මත බෙදන ෆාමසි | දිනමිණ

මත බෙදන ෆාමසි

දැන් බලාගෙන යන විට අප ජීවත්වන්නේ යක්ෂයාගේ සමාජයක ය. අසන්නට - දකින්නට ලැබෙන දේවල් ඒ තරමට ම බියකරු ය. ආණ්ඩුව යහපාලනය හා ශිෂ්ටාචාරය ගොඩනඟන්නට වෑයම් කරන අතර ජාවාරම්කාරයන් යක්ෂයාගේ වෙළෙඳාම් පටන්ගෙන තිබේ. මේ අනුව මානසික රෝගවලට දෙන බෙහෙත් පෙති මත්වීම සඳහා දරුවන් වෙත විකුණනු ලැබේ. ඒවා ‍ මතෙන් නැ‍ඟෙන වේදනාව සමහන් කිරීම සඳහා ද අලෙවි කරනු ලැබේ. මෙබඳු ෆාමසියක් මීට සතියකට පමණ පෙර වටලනු ලැබූ අතර අයිතිකරුවා අත්අඩංගුවට ගෙන තිබේ.

සෙම නිවාරණය සඳහා ගනු ලබන පැණියක් පාසල් දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි. ඒ මීට ටික කාලයකට පෙර ය. එය ද මත්වීම සඳහා භාවිත කර තිබිණි. වෛද්‍ය උපදේශනයකින් තොරව ගනු ලබන මේ ඖෂධ නිසා ඇතිවන හානිය ගැන තව ම සොයා බලා නැත. විශේෂයෙන් වේදනා නාශක ලෙස පාවිච්චි කරන ඖෂධ ගණනාවක් මත්වීම සඳහා යොදාගන්නා බව සෝදිසි මෙහෙයුම්වලින් පෙනී ගොස් තිබේ. ඒ පමණක් නොව; සතුන් ගේ කිනිතුල්ලන් හැලීම සඳහා භාවිත කරනු ලබන රසායනිකයක් ඉස්සන් ඇල්ලීම සඳහා යොදාගන්නා බව මෑතක දී හෙළිවිය.

බල්ලන් මරා හෝ සල්ලි හොයන ක්‍රමයකට සමාජය අනුගත වී සිටිති. එළවළුවල වස විෂ තිබේ. පලතුරුවල වස විෂ තිබේ. ප්‍රමිතිගත අරක්කු වෙනුවට හොර අරක්කු විකුණනු ලැබේ. මෙසේ නිෂ්පාදනය කරනු ලබන එක්තරා හොර අරක්කු විශේෂයක වර්ණය ලබා ගැනීම සඳහා දැව ආරක්ෂණ ද්‍රාවණයක් යොදාගෙන තිබිණි. මේවා පානය කරන අයට සිදුවන විනාශය හිතාගැනීමට බැරි තරම් ය. අරක්කු මිල වැඩිවත් ම හොර අරක්කුවලට ඇති ඉල්ලුම ඉහළයයි. විශේෂයෙන් කසිප්පුවල ඇති විෂ රසායනික ගැන කිසිවකුගේ අවධානය යොමුවන්නේ නැත.

මේ සියල්ලටම වඩා භයානක සිද්ධිය වන්නේ පාසල් දරුවන් ඉතා ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම ය. එහි දෙවන පියවර ලෙස ඉහත කී ඖෂධ ලබාගැනීමටත් ඔව්හු පෙලැඹී සිටිති. දරුවන් මේ සඳහා යොමුකර වන්නේ සංවිධානාත්මක කල්ලි විසින් බව පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ. එම කල්ලි පුළුල් ව්‍යාප්තියකින් යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක් නොව ඇතැම් ෆාමසිකරුවන් ද ඊට හවුල් බව දැනගන්නට ලැබී ඇත. මානසික රෝගීන් සඳහා වූ පෙති දරුවන් උදෙසා අලෙවි කළ ෆාමසිකරුවා එම පෙත්තක් අලෙවි කර ඇත්තේ සාමාන්‍ය මිල මෙන් තුන් ගුණයකට ය. මෙය පාපකාරී වුව අතිශය වාසිදායක වෙළෙඳාමක් බව පෙනී යයි.

ස්නායු රෝග සඳහා භාවිත කරනු ලබන සැර ඖෂධයක් ද මෑතක සිට පාසල් දරුවන්ගේ මත්වීම සඳහා අලෙවි කරන බව වාර්තා වී ඇත. මේ ඖෂධ ලබාගැනීම නිසා නිරෝගී පුද්ගලයකුගේ මොළය විකෘති විය හැකි බව ද, ඇතැම් විට මරණය පවා සිදුවිය හැකි බව ද වෛද්‍ය උපදේශනයක් ලෙස ප්‍රකාශ වී ඇත. ස්නායු රෝගීන් සඳහා ලබාදෙන ඖෂධය ළමයින්ට අලෙවි කළ ෆාමසියක් වටලා අයිතිකරුවා අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් මේ පුද්ගලයන් වැඩිකල් නොයාම ඇප ලබා ගෙදර එනු ඇත. එසේ පැමිණි පසු නැවත ජාවාරම පටන්ගන්නටත් පුළුවන. මත්ද්‍රව්‍ය ජාවාරමෙහි යෙදෙන පුද්ගලයන් සඳහා දැඩි දඬුවම් ලබාදෙන ක්‍රමයක් අපට තිබිය යුතුය. පිලිපීනය එය අනුගමනය කරයි.

ලෝකයේ බලවත් ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇත්තේ කොලොම්බියාවේ ය. කොලොම්බියාවේ කුඩු කල්ලි රජයේ හමුදාවෝ සමඟ මුහුණට මුහුණ සටන් වදිති. කලකට පෙර ඔවුන් ආණ්ඩුවට වඩා බලවත් තැනක සිටි අතර අද තත්ත්වය වෙනස් වී ඇත. එරට ආණ්ඩුව මත්ද්‍රව්‍ය උවදුර මැඬීම සඳහා නීතිමය උපාය මාර්ග මෙන්ම ප්‍රහාරාත්මක උපාය මාර්ග ද භාවිත කළේය. මේ අනුව කොලොම්බියාවේ දරුණුම කුඩු කල්ලිය වන “උසුගා ක්ලෑන්” සංවිධානය මට්ටු කිරීමට එරට රජය සමත් විය. අද එහි නායකයා සිටින්නේ අත්අඩංගුවේ ය. මේ කල්ලිය ආණ්ඩුවට යටත්වීමට තීරණය කර තිබේ. දැඩි නීති - රීති හා තවත් උපාය මාර්ග මඟින් මත් උවදුර වැළැක්විය හැකි බව අපගේ අදහස ය.

වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම, භාවිතය මෙන් ම හුවමාරුව ද වර්ධනය වී ඇතැ’යි සිතන්නට පුළුවන. ශ්‍රී ලංකාව ආසියාවේ මත්කුඩු හුවමාරු කේන්ද්‍රයක් වී ඇතැ’යි කියති. පිටරටවලින් ශ්‍රී ලංකාවට එන මත්ද්‍රව්‍ය තොගවලින් ද මේ බව සනාථ වෙයි. විශාල මත්ද්‍රව්‍ය තොග අපේ ආරක්ෂක අංශ හා රේගුව මඟින් සොයාගෙන තිබේ. මත්ද්‍රව්‍ය වැටලීම්වලට එරෙහිව පාතාලය නැඟී සිටින අයුරු ද මේ අතර දැකගත හැකි ය. ගිය ආණ්ඩුව සමයේ පාතාලය, කුඩු ජාවාරම හා දේශපාලකයන් අතර සම්බන්ධයක් පැවැතිණි. මේ අනුව කුඩු ජාවාරම ශක්තිමත් විය. එහි ප්‍රතිඵළ අදත් පවතින්නේ යැයි කීම නිවැරැදි ය. එදා බලවත් වූ ජාවාරම්කරුවන් අද පහසුවෙන් මෙල්ලවන්නේ නැත. විවිධ ඖෂධ වර්ග කුඩු ලෝලීන් අතර ප්‍රචලිත කිරීම මත්කුඩු ජාවාර‍ෙම් අලුත් ප්‍රවණතාවක් ලෙස සැලැකිය හැකිය.

කුමන තත්ත්වයක් යටතේ වුව අපේ දරුවන් මේ විනාශයෙන් මුදාගත යුතු ය. මුල් කාලය තුළ උවදුර පැතිර ගියේ ප්‍රසිද්ධ නගරවල ප්‍රසිද්ධ පාසල් අතරේ ය. එහෙත් දැන් එය ග්‍රාමීය අංශය වෙත පැතිර ගොස් තිබේ. පිටිසරබද ගම්වලදී මේ ජාවාරම ඉතා හොඳින් කරගෙන යා හැකි ය. ෆාමසි නැති තැන්වලදී ඒ සඳහා සිල්ලර කඩ හා හෝටල් පාවිච්චි වෙන බව වාර්තා වී ඇත. පොලීසියට අමතරව විශේෂ කාර්ය බළකායත් පාසල් අසල රඳවා මේ උවදුර පිටුදකින්නට රජය තීන්දුවක් ගෙන තිබේ. එය බුද්ධිමත් පියවරක් සේ සැලැකිය හැකි ය. මේ උවදුරෙන් දරුවන් බේරාගැනීම සඳහා ගුරුවරුන් හා මාපියන්ද යම් වැඩ කොටසක් ඉටු කළ යුතු බව අපට පෙනෙයි.

නව අදහස දක්වන්න