‘දරුවන් සුරකිමු’ ජනපති ප්‍රධානත්වයෙන් මහනුවර දී | දිනමිණ

‘දරුවන් සුරකිමු’ ජනපති ප්‍රධානත්වයෙන් මහනුවර දී

 දරු පරපුර සුරක්ෂිත කොට ඔවුන්ට සමාජයේ ආරක්ෂාකාරීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාවට නංවා තිබෙන, ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) උදේ 9ට දිගන මධ්‍යම පළාත් ක්‍රිඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

මීට අමතරව මියන්මාර් රජයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමකට අනුව මෙරටට ලබාදුන් හස්තියා දළදා මාලිගාවට භාරදීම ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (8) ඓතිහාසික මඟුල් මඩුවේ දී සිදු කෙරෙයි.

ගෘහස්ථ ළමාහිංසනය, ලිංගික අපයෝජනය, අපරාධ සඳහා ළමුන් යොදා ගැනීම සහ ළමා ශ්‍රමය සූරාකෑම ඇතුළු වත්මන් ළමා පරපුරට මුහුණදීමට සිදුව ඇති හිංසනයන්ගෙන් ඔවුන් මුදාගෙන සුරක්ෂිත කිරීමට කටයුතු යෙදීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි.

මේ යටතේ සෞඛ්‍ය අධ්‍යාපනය, මනෝ උපදේශනය සහ නීති උපදේශනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දරුවන් බලගැන්වීමට නියමිතය.

වසර දෙකක කාලයක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර රට පුරා පළාත් දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ළමා ශ්‍රමය සූරා කෑමට එරෙහි ජාතික ප්‍රතිපත්තියක් එළිදැක්වීම ද මෙම සමාරම්භක උත්සවයේ දී සිදු කෙරෙන අතර, අනාගතය දිනන දරුවෝ, නමින් දරුවන්ගේ පෞරුෂය වර්ධනය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවේ. 

නව අදහස දක්වන්න