලන වාසියක් සලසලා

 කුමුදු හෙට්ටිආරච්චි

2015 ජනාධිපතිවරණයට දින නියම කර තිබියදී හදිසි කටයුත්තක් ලෙස සලකා රට පුරා සිල්රෙදි බෙදාදීමට කටයුතු කිරීමෙන් එම ජනාධිපතිවරණ‍ෙ‍ය් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපතිවරයාට දේශපාලන වාසියක් ලබාදීමේ අරමුණ පෙරදැරිව අනූෂ පැල්පිට හා ලලිත් වීරතුංග යන විත්තිකරුවන් කටයුතු කර ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සිල් රෙදි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊයේ (7) පැවසීය.

ඒ අනුව විත්තිකරුවන් දෙදෙනා මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ චක්‍රලේඛනයට පටහැනිව මැතිවරණ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව ද විනිසුරුවරයා සඳහන් කළේය.

විත්තිකරුවන් මෙම සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 600ක මුදල ලබාදී ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට පෙර බව ද විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

2015 වසර වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සත්කාර වැය ශීර්ෂය යටතේ වෙන්කළ රුපියල් මිලියන 100ක මුදල වැය කර අවසන්ව තිබියදී අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව විත්තිකාර අනූෂ පැල්පිට යන අය එම මුදල රුපියල් මිලියන 600 දක්වා වැඩිකර ඇති බව ද විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය.

තව ද විත්තිකාර ලලිත් වීරතුංග යන අය කළ ඉල්ලීමක් පදනම් කරගෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් ද නොලබා සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා පසු දිනම මෙම මුදල් ජනාධිපති ලේකම් නමින් වූ ගිණුමට ප්‍රේෂණය කිරීම සිදුකර ඇති බව සඳහන් කළ විනිසුරුවරයා එමඟින් විත්තිකරුවන් මෙම මුදල් සාවද්‍ය පරිහරණය සිදුකර ඇති බව ද සඳහන් ක‍ෙළ්ය.

ඉදිරිපත්වූ සියලු කරුණු අනුව විත්තිකරුවන් දෙදෙනාම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදල පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතිය සඳහා වංක ලෙස සාපරාධී සාවද්‍ය පරිහරණය සිදුකර ඇති බවට අධිකරණය තීන්දු කළේ යැයි පුරා පැයකට අධික කාලයක් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

මෙම නීති විරෝධී ගෙවීමෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට රුපියල් මිලියන 600ක පාඩුවක් සිදුවී එම මුදලින් ඡන්ද අපේක්ෂකයාට අයුතු ලාභයක් සිදුව ඇතැයි ද විනිසුරුවරයා සඳහන් කර සිටියේ ය. 

අදහස් 1ක් ඇත

එම මුදලින් ඡන්ද අපේක්ෂකයාට අයුතු ලාභයක් සිදුව ඇතැයි nam e gana katayuthu karanne kavurunda kavadaada?

නව අදහස දක්වන්න