මගේ අලි කතාවේත් වලිගය අල්ල ගත්තා | දිනමිණ

මගේ අලි කතාවේත් වලිගය අල්ල ගත්තා

වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

වල් අලි පාලනය පිළිබඳ අදහස් දැක්වීමෙන් සිදුකර ගත්තේ දෙබරයට ගල්ගැසීමක් ද? අලුත් අමාත්‍යාංශයේ කටයුතු සිදුවන ආකාරය කෙසේ ද? ජගත් ජයසූරිය මහතා සම්බන්ධ ප්‍රශ්නයට ආණ්ඩුව මුහුණ දෙන ආකාරය කුමක්ද? යන කරුණු ඇතුළුව කාලීන දේශපාලන ප්‍රශ්න කිහිපයක් සම්බන්ධව අදහස් දක්වමින් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන අද මැති හමුවට එක්වේ.

l පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධුරයෙන් පසු ඔබට හිමිවුණේ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරයයි. කොහොමද අලුත් අමාත්‍යාංශයේ වැඩ කටයුතු

වෘත්තීය පුහුණු අමාත්‍යාංශයෙන් කරන්නේ වැඩ ලෝකයට මිනිසුන් සූදානම් කිරීම වැඩ ලෝකයට තරුණ ජනතාව සූදානම් කිරීම. එහෙම නැතිව කාර්යාල ලෝකයට ජනතාව සූදානම් කිරීම නෙවෙයි. අපේ රටේ බොහෝ දෙනා හිතන්නේ රැකියා කියන්නේ කාර්යාලීය රැකියා පමණයි කියලයි. අපේ රටේ පාසලුත් විශ්වවිද්‍යාලත් හිතන්නේ කාර්යාල ලෝකයට අප සූදානම් විය යුතුයි කියන ආකල්පය වගා දිගා කරමින්. එවැනි තත්ත්වයක වැඩ ලෝකයට උචිත ජනතාව දැනුමෙන් කුසලතාවලින් සන්නද්ධ කිරීමට ආකල්පවලින් පොහොසත් කිරීමේ වගකීම තමයි අපේ අමාත්‍යාංශයට බාර වී තියෙන්නේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජය දැන් මේවන විට වෘත්තීය පුහුණුවත් නිදහස් අධ්‍යාපනයේ කොටසක් බවට පත් කරල තියෙනවා අපේ අමාත්‍යාංශය මේ වන විට වෘත්තීය පුහුණුව පිළිබඳ නිපුණතාව ලබාදීමට වැඩ සටහන් රැසක් ආරම්භ කරලා තියෙනවා.

l එක්සත් ජාතික පක්ෂය සිය 71 වැනි සංවත්සරය පසුගිය 06 වැනිදා සැමරුවා. ඒ නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය ලබන 10 වැනිදා රත්නපුරේදීමයි පැවැත්වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ 71 වසරක ගමන් මඟ ඔබ දකින්නේ කොහොමද?

පළමුවෙන්ම එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරයට අපි සුබ පතනවා. අපිත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ආවා. 71 වැනි සංවත්සරය රත්නපුරේ පැවැත්වීමත් විශේෂයි. ඊට අපේ සම්පූර්ණ සහාය හා ශක්තිය ලබා දෙනවා. සංවත්සරය සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරනවා. එක්සත් ජාතික පක්ෂය අපේ රටේ පැරැණිම දේශපාලන පක්ෂ දෙකෙන් එකක්. අනෙක් පක්ෂය තමයි ලංකා සම සමාජ පක්ෂය. නමුත් ලංකා සම සමාජ පක්ෂය අද බොහෝම අක්‍රීය තත්ත්වයක පවතින්නේ. එක්සත් ජාතික පක්ෂය සක්‍රීය ලෙස දිගටම ක්‍රියාත්මක වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුනෙත් එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය පිරිසකගෙන්. එක්සත් ජාතික පක්ෂය මේ රටට ලබා දුන් හොඳ නරක දෙකම පිළිබඳ වාද විවාද විවිධ මත තියනවා. මා දැක්ක විශේෂම ලක්ෂණය, එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබිලා තියනවා. කාලානුරූපව වෙනස් වෙමින් ඉදිරියට යන්න. කාලානුරූපීව වෙනස් වෙමින් ඉදිරියට යන්න බැරි දේශපාලනපක්ෂ වඳවෙලා යනවා. අර්බුදවලට ගොදුරු වෙනවා. එක්සත් ජාතික පක්ෂය එහෙම එකක් නෙවෙයි. කාලයට ගැලපෙන ආකාරයට දර්ශනය වැඩ ශෛලිය උපාය උපක්‍රම සියල්ල සකස්කර ගන්න පක්ෂයක්.

l හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව බ්‍රසීලය ප්‍රමුඛ රටවල් පහක් ඉදිරිපත් කර තිබෙන යුද අපරාධ චෝදනා පිළිබඳ ඔබ හිතන්නේ කුමන ආකාරයෙන්ද?

ජගත් ජයසූරිය මහතා ඇතුළු රටේ කිසිම හමුදා නිලධාරියෙකුට ජාත්‍යන්තර උසාවිවල යුද අපරාධ චෝදනා එල්ල කිරීමට අපි විරුද්ධයි. රටක් හැටියට අපි ඒ බව ප්‍රකාශ කරලා තියනවා. ජගත් ජයසූරිය මහතාට එවැනි චෝදනාවක් එල්ල වෙනවා නම් රටක් විදියට අපි ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. මේවා ගෙනෙන්නේ යුරෝපීය සංගමය හෝ එක්සත් ජාතින්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර පර්ෂද නෙවෙයි. තනි තනි රටවල් ඒකරාශි වෙලා. කොටි සංවිධානයට හිතවාදී ඩයස්පෝරා බලවේග ඒ රටවල්වල ඉන්නවා. මේවා ඒ අය කරන වැඩ. හමුදාව ඇතුළේ ප්‍රශ්නයක් තියනවානම් ඒක අපි රට ඇතුළේ විසඳාගත යුතුයි. ඕනෑම හොඳ හමුදාවක පවා නරක නිලධාරින් ඉන්න පුළුවන්. ඒවට තමයි කෝට් මාෂල් වගේ නීති තියෙන්නේ.

l ජගත් ජයසූරිය මහතා යුද අපරාධ සිදුකර ඇති බවත් තමා ඊට සාක්ෂි වුවත් ලබාදෙන බවත් සරත් ‍ෆොන්සේකා මහතා කියලා තියනවා නේද?

මම දන්න තරමට සරත් ෆොන්සේකා මහත්තයා එහෙම නෙවෙයි කියලා තියෙන්නේ. ජගත් ජයසූරිය මහතාට විරුද්ධව චෝදනා තියනවා කියලයි එතුමා කියලා තියෙන්නේ. අනෙක මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර උසාවිවලට යනවා කියලා සරත් ‍ෆොන්සේකා මැතිතුමා කියලා නෑ. ඔහු කතා කරලා තියෙන්නේ දේශීය තත්ත්වයක් පිළිබඳව සරත් ෆොන්සේකාගේ කියමනෙන් අපි කියපු රජයේ ස්ථාවරයට හානියක් වන්නේත් නෑ. ඒවා පුද්ගලික මට්ටමේ ප්‍රශ්න වෙන්න ඇති.

l 2025 වන විට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත්කිරීමේ ආර්ථික සැලැස්ම පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළි දැක්කා. ආණ්ඩුව පත්වෙලා වසර දෙකහමාරක් යනතුරු මෙවැන්නක් ගේන්න බැරි වු‍‍‍ණේ ඇයි?

ඇත්තෙන්ම මුල් වසර දෙක අපිට ගතකරන්න වු‍ණේ මේ රට වෙලාගත් ණය අර්බුදයෙන් ගොඩ ගන්න මූලික සැලසුම් හැදීමටයි. මංමුළා වී තිබූ හම්බන්තොට වරාය වගේ ව්‍යාපෘති විධිමත් විදියට හදාගන්න අවශ්‍ය වුණා. රටේ අත්‍යාවශ්‍ය නීති ප්‍රතිසංවිධානය කරන්න සිදු වුණා. ඒවායේ පදනම තමයි පසුගිය වසර දෙකේ දැම්මේ. ඉතිරි කාලයේ තමයි ඒවයේ ප්‍රතිලාභ ජනතාවට අත්පත් කරලා දෙන්න සිදුවු‍ණේ.

l සරත් ෆොන්සේකා මැතිතුමාටත් එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය කියලා තියනවා. මේ ආණ්ඩුවට එරෙහිව දිගින් දිගටම විශ්වාස භංග එ‍න්නේ ඇයි?

විශ්වාස භංග දැන් විලාසිතාවක් බවට පත්වෙලා. ෆොන්සේකා මැතිතුමාට එරෙහි විශ්වාසභංගය ගේන්න කියා අපි අභියෝග කරනවා. ඒක ෆොන්සේකා මැතිතුමාට සහාය පළ කරන යෝජනාවක් බවට පත්වේවි.

l ශ්‍රී ලංකාවේ අලි අතිරික්තයක් ඇති බවත් අතිරික්ත අලි විදෙස් රටවලට විකුණා දැමිය යුතුබවත් පසුගිය දා රත්නපුරේදී ඔබ කළ ප්‍රකාශය දෙබරයට ගල්ගැසීමක් වුණා නේද?

ඔය මම කරපු ලොකු කතාවක එක පුංචි කෑල්ලක් විතරයි. සමස්ත කතාවම ඇහුවානම් දැක්කානම් මම ඉතා බරපතළ ජාතික අර්බුදයක් ගැන කතා කරපු බව කාටත් පෙනෙයි. ඒක තමයි වන සතුන් ගම්වැදීම නිසා ඇතිවන සමාජ ප්‍රශ්නය. අද වන අලින් ගම්වැදීම නිසා මිනිස්සු මිය යනවා. බව ‍භෝග විනාශ වෙනවා. ඒ වගේම මිනිසුන්ගේ ප්‍රහාර නිසා වන අලි විනාශ වෙනවා. වල් ඌරන් ගම්වැදීම නිසා බව භෝග විනාශ වෙනවා. මිනිසුන් ගොවිතැන අතඇරලා දාල තියනවා. ජලාශවල කිඹුලන් බෝවීම නිසා මාරාන්තික තර්ජන මිනිස්සුන්ට ඇතිවෙලා තියනවා. මේක ජාතික පරිමාණයේ අර්බුදයක්. අපිට මේකෙන් මග හැරලා යන්න බෑ. ඒ නිසා අපගේ වන ජීවී ප්‍රතිපත්තිය දිහා ආපහු හැරිලා බලන්න වෙනවා. ඒකෙදී මිනිස්සුන්ට හානිකර සුලභව බෝවන සත්තුන්ගේ බෝවීම පාලනය කිරීමක් කළ යුතු යැයි මා හිතනවා. දුර්ලභ සතුන් සංරක්ෂණය කිරීමත් ඒ සමඟම කරන්න ඕනෑ. අලියා කියන්නේ දුර්ලභ ගනයේ සත්ත්වයෙක්. නමුත් අවාසනාවකට අපේ රටේ කැලෑ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන විදියට අලි ගහණය වැඩිවෙලා තියනවා. කැලෑ විනාශ කෙළේ මිනිහා තමයි. ඒ වුණත් ඒක පමණක් කිය කියා ඉඳලා වර්තමාන ගැටලුවට විසැඳුමක් එන්නේ නෑ. අපි වන වගා ආදිය වැඩිකරන අතරම, අලි වැට ආදී ආරක්ෂක පියවර ගන්නා අතරම, අලි බෝවීම වැළැක්වීමට පියවර ගත යුතු බව මා හිතනවා.

මා යෝජනා කරන්නේ අලි හීලෑකරල ඇතිදැඩි කර ගැනීමට විහාරස්ථානවලට හෝ සුදුසු පුද්ගලයන්ට රජයේ අධීක්ෂණය යටතේ ලබාදීම සුදුසුයි කියලයි. ඒ අතර අපට තියන ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව පිටරටට පරිත්‍යාග කරන්න පුළුවන්නම් හොඳයි කියලයි මා කිව්වේ. ජනමාධ්‍ය සුපුරුදු පරිදි අල්ලගත්තේ අර අලි විකුණන්න කියපු කතාව විතරයි. ඒ අතර වල් ඌරන් බෝවීම පාලනය කිරීම සහ වල් ඌරන් සංරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කරලා දඩයම් කරන්න ඉඩ දෙන ලෙසත් ඒ දඩමස් විකුණගැනීමට අවසර දිය යුතු බවත් මා පැවසුවා.

දැන් ගොඩක් අය අවිහිංසාවාදී පැත්තෙන්, පරිසරවාදි පැත්තෙන්, ආගමික සාරධර්ම පැත්තෙන් මට විරුද්ධව අදහස් ඉදිරිපත් කරනවා. සමහර බංකොලොත් උදවිය මා පෙන්නපු ප්‍රශ්නය දිහා බලන්නේ නැතිව අපිට අවලාද නගනවා. අපිට බැණලා ප්‍රශ්න විස‍ඳෙනවා නම් බැන්නට කමක් නෑ. මේක ජාතික ප්‍රශ්නයක්. මට අවශ්‍ය වුණේ මේ ජාතික ප්‍රශ්නය දෙස සමාජයේ සෙසු අයගේ ඇස යොමු කිරීමටයි. මට බැණලා හරි දැන් ඒ වැඩේ වෙලා තියෙනවා. දැන් කවුරුත් මිනිසා, ගහකොළ සතා සීපාව රැක ගන්න පුළුවන් අන්තවාදී නොවන වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා කරනවා නම් හොඳයි.

l රිළව්, මොනරු, දඬු ලේනා වැනි සතුන්ගෙනුත් ගොවිතැන් කරන ප්‍රදේශවල ජනතාවට විශාල හානියක් සිදුවෙනවා නේද? සමහර සාරවත් පොල් ඉඩම්වල ඇට්ටියක්වත් නැති තරමට දඬු ලේනුන් කාලා. මේ වගේ ගැටලුවලට පිළියමක් නැතිද?

ඇත්තටම දඬුලේනෝ, රිළව්, වඳුරෝ, මොනරු, ඌරෝ ගංඟාවල කිඹුලෝ අසීමිත ලෙස බෝ වෙනවා. ඒ නිසා තමයි මං කියන්නේ මේ අසීමිත ලෙස බෝවන සතුන්ගේ බෝවීම පාලනය කරන්න ඕනෑ කියලා. ඒ බෝවීම පාලනය කරන ක්‍රමය පිළිබඳ මා දන්නේ නෑ. ඒ ක්‍රමවේද දන්නේ සත්ත්ව විද්‍යාඥයන්. ඌරාගේ බෝවීම පාලනය නොවීමට නම් එක හේතුවක් වන්නේ කැලෑවේ නරි හිඟවීම. නරි කරන්නේ පුංචි ඌරු පැටව් මරලා කන එක. නමුත් අපිට නරි හදන්න බෑ. වනයේ ස්වභාවික තුලනය බිඳ වැටිලා ඒක දැන් මිනිසාට බලපාලා. වල් ඌරෝ පාලනය නො‍කළොත් මිනිස්සු ගොවිතැන අතඇරලා දමාවි.

වගාවලට හානිවන අනෙක් සත්තු පාලනය කරන අන්දමත් සත්ත්ව වි‍ශේෂඥයන් කියන්න ඕනෑ. මේ සත්ත්ව මිනිස් ගැටුම යහපත් ආකාරයට විසඳගන්න ඕනෑ. අපි ප්‍රායෝගික මිනිස්සු වෙන්න ඕනෑ. සමහරු මෙතනදි ගන්නේ සත්තුන්ගේ පැත්ත විතරයි. තවත් සමහරු ගන්නේ මිනිස්සුන්ගේ පැත්ත විතරයි. සමහරු මේකට බලපාපු හේතු ගැන කියනවා විනා විකල්ප විසඳුම් ඉදිරිපත් කරන්නේ නෑ. මම පරිසරයට, ගහ කොළට, සතාසීපාවාට ආදරය කරන කෙනෙක්. වනාන්තර වැවීම සඳහා මහජන ව්‍යාපාර මෙහෙය වූ කෙනෙක්. හැබැයි ඒ වගේම කෙලින් කතා කරන කෙනෙක්. ගොඩක් අය මම වගේ කෙලින් කතා නොකළට මේ සත්ත්ව මිනිස් ගැටුමේදී දරන්නේ මා දරන අදහසම තමයි.

l ගෝඨාගේ එළිය නමින් නව සංවිධානයක් පසුගිය දා එළි දැක්කා. ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලන කරළියට එන බවට සංඥාවක්ද මේ ලබා දෙන්නේ.

ගෝඨාභය මහත්තයා දැන් හමුදා නිලධාරියෙක් නොවේ. ඔහුට දේශපාලනය කරන්න අයිතියක් නිදහසක් තියනවා.

l ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ස්ථාවර දෙකක ඉන්නේ. මේ පක්ෂ දෙක එක ස්ථාවරයකට ගේන්නේ කොහොමද?

ව්‍යවස්ථාවක් කියන්නේ සරල දෙයක් නෙවෙයි. සංකීර්ණ දෙයක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මත දෙකක පිහිටි පක්ෂ දෙකක්. එක්සත් ජාතික පක්ෂය තමයි විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවේ. නමුත් ඒ පක්ෂය දැන් විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න වුවත් සූදානම්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම වෙනුවෙනුත්, සංශෝධිතව පවත්වාගෙන යෑම වෙනුවෙනුත් පෙනී සිටිනවා. කොහොම වුණත් අපිට මේක පවත්වාගෙන යෑම හෝ අහෝසි කිරීම සිදු කිරීමට වෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත අනුවයි.

මෙය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ වගේම රටේත් මහා සම්මුතියක් ඇති වුණොත් පමණයි.

ගාමිණි බණ්ඩාරනායක

අදහස් 1ක් ඇත

Obadekwu Adahas gena Ma Puduma UU wa Oba lankika yakudei Wareka Hithuna Obe Oya kathawa Hariyatama Hari, Eya Thama Kalayuthu Ekamade 25332 Ethulatha Siyallakma Viyayuthui Wahana Genweema, Meyath Meeta adalaiParana Ewa Vinasha kala Pramanaya Pamanak Genwanawa,Hemavitama Ek Thara pramanayak Pamanak Thiyenawa, Hemadama E pramanayama Thibiya Yuthui,Mokada 25332 Wedi Nowana Nisa,Mama Hithna Dema Oba Prakasha karanne Kohomada Kiya Puduma Wenawa , lankawe Prathama Waratai Ohoma Kathawak Ehuwe.

නව අදහස දක්වන්න