ඩෙංගු මර්දනය දිගටම සුව ඇමැතිගෙන් උපදෙස් | දිනමිණ

ඩෙංගු මර්දනය දිගටම සුව ඇමැතිගෙන් උපදෙස්

 ඊසානදිග මෝසම් වර්ෂාව සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත විය හැකි බැවින් ආරම්භ කර ඇති ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට ඊයේ (7) දැනුම් දුන්නේය.

මේ වනවිට රට පුරා වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ සැළකිය යුතු අඩුවීමක් දක්නට ලැබේ.

2017 වසරේ ගත වූ කාලයේ ඩෙංගු රෝගීන් 148,000ක් වාර්තා වී ඇත. පසුගිය කාලයේ සතියකට ඩෙංගු රෝගීන් 10,000ක් වාර්තා වුවද මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් 1500කට අවම සංඛ්‍යාවක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඊසානදිග මෝසම් වර්ෂාවත් සමඟ උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල මෙන්ම තවත් දිස්ත්‍රික්ක ගණනාවක ඩෙංගු රෝගීන් යළි වැඩිවීමේ අවදානමක් පවතී.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුරය, කෑගල්ල, ගාල්ල, මාතර, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ සහ මහනුවර යන දිස්ත්‍රික්කවල යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමේ අවදානමක් පවතින බව අනාවරණ කරගෙන ඇත.

එබැවින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සැප්තැම්බර් 20 සිට 26 දක්වා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර ඇත.

ජනාධිපති කාර්යසාධක බළකාය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් 3000ක් මෙම වැඩසටහනට එක්වීමට නියමිතය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...