මහින්ද රාජපක්ෂගේ හැංගිමුත්තම අවසන් | දිනමිණ

මහින්ද රාජපක්ෂගේ හැංගිමුත්තම අවසන්

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පවුලේ සාමාජිකයන් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසකට පසුගිය සෙනසුරාදා එක් වුණා. ජයන්ති සිරිසේන මහත්මිය මෙන්ම දහම් සිරිසේන මහතාද එම වැඩකටයුතුවලට සහභාගී වුණා.

මුලින්ම ජනාධිපතිතුමා සහභාගි වූයේ පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් ඉදි කිරීමට සැලසුම්කොට ඇති දහ අටරියන් බුද්ධ ප්‍රතිමාවට මුල්ගල තැබීමේ උත්සවයටයි. පොළොන්නරුව ඉසිපතනාරාම පුරාණ රජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක උඩගම ධම්මානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනය කොට ජනාධිපතිතුමා ඇතුළු පිරිසට ආශිර්වාද කළා. උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා ඇතුළු පළාතේ දේශපාලනඥයන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

ඉන් පසුව ජනාධිපතිතුමා ගියේ මනම්පිටිය පුරාණගම ශ්‍රී සිත්ති විනයාගර් ගණ දෙවි කෝවිලටයි. එහි පැවැති විශේෂ පූජාවකට ජනාධිපතිතුමා සහභාගී වුණා. සිවපාල් සුදර්ශන් ශිව ශ්‍රී කුරුක්කල් තුමා පූජාව පැවැත්වූවා.

වැලිකන්දේ ගැබිනි මාතාවන් 450 දෙනකුට අවශ්‍ය උපකරණ හා පෝෂණ මලු බෙදාදීමේ අවස්ථාවකටද ජනාධිපතිතුමා ඇතුළු පවුලේ උදවිය සහභාගි වුණා. එහි දී ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු බෙදාදීම ජනාධිපතිතුමා අතින් සිදුවුණා. ජයන්ති සිරිසේන මහත්මියද ඒ අවස්ථාවට එක් වුණා. ගැබිනි මව්වරුන්ට දිවා ආහාරය පිළිගැන්වීමද එහි දී සිදුවුණා. වෛද්‍ය උපදෙස් ලබාදීමේ දේශන දෙකක්ද ගැබිනි මව්වරුන් වෙනුවෙන් පවත්වනු ලැබුවා.

පසුගිය ඉරිදා ජනාධිපතිතුමාට කාර්ය බහුල දිනයන් වූයේ එතුමාගේ උපන්දිනය යෙදී තිබීම නිසා මෙන්ම ශ්‍රීලනිප සංවත්සරයද එදිනට යොදාගෙන තිබිම නිසායි. උදෑසන සිට ජනාධිපතිතුමාට උපන්දින සුබපැතුම් ගලා ආවා. අගමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන්ගෙන්ද, විපක්ෂයේ දේශපාලනඥයන්ගෙන්ද ජනාධිපතිතුමාට සුබ පැතුම් ඇමැතුම් ලැබුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද වසර දෙකකින් පසුව මෙවර ඇමැතුමක් දී උපන්දිනයට සුබ පැතුවා.

එදින උදයේ ජනාධිපතිතුමා තවත් ආගමික කටයුත්තකට සහභාගී වුණා. දෙහිවල විෂ්ණු දේවාලයේ පූජාවකට සහභාගි වූ ජනාධිපතිතුමා දේවාලයට එළු පැටවකු පූජා කළා. එම අවස්ථාවටද විශාල පිරිසක් එක්ව සිටියා.

කොළඹ කැම්බල් පිටියේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැට හයවන සම්මේලනය අති සාර්ථක එකක් වුණා. එය වඩාත් කැපී පෙනුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන කණ්ඩායමේ කිසිවකු මෙයට සහභාගී නොවූ නමුත් කිසිදු අඩුපාඩුවක් නැතිව සියලු දිස්ත්‍රික්ක හා ආසනවලින් විශාල පිරිසක් සම්මේලනයට එක්ව සිටීම නිසායි. එය පක්ෂය තුළ ජනාධිපතිතුමාගේ නායකත්වය තහවුරුවීමේ හා ශක්තිමත් වීමේ තීරණාත්මක සමුළුවක් බවට පත්ව තිබුණා.

සම්මුතිවාදී ආණ්ඩුවේ වසර දෙකක කාලයේ දී රටට අත්කර දුන් ජයග්‍රහණ ගැන ජනාධිපතිතුමා එහි දී මතක්කර දුන්නා. කිසිදු විදේශීය ආයතනයකට මේ රටේ රණවිරුවන්ට අත තබන්නට ඉඩ නොදෙන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

බත්තරමුල්ල පැලවත්තේ ඉදිවෙමින් පවතින හමුදා මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට ජනාධිපතිතුමා අඟහරුවාදා එක් වුණා. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහත්වරුන් හා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ පවතින ගැටලු ගැන විමසා ජනාධිපතිතුමා ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට උපදෙස් දුන්නා.

කොළඹ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයටද ජනාධිපතිතුමා කටයුතු කළා. බොහෝ දුරට අවසන් වී ඇති ඉදිකිරීම් නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා එහි ඉතිරි කටයුතු කඩිනමින් නිමකොට ලබන වස‍රේ දී එය විවෘත කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නා.

‘කලණ මිතුරු - පොත් සුමිතුරු’ වැඩ සටහන පසුගිය බදාදා ආරම්භ කරන ලද්දේ ජනාධිපති කාර්යාලයේම විශේෂ වැඩ සටහනක් වශයෙන්. එහි අරමුණ වී ඇත්තේ පාසල් දරුවන් තුළ පොත් කියැවීමේ රුචිය වැඩි කිරීමයි. උසස් පෙළ පංති ඇති පාසල් 2820ක දරුවන් සඳහා භාෂා තුනෙන්ම පොත්පත් කට්ටල බෙදාදීම මෙම වැඩසටහන මගින් සිදුවනවා. සංකේතාත්මකව පොත් බෙදාදීම ජනාධිපතිතුමා අතින් එහි දී සිදුවුණා. එහි දී ජනාධිපතිතුමා කීවේ පාසල් සිසුන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද පොත් කියැවීමේ පුරුද්ද අඩු වී ඇති බවයි.

පසුගිය සිකුරාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතාගේ දෙවැනි දියණියගේ විවාහයට එක්වූණා.කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මංගල උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද එක් වූ අතර විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබුවේ එම දෙපළයි.

අගමැති වික්‍රමසිංහ මහතා පසුදා ඉන්දියානු සාගර සමුළුවටද එක් වුණා.

"අපේ වරායවල් විදේශයන් සමඟ එකතු වී දියුණු කළත් ඒවායේ හමුදා කඳවුරු හදන්න දෙන්නෙ නෑ.” අගමැතිවරයා එහි දී පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දුන්නා.

එම සමුළුවට පැමිණි ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අරලිය ගහ මැදුරේ දී පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්ථික, දේශපාලන, වෙළෙද හා ධීවර කටයුතුවලට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් පැවත්වුණා.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 දා 2025 නව ආර්ථික දැක්ම එළි දැක්වුණා. සම්ප්‍රදායික උත්සව ර‍ටාවෙන් බැහැරට ගොස් නව මුහුණුවරකින් පැවැත්වුණු ආකර්ශනිය උළෙලක දී මෙම නව ආර්ථික දැක්ම එළි දැක්වීම සිදු වුණා. එම ආර්ථික දැක්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සුරතින් පිළි ගැන්වුණේ රටේ අනාගත පරපුර වෙත වීම මෙහි විශේෂත්වයක් .

දකුණු ආසියානු සමළුව, හිල්ටන්හෝටලයේදි බදාදා පැවතියේද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

"සාක් රටවල් ඇතුළු ලොව සියලු ආයෝජනවලට ලංකාව විවෘත බවත් ලංකාව තුළ නිදහස් පරිසරයක් හා බුද්ධිමත් ශ්‍රමය මෙන්ම යටිතල පහසුකම් තිබෙනවා යැයි අගමැතිවරයා එහිදි පැවසුවා. මලික් සමරවික්‍රම මහතාද ඊට එක්වුණා.

එහි යාමට පෙර අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේ රාජකාරී ලිපිගොනු කිහිපයක් පරීක්ෂාකිරීමට හා මැති ඇමතිවරුන් හමුවීමටයි.

"ජගත් ජයසූරිය බ්‍රසීල තානාපතිකමෙන් ඉවත් වූ ගමන් කවුද සංවිධානයක් බොරු නඩුවක් දාන්න යනවා කියල ආරංචියක් ආවාම ඒකාබ‍ද්ධේ අයයි ඔවුන්ට කඩේ යන මාධ්‍යයි මේක ජාතික ප්‍රශ්නයක් කරගන්න යනවා." ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීව්වා.

"අපි සැබෑ රණවිරුවන් රකිනවා. විදුලි පුටුවත් අපි විනාශ කළා." අගමැතිවරයා පිළිතුරු දුන්නා.

"ෆොන්සේකා මේකට උත්තර දීමෙන් නිව්ස් නැතිව හිටපු මාධ්‍යට නිව්ස් ලැබුණා. ආණ්ඩුව රණවිරුවන් රකිනවා වගේම ෆීල්ඩ් මාර්ෂල් කියන්නෙ මොකක්ද කියලා විචාරශීලීව දකින අය අඩුයි" රවී කරුණානායකගේ අදහස වුණා.

"නැති ගින්දර පත්තු කරලා සමහරු තව තානාපතිකමක් ගන්න හදන බව අපි රටට හෙළිකළ යුතුයි" රන්ජන් රාමනායක කීවා.

“ ෆෝන්සේකාට බොරු චෝදනා දාලා බිම දාල ඇදගෙන යනකොට අහක බලාගත්ත ඒකාබද්ධයේ බොරු දේශප්‍රේමීන් නැති ප්‍රශ්නයකට ජගත් ජයසූරිය වෙනුවෙන් දැඟලීම පුදුමයි .” වජිර අබේවර්ධන ඇමතිවරයා කිව්වා.

“ අගමැතිතුමා ඉවත් කරල මහින්ද රාජපක්ෂ අගමැති කළේ නැතිනම් 12 ක් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියල අරුන්දික ප්‍රනාන්දු කියනවා. මෙහෙම දඟලන්නේ ජනපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ජනවරම ලැබුණෙ කාටද කියල අමතක වෙලාද.” ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ප්‍රකාශ කළා.

“ ඔය අරුන්දික මලික් ළඟ වැටිල අපට පණිවිඩ එවමින් එජාපයට එන්න දඟලල බැරි තැනයි මේ ගේම් ගහන්නේ කියලයි ඒකාබද්ෙධ් අයම මට කිව්වේ” අගමැතිවරයා සිනා‍ සෙමින් පැවසුවා.

“බැඳුම්කර සිද්ධියට රෝසිගෙ පුතාගෙ නම ගෑවිල කියල පත්තරවල තිබුණා” පී. හැරිසන් ඇමතිවරයා කිව්වා.

“ මම රෝසිට කතා කළා. එයා හිටියෙ රට.දින 100 තිබුණු ඩියුගෙ කෝප් කමිටුවේ මිසක් හදුන්නෙත්තිගෙ කෝප් එකේ රෝසි හිටියෙ නෑ. එයා නම් කිසිම තොරතුරක් කාටවත් දුන්නෙ නෑ කිව්වා.” අගමැතිවරයා කිව්වා.

“දින 100 කෝප් එකේ හිටපු සමහරු විස්තර එළියට දුන්නත් රෝසි ඒක කරලත් නැහැ. රෝසිගෙ පුතාගෙන් විස්තර ගත්තා කියල තුන්වන පාර්ශවයකුයි කොමිසමට කියල තියෙන්නේ” ලක්ෂමන් කිරිඇල්ල කිව්වා.

“ පළාත් පාලන ඡන්දයට රටම සූදානම් කරන්න. ඡන්ද ඉල්ලල රට වටේ පංසල්වල ගිය අය ඒ පනතට ඡන්දය දුන්නෙත් නෑ.දැන් සංශෝධන ඉල්ලලා උසාවි යන්න හදනවා. ඡන්දය දිනන්න බැරි නිසා තවත් කල් දාන්න ඔවුන් උත්සහ කරන හැඩයි.” අගමැතිවරයා මැති ඇමතිවරුන්ට කිව්වා.

"ශ්‍රී ලනිපයේ 66 සැමරුම කළා. අපේ 71 රත්නපුරේ දී කොහොමද කියල මිනිස්සු අහනවා" දයා ගමගේ ඇමතිවරයා ඇසුවා.

"අපි ආගමික වතාවත්වලට මුල්තැන දීල හිටපු නායකයො සමරල රත්නපුරේ දී සංවත්සරය තියනවා විතරයි. ලොකුවට සෙනඟ ගේන්නේ මහා සම්මේලනයටයි" අගමැතිවරයා පැහැදිලි කළා.

“ 2025 දී පොහොසත් රටක් ආර්ථික සැලැස්ම ඉතා උසස් එකක්. මේ ආණ්ඩුව 2025 දක්වා යන්න සැලසුම් කරපු බව ජනතාවට දැන් තේරිලා” දයා ගමගේ මෙන්ම රවි කරුණානායක කීවේද එකම කතාවක්.

“ 2025 නෙවෙයි, මේ සැලැස්ම සාර්ථක වුණාම මේ රජය කවදාවත් හොලවන්න බැරි වේවි.”

නවීන් දිසානායක ඇමතිවරයා විශ්වාසය පළ කළා.

39 වැනි උදා ගම්මානය - “සිරිබරගම” ජනතා අයිතියට පැවරීම සඳහා ලුණුගම්වෙහෙර, පහළ මත්තල පැවැති උත්සවයේ දී සමරු ඵලකය විවෘත කරමින් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එහි රැස්ව සිටි පුද්ගලයන්ට කීවේ “මේ ගම්මානය හදන්න පටන් ගත්තේ බාධා ගණනාවක් මැදයි” කියායි. ඉකුත් රජය සමයේ පාලකයන්ගේ අනුග්‍රහය ලැබූ පුද්ගලයන් දෙදෙනකු විසින් එහි විශාල ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අල්ලාගෙන නිරත වී සිටි අනවසර වගා කටයුතුවලින් ඔවුන් ඉවත් කිරීම නිසා, නිවාස තනා ගැනීමට එහි නොඑන ලෙස ඔවුන් ගැමියන්ට තර්ජනය කිරීම ඇතුළු සිද්ධි ගණනාවක් ඒ වකවානුවේ සිදු වුණා. උත්සවයේ දී සජිත් හමුවුණු දහම් පාසල් ගුරුවරුන් පිරිසක් කීවේ “ඔබතුමාගේ පියා රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී දහම් පාසල් ගුරු සේවයේ හිටපු අයට අතිරේක ලකුණු ප්‍රමාණයක් ලබා දීමට ගත් පියවර නිසා අපට එදා අලුත් වටිනාකමක් එකතු වුණා” යනුවෙන්. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ස්වේච්ඡා සේවයක නිරත වන දහම් පාසල් ගුරුවරුන් මුහුණ දී සිටින නිවාස ගැටලු විසඳීමට උපකාර කරන ලෙසයි. සජිත් ඒ මොහොතේම නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ මින් ඉදිරියේ දී උදා ගම්මාන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ‍ හා වෙනත් සේවාවන් සැපයීමේ දී දහම් පාසල් ගුරුවරුන්ට ප්‍රමුඛතාවක් හිමිකර දෙන ලෙසයි. සජිත් ඇමැතිවරයා ගම්මානයේ නිවසින් නිවසට යද් දී එහි වඩාත්ම දිළිඳු නිවසේ ගෘහ මූලික කාන්තාව කීවේ අමුතු කතාවක්. “අපට දැන් තමයි තේරෙන්නේ මේකෙ වටිනාකම. සමෘද්ධිය වගේ මේක මාසෙකට සැරයක් හම්බවෙන දීමනාවක් නෙමෙයි. අපිට ඉඩමක්, ගෙයක් තිබ්බෙම නෑ. සල්ලි පොකැට් ගහන්ඩ වුණත් පුළුවන්නේ. ඒත් මේ ගේ කාටවත්ම උදුරගන්ඩ, අයිති කොරගන්ඩ බෑ. මේක අපට මහ වස්තුවක් මහත්තයෝ” ඇය කියද් දී සජිත් අවට සිටියවුන්ට කීවේ “ඇහුණද, අපි නෙවෙයි කියන්නේ, ඒ දුප්පත් අම්මා. අද ලෝකයේ අලුත් ප්‍රවණතාව තමයි, නැති - බැරි අයට මුලින්ම ප්‍රාග්ධන සම්පත ලබා දීම, අපි මේ කරන්නෙත් ඒකම තමයි” කියායි.

බ්‍රහස්පතින්දා උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අතර ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද එයට එක්ව සිටියා.

එහි උත්සව සභාව අමතමින් කතා කළ අගමැතිතුමා කියා සිටියේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවයි.

"අපි සංචාරක කර්මාන්තය දියුණු කරන්න සැලසුම් සකස් කර තිබෙනවා. එතැනින් ගාල්ල ප්‍රධානයි. දැන් වජිර අබේවර්ධන ඇමතිතුමාට අක්කර 1000ක පමණ භූමියක සංචාරක කර්මාන්තය සංවර්ධනය කරන්න දීල තියෙනවා.මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධ මධ්‍යස්ථානයකුත් එතැන ඉදිකරන්න පුළුවන්.නමුත් රාජිත සේනාරත්න ඇමතිතුමා වෙන දෙයක් කියාවි"

අගමැතිවරයා එසේ කියනවාත් සමගම රාජිත ඇමතිවරයා කියා සිටියේ."මේක බේරුවල හදන්න ඕනෑ."

මේ අවස්ථාවේ කතාව මදකට නතර කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිනහ සෙමින් කියා සිටියේ.

"මම කිව්වේ........ වජිර ඇමතිතුමා දැන් ඉතින් මේකට උත්තර දෙන්න යන්න එපා. මට මෙතන මගේ කතාව කරන්න ඕනෑ." යනුවෙන්.අගමැතිවරයා එසේ කියද් දී රැස්ව සිටි සියල්ලෝ ම සිනාසුණා.ඒ සිනහව වජිර හා රාජිත ඇමැති දෙපළගේ මුවඟට ද නැ‍ඟෙනු වළක්වන්නට බැරිවුණා.

ලබන සෙනසුරාදා දිනය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙන්කරගෙන තිබෙන්නේ ගාල්ලේ යාමටයි. ගංවතුරින් හානියට පත් කුඩා තේ වතු හිමියන්ට සහනාධාර චෙක්පත් බෙදා දීම එම ගමනේ අරමුණ වී තිබෙනවා.වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව මේ කටයුත්ත සිදුකරනවා. පිරිනමන මුදල රුපියල් කෝටි 17ක් ලෙස සටහන්ව තිබුණා. ඒ හානි සිදුවූ කුඩා තේ වතු හිමියන්ට ලබා දෙන මුදලයි. පසුගිය ගං වතුර අවස්ථාවේ දී එම ප්‍රදේශවල සංචාරය කළ අගමැතිවරයා කියා සිටියේ හානියට පත් වගාකරුවන්ට මෙන් ම කර්මාන්තශාලා හිමියන්ටත් රජයෙන් වන්දි ලබා දෙන බවයි. මේ බව සිහිපත් කරමින් වජිර අබේවර්ධන අමාත්‍යවරයා කුඩා තේ වතු හිමියන්ට වන්දි මුදල් පිරිනමද්දීම තේ කර්මාන්තශාලා හිමියන්ටත් වන්දි දිය යුතු බව අගැමතිවරයාට සිහිපත් කර තිබුණා. ප්‍රතිඵලය වූයේ තවත් රුපියල් කෝටි 16ක පමණ මුදලක් ඒ වෙනුවෙන් වෙන්වීමයි. දැන් ගාල්ලේ දී රුපියල් කෝටි 32ට වඩා වැඩි මුදලක් කුඩා තේවතු හිමියන්ටත්, තේ කර්මාන්තශාලා හිමියන්ටත් බෙදා දීමට නියමිතයි.

ජනතා විමුක්ති විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය හතර වැනිදා රැස්වූයේ ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ දී පාර්ලිමේන්තුවේ කාර්යභාරයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.මෙහි දී විශේෂයෙන් අවධානය යොමු වූයේ ජාතික ආණ්ඩුවේ වසර දෙකක කාලය සැප්තැම්බර් 02න් අවසන් වීම, විගණන පනත, දේශීය ආදායම් පනත, 20වැනි සංශෝධනය ආදී කරුණු ගැනයි. "ආණ්ඩුවට තවදුරටත් ජාතික ආණ්ඩුව ලෙස පෙනී ඉන්න පුළුවන්කමක් නැහැ.මොකද මේ ජාතික ආණ්ඩු එකඟතාවයට දැන් වසර දෙක සම්පූර්ණ වෙලා ඉවරයි.ඒ නිසා දැන් ආණ්ඩුවේ ඉන්න ඇමැති ධුර ගණන 30ට බස්සන්න ඕනෑ"අනුර දිසානායක විශේෂ කරුණක් ඉදිරිපත් කළා. ඔව්, එජාපයටයි, එජනිසයටයි ජාතික ආණ්ඩුවක් ඕන වුණේ ඇමැති ධුර වැඩිකර ගන්න.ජාතික ආණ්ඩුවට මුවා වෙලා තමයි ඇමැති ධුර 30 සිට 48 දක්වාත් නියෝජ්‍ය රාජ්‍ය ඇමැති ධුර 40 සිට 45 දක්වාත් වැඩි කරගත්තේ. දැන් මේ අමතර ඇමැති ධූර ව්‍යවස්ථාවට පටහැනියි. මේ ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවන්න ඕනෑ” විජිත හේරත් කියා සිටියා.

"අගමැතිටයි ජනාධිපතිටයි එකතුවෙලා 20වැනි සංශෝධනය හදාගන්න බැරි වුණා. ඒකෙත් අඩුපාඩු ගොඩයි. අඩුම තරමේ තමන්ගේ පක්ෂ දෙකේ පළාත් සභා මන්ත්‍රීලා ටික ඒ සංශෝධනයට එකඟ කර ගන්න බැරි වුණා" බිමල් රත්නායක කීවා."ඔව්, ඒ සංශෝධනයෙත් අඩුපාඩු ගොඩයි.පළාත් සභා විසුරුවන බලය පාර්ලිමේන්තුවට ගන්නවා කිව්වට ඒක මැතිවරණ පවත්වන කාල වකවානුවක් ගැන නිශ්චිත නැහැ.” විජිත හේරත් කීවා.

මේ අතර ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය විගණන පනත පිළිබඳවද යොමු වී තිබුණා ”මේ ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් තමයි ජාතික විගණන පනත සම්මත කරගන්න එක.දින 100 වැඩපිළිවෙළෙත් නිශ්චිතව ඒක ඇතුළත් කරලා තිබුණා. නමුත් දැන් අවුරුදු දෙකකට වැඩියි.තවම විගණන පනත නැහැ.මේක ආණ්ඩුව ගේන පාටක් නැහැ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට විගණන පනත පාර්ලිමේන්තුවට දාමු” සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා යෝජනා කළා."ඒක හොඳ යෝජනාවක්. ආණ්ඩුව මේක කමිටු දාලා එක එක සංශෝධන ගේනවා. මේ විදියට සංශෝධනය කරලා මේ විගණන පනත ගෙනත් වැඩක් නැහැ. මේකට ආණ්ඩුවේ ඇමතිවරුයි නිලධාරී කණ්ඩායමකුයි තමයි විරුද්ධ නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා කියා සිටියා. "විගණන කොමිසම හදලා තිබුණට වැඩක් නැහැ, පනත නැතුව ඒකට ක්‍රියාත්මක වෙන්න බැහැ. අනෙක් බරපතළ කාරණය තමයි විගණන කොමිසමේ නිලධාරීන්ට ලක්ෂ ගණන් පඩි දෙනවා වැඩක් කෙරෙන්නේ නැහැ. මේ අවුරුද්ද ඉවර වෙනකොට විගණන කොමිසම විගණනයට ලක්කරන්න වෙනවා වැඩ නොකර පඩි ගත්තා කියලා. ඒ නිසා අපි මේක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට පාර්ලිමේන්තුවට දාමු.” ජවිපෙ නායකයා කියා සිටියා. ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ යෝජනාවක් ලෙස විගණන පනත 07වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වුණා.

දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වුණු 51වැනි ආසියාතික කායවර්ධන තරගාවලියේ කිලෝග්‍රෑම් 100ට වැඩි බර පංතිය යටතේ තරගයට ඉදිරිපත් වුණු ලූෂන් පුෂ්පරාජ් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා.කුඩා කළ සිට කාය වර්ධනය සඳහා උනන්දුවක් දැක් වු ඔහු මෙම රන් පදක්කම දිනාගත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයේ හෝ ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ක්‍රීඩාවට සම්බන්ධ ආයතනයක සහයක් නොමැතිව වීම විශේෂත්වයක්. ජා ඇල කල්එළිය ප්‍රදේශයේ ජීවත් වූ ඔහු ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කළ තරුණයෙක් .අගහිඟකම් නිසාම ඕමානයේ රැකියාවකට විදෙස්ගත වූ ඔහු එහි දී තමාට හමු වූ අනුග්‍රාහකයකු මාර්ගයෙන් මෙම තරගයට ඉදිරිපත් වුණා. ඔහු ජය ලබා ලංකාවට පැමිණි පසු ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කළ උත්සවයකට ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්ටද ආරාධනයක් ලැබී තිබුණා"මන්ත්‍රීතුමාට ආරාධනා කළේ විශේෂ හේතුවක් නිසයි. ඔබතුමා පළාත් සභාවේ ඉන්න කාලේ 1999 දී විතර ප්‍රතිපාදනවලින් දුන්න කායවර්ධන ක්‍රීඩා භාණ්ඩවලින් තමයි මේ පුෂ්පරාජ් පුහුණුවීම් කළේ.අපිට ඒක මතක තිබුණා.ඒ නිසයි ආරාධනා කළේ.” ප්‍රදේශවාසියෙක් කියා සිටියා. "මන්ත්‍රීතුමා අපේ රටේ ක්‍රීඩා අමාත්‍යංශය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මුල ඉඳලම මෙයාට කැපිලි. විවිධ චෝදනා දාලා කැපුවා. පදක්කම ගත්තට පස්සේ අපි අමාත්‍යංශයට කතා කළා. ඒත් ගණන් ගත්තේ නැහැ.” තවත් ප්‍රදේශවාසියෙක් කියා සිටියා. "අපේ රටට ලොකු කීර්තියක් ගන්න තිබුණ අවස්ථාවක් ක්‍රීඩා අමාත්‍යංශය නැති කරගත්තා. ලංකාවට එන වෙලාවේ පිළිගන්න ගියෙත් ගමේ කට්ටිය. කනගාටුවට කරුණ මන්ත්‍රීතුමා, පුෂ්පරාජ්ට අනුග්‍රහය දුන්නේ පිටරට ආයතනයක් නිසා කුසලානේ අවුරුද්දක් යනකල් ලංකාවට ගේන්න බැහැ.” තවත් ප්‍රදේශවාසියෙක් කියා සිටියා.

පසුගිය තුන්වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාටද තීරණාත්මක දිනයක් වුණා. ඒ ඔහුගේ දේශපාලන ගමන නිරවුල්ව පෙන්නුම් කරන දිනයක් වූ නිසායි. එදින උදයේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකථන ඇමතුමක් දුන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාගේ උපන් දිනයට සුබපැතුවා. හිතවත් හෝ හැඳුනුම්කමක් ඇති බොහෝ දෙනාට උපන් දිනයේ දී සුබපැතීම මහින්ද රාජපක්ෂ මහතාගේ සිරිතක් වූවද මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කොට ජයගැනීමෙන් පසුව මෙබඳු සුබපැතීමක් එතුමාට කළේ පළමු වතාවටයි. නාමල් රාජපක්ෂ මහතාද ජනාධිපතිතුමාට උපන් දින සුබපැතීමක් ඔහුගේ ට්විටර් ගිණුමේ පළකොට තිබුණා. එය අන්තර්ජාලයේ හුවමාරු වුණා.

කැම්බල් පිටියේ පැවැති ශ්‍රීලනිප සමුළුවට සහභාගි නොවූ මහින්ද රාජපක්ෂ මහතා එදිනම දෙනියායේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ රැස්වීමට සහභාගි වුණා. එය පොදුජන පක්ෂය හෙවත් පොහොට්ටු පක්ෂයේ ආසන බල මණ්ඩලය පිහිටු වීමේ රැස්වීමයි. ‍මෙතෙක් කලක් බැසිල් රාජපක්ෂ මහතා හා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙම පක්ෂයේ වැඩකටයුතු කරගෙන ගියද මහින්ද රාජපක්ෂ මහතා එම රැස්වීම්වලට සහභාගි වූයේ නැහැ. හැංගි හැංගි වෙස්බැඳීම අවසන් කළ රාජපක්ෂ මහතා දෙනියායේ දී පොහොට්ටු පක්ෂ වේදිකාවට නැඟීම විශේෂ සිදුවීමක්. මෙයින් පෙනී ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමේ සියලු බලාපොරොත්තු රාජපක්ෂ මහතා අත්හැර ඇති බවයි. ඒ මහතා එසේ කරනවිට පක්ෂයේ සභාපතිකම නැවත ඔහුට දෙන ලෙස ඉල්ලා ශ්‍රීලනිප පාක්ෂිකයකු ගොනුකළ පෙත්සමේ තීන්දුව දීම මේ මස 29දා සිදුකරන බව ද ප්‍රකාශ කොට තිබුණා.

දෙනියායේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට නැඟි මහින්ද රාජපක්ෂ මහතා වැදගත් ප්‍රකාශයක්ද කළා. එනම් මින්පසුව මැතිවරණ තරග කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ මල් පොහොට්ටුව ලකුණින් බවයි. ශ්‍රීලනිප සම්මේලනයට තමන්ට ආරාධනා ලැබුණේ අවසන් මොහොතේ දී බවත් ඒ නිසා තමන් හෝ තම කණ්ඩායමේ කිසිවකු හෝ සම්මේලනයට සහභාගි නොවූ බවත් රාජපක්ෂ මහතා මෙහි දී පැවැසුවා.

මහින්ද රාජපක්ෂ මහතා එදිනම මුලටියන පැවැති පොදුජන පක්ෂ රැස්වීමටද සහභාගි වුණා. එහි දී පොදුජන පක්ෂයේ හක්මන ආසන බල මණ්ඩලය පිහිටුවීම සිදුවුණා. එම අවස්ථාවට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා කීවේ අපි රනිල්ට රනිල් අපිට කියමින් ශ්‍රීලනි පාක්ෂිකයන් පෙළපාලි යනු තමන් මුහුණු පොතෙන් දුටු බවයි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...