තිනියාවල පාලිත හිමිගේ පෙත්සම සලකා බැලීම ජනවාරිෙය් | දිනමිණ

තිනියාවල පාලිත හිමිගේ පෙත්සම සලකා බැලීම ජනවාරිෙය්

නෙල්කා මැදගෙදර

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත් කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා (කෝප්) වාර්තාව අභියෝගයට ලක් කරමින් තිනියාවල පාලිත හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි මස 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීරණය කෙළේය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, අනිල් ගුණරත්න, විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු එහි සාමාජිකයන් 26 දෙනා ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 32 දෙදෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිති.

ඉකුත් 2015 වසරේ පෙබරවාරි මස 27 හා 2016 මාර්තු මස 19 දින සිදු කරන ලද මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමසීම සාමාජිකයන් 26 දෙනකුගෙන් යුත් කෝප් කමිටුව විසින් සිදු කළ බව පෙත්සමේ දැක්වේ.

එහි පාද සටහන් සහිතව ඉදිරිපත් කරන ලද කෝප් කමිටු වාර්තාවෙහි සඳහන් ඇතැම් කරුණු එම වාර්තාව කියවන්නන් ව්‍යාකූලත්වයට පත් කරන අතර නොමග යවන සුළු බව පෙත්සමෙහි සඳහන් වේ.

එසේම කෝප් වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් ලබාගත හැකිව තිබීමත් මහජනතාවට එය ලබාගැනීමට අසීරුවීමත් මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදු වන බවත් පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.

එබැවින් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය නිවැරදිව සහ ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් විධිමත් ක්‍රමවේදය අනුව සිදු කර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබේ. 

නව අදහස දක්වන්න