බදු ගැන මිථ්‍යාව සහ යථාර්ථය | දිනමිණ

බදු ගැන මිථ්‍යාව සහ යථාර්ථය

 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ බදු බර හින්දා ජීවන වියදම ඉහළ යන කොට එය සාධාරණීකරණය කරමින් බන්දුල ගුණවර්ධන අපූරු කතාවක් කිව්වා. ඒ ‘මේ ජීවන වියදම ඉහළ යෑම පාලනය කරන්න ශක්‍රයාගේ පුතා වයිමාටවත් බැහැ’ කියලා. ඊට පස්සේ ඔහුම තර්ක කළේ පස් දෙනකුගෙන් යුතු පවුලකට රුපියල් 2500කින් හොඳට කාලා බීලා මාසයක් ජීවත් වෙන්න පුළුවන්’ කියලා. එදා පොළොවේ හැපෙමින් රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ගරා වැටීම ආරක්ෂා කරන්න කැප වුණු බන්දුල ගුණවර්ධන අද කියන්නේ යහපාලන ආණ්ඩුවේ දේශීය ආදායම් සංශෝධන පනත ‘පොදු ජනතාවට ගැහිල්ලක් ’ කියලා. බන්දුල ගුණවර්ධනලා ජනතාව හමුවේ දිගින් දිගටම කරන මේ බොරුව අපි වහාම ජනතාවට හෙළි කළ යුතුයි.

බදු ක්‍රමය සංශෝධනය විය යුත්තේ ඇයි ?

මේ ප්‍රශ්නය කාලයක් පුරා ආර්ථික විශේෂඥයන් අතර කතා බහට ලක් වෙමින් තිබෙනවා. ඊට හේතුව වන්නේ ලංකාවේ බදු ක්‍රමය සම්බන්ධයෙන් කාලයක් පුරා ජනතාව අතර මෙන්ම වාණිජ ප්‍රජාව අතරත් ප්‍රබල විවේචනයක් පවතිනවා. ජනතාවගේ පැත්තෙන් ප්‍රකාශ වන්නේ සාමාන්‍ය ජනතාව, අඩු ආදායම්ලාභීන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉතාමත් අසාධාරණ බදු බරකට කරගසන බවයි. හදිසි ලෙඩකට දුකකට බොන පැරසිටමෝල් පෙත්තේ සිට නොකා නොබී මිලදී ගන්නා යතුරු පැදිය, ත්‍රීරෝද රථය දක්වා අධික බදු බරක් තමන් මත පැටවී ඇති බවයි. මේ අතර වාණිජ ප්‍රජාවත් දැඩිව අවධාරණය කරමින් සිටින්නේ ආණ්ඩුවේ සංකීර්ණ බදු ක්‍රමය මගින් තමන් දැඩි අපහසුතාවට පත් වන බවයි. මේ අතර රටේ බදු අය කරන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව ඇතුළු ආයතන පද්ධතිය තුළත් බදු අය කරගැනීම සම්බන්ධයෙන් කලක සිට මැසිවිල්ලක් තිබෙනවා. ඔවුන්ට අනුව අදායම් බදු ගෙවීම් පැහැර හැරීම, බදු සැඟවීම, බදු වංචා කිරීම වැනි ඍණාත්මක සිදුවීම් රැසක් කාලයක් පුරා සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා වහාම වත්මන් බදු ක්‍රමයේ සාධනීය ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු බව ඔවුන් ද අවධාරණය කරනවා.

බදු ජනතාවට බරක් ද ?

මේ ප්‍රශ්නය මානව ඉතිහාසය පුරාම තිබෙනවා. බුදුන් වහන්සේ පවා ‘මල නොතලා රොන් ගන්නාසේ’ පාලකයන් විසින් ජනතාවගෙන් බදු අය කළ යුතු යැයි දේශනා කළේ ඕනෑම බදු පැනවීමක් ජනතාවට අමතර බරක් වන නිසයි. පුද්ගල මානසිකත්වය අනුව ද ඔවුන් ඕනෑම බද්ධක් අමතර බරක්, පීඩනයක් සේ සලකන නිසයි.

ඒත් බොහෝ පාලකයන්, ආණ්ඩු මේ ගැන ඒ හැටි තැකීමක් නොකරන බව ඉතිහාසයෙන් ද පැහැදිලි වෙනවා. ලංකාව උදාහරණයට ගතහොත් යටත් විජිතවාදී ඉංග්‍රීසි ආණ්ඩුව 1848 දී ලංකාවේ ජනතාව මත විවිධාකාර බදු පැනවීම මගින් ඔවුන්ව සූරාකෑමට පියවර ගත්තා. ඇඟ බද්ද, තුවක්කු බද්ද පමණක් නොවෙයි බලු බද්දක් පවා ඔවුන් විසින් පැනවීම තුළ අපට එදා පැවැති තත්ත්වය මනාව පැහැදිලි කරගත හැකියි. මේ අසාධාරණ බදු පැනවීම්වලට එදා එරෙහි වුණ ජනතාව ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසුවා. අවසානයේ මේ අසාධාරණ බදු අයින් කරගැනීමට එදා පාලකයන්ට සිදු වුණා.

බදු ජනතාවට බරක් ද ? යන්න ගැන කතා කරන කොට නිතර අවධාරණය කරන්නේ බදු මගින් දුප්පතුන්ට, අඩු ආදායම්ලාභීන්ට අසාධාරණයක් සිදු වන බවයි. ඇත්ත, මේ තත්ත්වය ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ ‘වක්‍ර බදු’ එහෙම නැති නම් ජනතාවට එදිනෙදා භාවිතයට ගන්නා පාරිභෝගික භාණ්ඩ හා සේවා මත බදු පනවන අවස්ථාවේදී. උදාහරණයක් වශයෙන් ආණ්ඩුව ඩීසල්, පෙට්ට්‍රල් මත බදු පනවා තිබෙනවා. මේ බදු නිසා මේවායේ මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙහිදී ජනතාව අතර විරෝධයක් ඇති වන්නේ තමන්ගේ ජීවිකාව සඳහා ත්‍රිරෝද රථය පදනවන පුද්ගයාත්, බිලියන ගණනක් ආදායම් ලබමින් විනෝද ගමන් යෑම සඳහා තමන්ගේ අති සුඛෝපභෝගී ජීප් එකට පෙට්ට්‍රල් ගහන පුද්ගලයාත් එකම මිලක් ගෙවමින් පෙට්ට්‍රල් මිලදී ගැනීමයි. මෙහිදී ත්‍රිරෝද රථ රියැදුරා තමන්ගේ දෛනික ආදායමින් විශාල ප්‍රතිශතයක් පෙට්ට්‍රල් මිලදී ගැනීම සඳහා වැය කළත් ධනවතා ඒ සඳහා වැය කරන්නේ තමන්ගේ ආදායමින් නොසැලකිය යුතු ප්‍රතිශතයක් පමණයි. පරිප්පු, කරවල, අල, ලූනාු ආදියට බදු ගසන විට අඩු ආදායම්ලාභීන් දැඩි සේ පීඩාවට පත්වන්නේ මෙම පදනම තුළයි.

මේ නිසා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු පැනවීමට එරෙහිව ලෝකයේ බොහෝ රටවල ප්‍රබල විරෝධයක් පවතිනවා. එහි තාර්කික අදහස වන්නේ රටේ අඩු ආදායම්ලාභීන් වක්‍ර බදු (භාණ්ඩ හා සේවා බදු) සඳහා තමන්ගේ ආදායමින් වැඩි ප්‍රතිශතයක් වැය කරන බවයි. ඒ වගේම රජය විසින් නිර්මාණය කරන බොහෝ පොදු පහසුකම්වල වැඩි වටිනාකමක් තිබෙන්නේ ඉහළ ආදායම්ලාභීන්ට කියලා චෝදනාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට අධ්‍යාපනය සඳහා ආණ්ඩුව වැය කරන මුදල්වලින් වැඩි ප්‍රතිශතයක් ප්‍රධාන ධාරාවේ පාසල්වලට වෙන් වන ආකාරයක් අපි දකිනවා. අධිවේගී මාර්ග, ආරක්ෂාව ඇතුළු පහසුකම් සම්බන්ධයෙන් ද මේ විවේචනය දැකිය හැකියි. ඒ නිසා ‘රටේ බදු බර උසුලන්නේ සාමාන්‍ය ජනතාව’ කියන කතාවට පදනමක් තිබෙනවා.

ජනතාව මත බර නොපැටවෙන බදු ක්‍රමයක්

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මගින් පොදු ජනතාව උසුලා සිටින අධික බදු බර සැහැල්ලු කරන සැලසුම් අන්තර්ගත වන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා කියනවා. මෙහිදී ජනතාවට තිබෙන ප්‍රශ්නය වන්නේ මෙය සිදු වන්නේ කුමනාකාරයෙන් ද යන්නයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් වාර්තා වන තොරතුරුවල සඳහන් වන්නේ නව බදු සංශෝධන මඟින් ‘වක්‍ර බදු’ අඩු කර ‘ඍජු බදු’ අනුපාතය ඉහළ දැමීමට සූදානමක් පවතින බවයි. ඒ නිසා අප ප්‍රථමයෙන්ම මේ වක්‍ර බදු සහ ඍජු බදු අතර වෙනස වටහා ගත යුතුයි.

බදු බර අන් අයෙකුට පැවරිය හැකි නම් එවා ‘වක්‍ර බදු’ ලෙස ද නොහැකි නම් ඒවා ‘ඍජු බදු’ ලෙස ද හැඳින්වෙනවා. මේ අනුව භාණ්ඩ හා සේවා සඳහා පැනවෙන බදු වක්‍ර බදු ලෙස සැලකෙනවා. ඊට හේතුව වන්නේ වක්‍ර බදු මත පනවන බදු මුළුමනින්ම හෝ කොටසකින් හෝ භාණ්ඩයේ හෝ සේවාවේ මිලට එකතු කර පාරිභෝගිකයා මත පැටවීමට හැකි වීමයි.

කෙනෙකුගේ ආදායම මත පනවන බදු ‘ඍජු බදු’ ලෙස සැලකෙන්නේ බදු ගෙවන්නාට එය වෙනත් අයෙකුට පැවරිය නොහැකි නිසයි. එය “අදාළ පුද්ගලයා විසින්ම” දරාගත යුතු නිසයි. එහෙත් මේ සාම්ප්‍රදායික නිර්වචනය මේ වන විට යම්කිසි සංශෝධනයකට ලක්ව තිබෙනවා. ඊට හේතුව වන්නේ මේ ආකාරයෙන් බදු වර්ග කිරීමට නම් ‘බදු බර පැවරීම’ හෙවත් ‘බදු විතැන් කිරීම’ ගැන සම්පූර්ණ දැනුමක් තිබිය යුතු වීමයි. බදුකරණයේදී මෙය අපහසු දෙයක් ලෙස සලකනවා. ඒ නිසා වර්තමානයේදී බදු වර්ගීකරණය සිදුවන්නේ ‘බදු බර පැවරීම’ ගැන සලකා බලා නොවෙයි.

වර්තමානයේ බදු වර්ගීකරණය සිදුවන්නේ, අදායම මත පැනවෙන බදු ‘ඍජු බදු’ වශයෙන් ද, භාණ්ඩ හෝ වියදයම් හෝ මත පැනවෙන බදු ‘වක්‍ර බදු’ වශයෙන් ද සැලකීමයි. මේ අනුව ආදායම් බද්ද, ප්‍රාග්ධන බද්ද, ලාභ බද්ද, ආදිය ඍජු බදු වශයෙන් ද ආනයන බදු, අපනයන බදු, අලෙවි බදු ආදිය වක්‍ර බදු වශයෙන් ද සැලකෙනවා.

ආදායම් බදු ප්‍රමුඛවීම ප්‍රායෝගික වෙයිද ?

දේශීය ආදායම් සංශෝධන පනත මගින් ආදායම් බදු රටේ බදු ක්‍රමයේ ප්‍රමුඛ අංශයක් බවට පත් කිරීමට සූදානමක් තිබුණත් ප්‍රායෝගිකව එය ඉටු කළ හැකිද යන්න ප්‍රශ්නයක් බව ආර්ථික විශේෂඥයන් කියනවා. ඊට හේතු වන්නේ ලංකාවේ ආදායම් බදු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පවතින ගැටලුයි. උදාහරණයක් විදිහට ලංකාවේ සමස්ත බදු ආදායමෙන් ඍජු බදු ප්‍රතිශතය පවතින්නේ සියයට 10කට ආසන්න අගයක. මේ තත්ත්වය 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව පැහැදිලි කළහොත් 2015 වසරේ බදු ආදායම රුපියල් මිලියන 1,355,779ක් වන විට ශුද්ධ ආදායම හා ලාභය මත බදු ප්‍රමාණය රුපියල් මිලියන 262,583ක් පමණයි. මෙය කිසිසේත් ප්‍රමාණවත් තත්ත්වයක් නොවෙයි.

උදාහරණයක් විදිහට මහා බ්‍රිතාන්‍යයේ ආදායම් බදු ප්‍රතිශතය සියයට 33.3ක් වන අතර නෝර්වේ රාජ්‍යයේ එය සියයට 40.2ක් වැනි අගයක්. සමස්ත යුරෝපීය කලාපයේ එය සියයට 30.1ක් වැනි ඉහළ අගයක්. ලංකාවට මෙවැනි ප්‍රශස්ත තත්ත්වයකට යාමට තවත් බොහෝ කාලයක් ගත වන බව පැහැදිලියි.

අනෙක් කරුණ වන්නේ ලංකාවේ ආදායම් බදු ගෙවිය හැකි මට්ටමේ ජනතාව සිටින්නේ ජනගහනයෙන් කුඩා ප්‍රතිශතයක් පමණයි. ජනගහනයෙන් අති බහුතර රාජ්‍ය සුබසාධනය මත (සමෘද්ධිය වැනි) යැපෙන අඩු ආදායම්ලාභීන්. ඒ වගේම ලංකාවේ කොපමණ නීති තිබුණත්, දිරිදීම් තිබුණත් ආදායම් බදු පැහැර හැරීම විශාල වශයෙන් සිදු වෙනවා. ආදායම් බදු දැලට පහසුවෙන් හසුකර ගැනීමට හැකියාව තිබෙන්නේ පෞද්ගලික අංශයේ සේවකයින්, බැංකු ගනුදෙනුකරුවන් වැනි පිරිස් පමණයි. එහෙත් අනියම් ආකාරයෙන් විශාල ආදායම් උපයන පිරිස් (උපකාරක පන්ති ගුරුවරු, පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරු, නීතිඥයින්, ගෘහ නිර්මාණශිල්පීන් ආදි) බදු දැලට හසු කර ගැනීම ඉතාම අපහසුයි. ඒ වගේම ඇතැම් ව්‍යාපාරිකයින් ඉතාම කූඨ ආකාරයෙන් බදු ගෙවීම පැහැර හරින අවස්ථාත් ලංකාවේ සුලභයි. මෙවැනි තත්ත්වයක් තුළ බදු ක්‍රමය කාර්යක්ෂම හා ඵලදායී නොකොට බදු ක්‍රමයේ විප්ලවීය වෙනසක් සිදු කිරීම අපහසු විය හැකියි.

ජයගත යුතු අභියෝග

ලංකාවේ බදු ක්‍රමයේ විප්ලවීය වෙනසක් සිදු වීම අනිවාර්යය කරුණක් වුවත් ඒ සමග අති සංකීර්ණ යාන්ත්‍රණයක් බැඳී පවතින නිසා එකී ක්ෂේත්‍ර තුළ ද සමගාමී වෙනසක් සිදුවීම අනිවාර්යය කොන්දේසියක් බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි. උදාහරණයක් වශයෙන් ‘විගණන පනත’ කඩිනමින් ගෙන එන බව යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක්. ඒත් තවමත් විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී නැහැ. එය කොතැන හෝ සිරවී ඇති බව ඉතාම පැහැදිලි කරුණක්.

ඒ ආකාරයෙන්ම ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන බදු යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම තවත් ගැටලුවක්.

උදාහරණක් ලෙස අගමැතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේ සිගරැට් සම්බන්ධයෙන් පසුගිය අයවැය ලේඛනයේ බදු සංශෝධන සම්බන්ධ පනත් කෙටුම්පතක් නීතිපතිවරයා ළඟ තවමත් තිබෙන නිසා එමගින් අපේක්ෂිත රුපියල් කෝටි 4000ක පමණ බදු ආදායමක් පසුගිය වසර තුළ රජයට නොලැබී ගිය බවයි. මෙවැනි උදාහරණ තවත් විශාල ගණනක් අපට දැක්විය හැකියි. මෙය කිසිසේත්ම බදු ක්‍රමය සම්බන්ධයෙන් යහපත් දෙයක් නොවෙයි. ඒ වගේම රජය අපේක්ෂා කළ තරම් බදු ආදායමක් නොලැබී ගිය විට එවා වෙනත් තැන්වලින් ඍණාත්මක ප්‍රතිවිපාක ඇති කරනවා. එය ආර්ථිකයට මෙන්ම රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ද හානිකරයි.

අනෙක් අතින් ආණ්ඩුව පසුගිය කාලය පුරාම දැවැත්ත බදු ආදායමක් උපයා ගත්තේ විදේශ වෙළඳාම මත බදු පැනවීම මගිනුයි. එමඟින් සිදු වුණේ ලංකාවට සිදු කරන ආනයනවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යෑමයි. ජනතාවට අමතර බරක් දැරීමට සිදුවීමයි. මේ තත්ත්වය වෙතින් විතැන්වීමේ හැකියාවක් වර්තමානයේ දී ලංකාවට තිබේද යන්න ගැටලු සහගතයි. විශේෂයෙන් ආනයන වේගයෙන් වර්ධනය වන වාතාවරණයක් තුළ මේ තත්ත්වය සංකීර්ණ විය හැකියි.

ඒ වගේම මත්පැන්, සිගරැට්, ඛනිජ තෙල් හා මෝටර් රථ හා අනෙකුත් බදු ආදායම ආණ්ඩුවේ බදු ආදායම තුළ තවමත් විශාල ප්‍රතිශතයක් නියෝජනය කරනවා. මේ සිදු ආකාරයන්ගෙන්ම දැවැන්ත බදු ආදායමක් ආණ්ඩුවට ලැබුණත් ඒ වෙනුවෙන් දැරීමට සිදුවන සමාජ පිරිවැය ගණනය කළ නොහැකි තරම්. විශේෂයෙන් මත්පැන්, සිගරැට් වැනි ආදායම් බදු වැඩි වැඩියෙන් රැඳී සිටීම ආණ්ඩුවේ වත්මන් ප්‍රතිපත්ති සමග ඍජු ගැටීමක් ද ප්‍රකාශ කරනවා.

ඊනියා විරෝධය නොතැකිය යුතුයි

බදු ක්‍රමය සංකීර්ණ වීම තුළ කූඨ ව්‍යාපාරිකයින්ට නිලධාරීන් සමග එක්වී මහා පරිමාණ ජාවාරම් කළ හැකි බවට ලංකාව තුළ උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. දකුණු ආසියාවේ දැවැත්මක බදු වංචාව වශයෙන් සැලකෙන කුප්‍රකට වැට් බදු වංචාව (කෝටි 350ක් පමණ) සිදු වුණේ ලංකාවේ බදු ක්‍රමයේ පවතින අති සංකීර්ණභාවය නිසයි. එනිසා වහාම බදු ක්‍රමය සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් රට හමුවේ තිබෙනවා. එනිසා ආණ්ඩුව මේ මොහොතේ ගෙන තිබෙන පියවර පැහැර හැරිය නොහැකි වගේම පමා කළ නොහැකි දෙයක් වශයෙන් සැලකිය හැකියි. එනිසා ඊනියා ඒකබද්ධ විපක්ෂයේ හෝ ජන පදනමක් නැති වාමාංශික පක්ෂවලට බිය වී මේ පනත හකුළා නොගැනීමට ආණ්ඩුවට වගබලා ගත යුතුයි. මොකද ඒකාබද්ධ විපක්ෂය සහ ආණ්ඩුව තුළම සිටින ප්‍රතිගාමීන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ආණ්ඩුව ඉදිරිපත් කරන සාධනීය පනත් හැකි සෑම ආකාරයෙන්ම දියාරු කිරීමට හෝ කඩාකල්පල් කිරීමට බව අප පසුගිය කාලය පුරාම දැක තිබෙනවා. එනිසා අවස්ථාවාදයට හා අන්තවාදයට යට නොවීමට ආණ්ඩුව වග බලා ගත යුතුයි.

මේ සමගම ඇතිවන අනෙක් ප්‍රශ්නය වන්නේ ආණ්ඩුව කොතරම් සාධනීය පියවර ගනු ලැබුවත් ඒ සමානව ප්‍රතිලාභ ලබා ගැනීමට සමත් යාන්ත්‍රණයක් රට තුළ තිබේද ? යන්නයි. උදාහරණයක් වශයෙන් පසුගිය දා“සිළුමිණ” පුවත්පතක ප්‍රධාන පුවත ලෙසින් වාර්තා කළ ‘බදු සහන ලබාදීම නිසා රටට අහිමි වූ ආදායම රුපියල් කෝටි 20,000 යි ’ යන්න සැලකිය හැකියි.

ආණ්ඩුව යම් යම් අවස්ථාවල දීර්ඝ කාලීනව සලකා බැලීමකින් තොරව ජනතා ඉල්ලීම හමුවේ ක්ෂණිකව බදු සංශෝධනවලට යන අවස්ථා අති සුලභ බවක් දැකිය හැකියි. මේ තත්ත්වය බදු ක්‍රමය සම්බන්ධයෙන් ජනතාව තුළ මෙන්ම වාණිජ ප්‍රජාව තුළ ද බදු ක්‍රමය සම්බන්ධ විශ්වාස හීන කරන බව ආණ්ඩුව වටහා ගත යුතුයි. එමෙන්ම එමඟින් කූඨ ව්‍යාපාරිකයින්ට හා ජාවාරම්කරුවන්ට ජනතාවට ලබා දෙන බදු සහන ගසා කෑමට පහසු අවස්ථාවක් ලැබෙන බව ද ආණ්ඩුව වටහා ගත යුතුයි.

අවසානය වශයෙන් සඳහන් කළ යුත්තේ බදු ක්‍රමයේ මෙන්ම ආණ්ඩුවේ ආදායම් ඉපයීමේ ක්‍රියාවලියේ ද දැවැන්ත ප්‍රතිසංස්කරණයකින් තොරව ඉදිරි සංවර්ධන අභියෝග ජයගත නොහැකි බවයි . ඒකාබද්ධයේ හෝ ඊනියා වාමාංශිකයන්ගේ මවාපෑම් නොසලකා ඉදිරියට ම යා යුතු බවයි.

සටහන - භාතිය බරුකන්ද


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...