දේශීය ආදායම් පනත වැඩි ඡන්ද 65කින් සම්මතයි | දිනමිණ

දේශීය ආදායම් පනත වැඩි ඡන්ද 65කින් සම්මතයි

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර,  මහින්ද අලුත්ගෙදර

ආදායම් බදු විධිවිධාන පැනවීමේ 2017 දේශීය ආදායම් පනත සංශෝධන සහිතව වැඩි ඡන්ද 65කින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 90 ක්ද විපක්ෂව ඡන්ද 25ක්ද ලැබිණ. ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ඡන්දය විමසන අවස්ථාවේ දෙමළ ජතික සන්ධානයේ මන්ත්‍රීවරු කිසිවකු සභාවේ නොසිටියහ.

මෙම පනත අනුව ජනාධිපතිවරයාගේ වැටුප් හා ආදායම ද බදු සඳහා යටත් වන අතර ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ වැටුප් හා දීමනා සම්බන්ධ බදු නිදහස ලබාදීමේ වගන්තිය ඉවත්කළ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. 2018 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කෙරෙන මෙම පනත් කෙටුම්පත 2017 ජූනි 16 දින රජයේ ගැසට් පත්‍රයේ පළකළ අතර ජූලි මස 19 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ (7) දින විවාදයට ගැණින.

පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දහයක් ගොනු කෙරිණ. එම පෙත්සම් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය දේශීය ආදායම් පනතේ වගන්ති පහක් ආණ්ඩුක්‍රම ව්‍යවසස්ථාවට පටහැනි බවටත් ඉන් වගන්ති හතරක් වැඩි ඡන්දයෙන් ද 200 වන වගන්තිය තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් ද සම්මත කළයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය විය.

දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබද විවාදය ඊයේ (7) දවස පුරා පැවැති සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසුව ඡන්ද විමසීම පස්වරුවේ සිදුකෙරුණු අතර පනත් කෙටුම්පත සඳහා සංශෝධන සියයකට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබිණ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...