කලාකරුවාට වටිනාකමක් | දිනමිණ

කලාකරුවාට වටිනාකමක්

 සමාජ අර්ථයෙන් ගත්කල කලාකරුවා යනු දිළින්දෙකි. ඔහු පොහොසත් වන්නේ අදහස්, ආකල්ප හා පරිකල්පනය අතින් ය. අපේ රටේ ඇතැම් කලාකරුවන්ගේ ජීවිත දෙස බලන විට විශාල ඛේදවාචකයක් ඒ පසුපස තිබේ. කලා කටයුතුවල නිරත තරුණ කාලයේ ඔවුන්ගේ ජීවිත ගෙවී යන්නේ අතිශය සුන්දර ලෙස ය. ඒ සුන්දරත්වය පවතින්නේ සමාජ ඉල්ලුම පවතිනතාක් පමණි. ඉනික්බිති ඔවුන්ගේ ජීවිත කඩා වැටීමකට ලක් වේ. මහලු වයසේ දී කලාකරුවන් තරම් අපහසුවට පත්වන තවත් පිරිසක නැති තරම් ය. කෙනකුට හිසට සෙවණක් නැත. තව කෙනෙකුට ජීවිතය ගැටගසාගන්නට ක්‍රමයක් නැත. තවත් කෙනකුට බෙහෙත් පෙත්තක් ගන්නට පිච්චියක් නැත.

සමාජවාදී රටවල කලාකරුවන් පෝෂණය කිරීම සඳහා ආර්ථික උපාය මාර්ග තිබේ. තව රටවල්වල රක්ෂණ ක්‍රම තිබේ. තවත් රටවල්වල අරමුදල් තිබේ. අපේ රටේ එබඳු කිසිම දෙයක් නැත. නළු -නිළි සංගම්, කලාකරුවන්ගේ සමිති, ගායක -ගායිකාවන්ගේ හවුල් පවා ඇතිවන්නේ මෑතක දී ය. ඒ අනුව අපේ කලාකරුවා කාලයක් තිස්සේ ජීවත් වී ඇත්තේ ආර්ථික හුදෙකලාභාවයක යැයි කියන්නට පුළුවන. සංස්කෘතික අමාත්‍යාංශය කලාකරුවන් පෝෂණය කිරීම සඳහා යම් පමණක වැඩසටහනක් ගෙන යන්නේ වුව එය ප්‍රමාණවත් නැත. විධිමත් නැත. එය තවදුරටත් ශක්තිමත් විය යුතුව තිබේ.

මේ අතර ඊයේ පුවත්පත්වල කලාවට හා කලාකරුවාට ඉතා වැදගත් ප්‍රවෘත්තියක් ඡායාරූප ද සමඟ පළ කර තිබිණි. එම ප්‍රවෘත්තියට අනුව ජනාධිපතිවරයා ගේ මැදිහත්වීම මත වයස්ගත ගායක -ගායිකාවන්ට විශ්‍රාම දීමනාවක් ගෙවීමට යයි. එහි මුල් පියවර ඊයේ ආරම්භ විය. මේ අරමුදලට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ දෙසිය පනහක් ලබා දී ඇත. මෙය හොඳ ආරම්භයක් සේ සැලැකිය හැකි ය. අරමුදල තවදුරටත් තර කර ගැනීමෙන් සියලුම ගායක ගායිකාවන්ට විශ්‍රාම වැටුපක් ලබා දිය හැකිය යන්න අපගේ අදහස ය. මේ සඳහා අනුග්‍රහය ලබාදීමට ව්‍යාපාරිකයන් පවා පොලඹවාගත හැකිය. එය සද්කාර්යයෙකි.

පසුගිය කාලය තුළ ගායක - ගායිකාවන් සම්බන්ධයෙන් අප අත්දුටු අත්දැකීම් කිහිපයක් මෙසේ ය. එක්තරා ගායකයකු අක්මා රෝගයකින් පෙළුණු අතර ඔහු සුවපත් කිරීම සඳහා විදේශීය ප්‍රතිකාර අවශ්‍ය විය. ඊට අදාළ මුදල් ඒකරාශී කර ගත්තේ ගායක හවුල් එක් වී ප්‍රසංග පැවැත්වීමෙන් හා වෙනත් ආධාර ලබා ගැනීමෙන් ය. තවත් ගායකයකු රෝග රැසක් සඳහා රෝහල්ගත වී සිටි අතර ඔහුගේ විය - පැහැදම් සිදු වූයේ ද ආධාර මත ය. තවත් ප්‍රසිද්ධ නිළියකගේ පුත්‍රයෙක් කියා සිටියේ තම මවගේ දණහිස් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා මුදල් නැති බව ය. මේ සියල්ලෙන් ම පෙනී යන්නේ කලාකරුවාගේ අසරණභාවය යි.

පොලිස් නිලධාරියා විශ්‍රාමගත් පසු ඔහු සිල්ලර මිනිසකුගේ තත්ත්වයෙන් ද පහළට ඇද වැටෙන බව කියති. පත්තරකාරයාගේ වටිනාකම පවතින්නේ ද ඔහු පත්තරයේ වැඩ කරන තෙක් පමණි. ගායක - ගායිකාවන් ද එබඳු යැයි කියන්නට පුළුවන. ඔවුනට ඉස්තරම් ම වූ කාලයක් තිබේ. එම කාලයේ දී දේශපාලකයාට ද වඩා කලාකරුවා බලවත් ය. මුළු මහත් සමාජයක් ඔහු පසුපසින් සිටිති. ඒ කාලය තුළ ඔවුනට අඩු ලුහුඬුකම් නැත. ජීවිතයේ බරක් ද නැති කලාකරුවාට සමනල ජීවිත ඇතැ’යි ඒ අනුව සිතන්නට පෙලඹේ. එහෙත් මේ කාලය ඉතා කෙටි ය. ඉනික්බිති එළඹෙන්නේ දුක්බර සමය යි.

දේශපාලනයත් - කලාවත් අතර දීර්ඝ සම්බන්ධයක් පවතී. ඇතැම් දේශපාලකයෝ තම ආකර්ෂණය සඳහා ද, ජනප්‍රියතාව සඳහා ද කලාකරුවන් පාවිච්චි කරති. බොහෝ කලාකරුවෝ දේශපාලන රැස්වීම්වල ගීත ගයති. නාට්‍ය රඟ දක්වති. මැතිවරණ කාලයේදී නැතිව ම බැරි සාධකයක් ලෙස ගායනය නම් කළ හැකි ය. එහෙත් ඡන්ද කාලය අවසන් වූ සැණෙන් දේශපාලකයාට කලාකරුවා අමතක වෙයි. යළිත් කලාකරුවා වැටෙන්නේ සුපුරුදු ජීවන අරගලයට ය. අපේ රටේ දේශපාලකයන් කලාකරුවාගෙන් වැඩ ගන්නවා මිස ඔහුගේ පැවැත්ම ගැන බලන්නේ නැත. ජනාධිපතිවරයා මේ ක්‍රමය වෙනස් කර ඇතැ’යි කියන්නට පුළුවන.

ගිය ආණ්ඩුව සමයේ දී මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දෙදෙනකුට චෝදනා එල්ල වූ අතර නඩු විභාගයේ තීන්දුව ලැබී ඇත්තේ දෙදෙනාට ම වසර තුන බැගින් වූ සිර දඬුවම් නියම කිරීමෙන් ය. දඩ මුදල රුපියල් ලක්ෂ විස්ස බැගින් ය. විදුලි සන්දේශ නියාමන කොමිසමට ගෙවිය යුතු මුදල මිලියන පනහ බැගින් ය. එම ආණ්ඩුව කලාකරුවන් උදෙසා කිසිකලෙක මෙවන් මුදලක් වැය කර නැත.

කලාකරුවාට විශ්‍රාම වැටුපක් යන්න දීර්ඝ කාලයක සිට සාකච්ඡා වූ මාතෘකාවකි. මේ සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණ, වැඩමුළු හා සැලැසුම් ගණනාවක් අප සිහියට නැ‍ඟේ. ඒවා බෙහෙවින් අර්ථවත් ය. හැඟුම්බර ය. එහෙත් කිසිදු ක්‍රියාත්මක දෙයක් ඒවායින් සිදුවූයේ නැත. කථිකාව එලෙස ම පවතින්නේ යැයි අවසන් ලෙස කිව හැකිව තිබිණි. මේ අතර ගායක -ගායිකා සංගමය කලාකරුවන් උදෙසා යම් මෙහෙවරක් ඉටු කළ බව කිව යුතුය. ජනාධිපතිවරයා මේ සද්කාර්යය සඳහා යොමු කරවන්නේ ද ගායක -ගායිකා සංගමය බව කිව යුතු ය.

ආරම්භයක් හැටියට මේ වැඩපිළිවෙළ ඉතා සාර්ථක බව කිව හැකිය. එක අතෙකින් මේ අරමුදල තරකර ගැනීම සඳහා පියවර ගත යුතුය. තව අතෙකින් සියලුම ගායක - ගායිකාවන් සඳහා විශ්‍රාම වැටුපක් ලබා දෙන තැනට මෙය ව්‍යාප්ත කළ යුතුය. කලාකරුවා රටකට දීප්තියකි. ජනතාවට ශක්තියකි. ඔහු ස්වාධීන පුද්ගලයකු කළ හැකි ‍හොඳ ම මාර්ගය වන්නේ කලාකරුවාගේ ආර්ථික පසුබිම සකස් කිරීම ය. මේ වැඩපිළිවෙළ ස්ථාපිත වීමෙන් පසු කලාකරුවා කෙසේ වුව ගායකයා දිළින්ඳකු නොවනු ඇත. 


නව අදහස දක්වන්න

Or log in with...