මහවැලි ක්‍රීඩා ශූරතාව ‘බී’ කලාපයට | දිනමිණ

මහවැලි ක්‍රීඩා ශූරතාව ‘බී’ කලාපයට

රක්ෂණ ශ්‍රියන්ත

* දක්ෂතම ක්‍රීඩකයා රාජපක්ෂ 
* දක්ෂතම ක්‍රීඩිකාව නදීශා

මහවැලි කළාප 10ක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින් 29වැනි වරටත් සංවිධාන කළ මහවැලි ක්‍රීඩා උළෙලේ ජනාධිපති ශූරතාව දිනා ගැනීමට ‘බී’ කලාපය සමත් විය.

පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ පැවැති මෙවර තරගාවලියේදී ඔවුන් රන් පදක්කම් 13ක්, රිදී 9ක් හා ලෝකඩ පදක්කම් 7ක් මගින් ලකුණු 82ක් රැස්කර ගත්තේය. රන් 7ක්, රිදී 9ක් හා ලෝකඩ පදක්කම් 6ක් සමගින් ලකුණු 63ක් ලබාගත් එච් කලාපයට දෙවැනි ස්ථානයද, වික්ටෝරියා කලාපයට (53) තෙවැනි ස්ථානයද හිමිවිය.

මෙවර තරගාවලියේ නව තරග වාර්තා 5ක් බිහිකිරීමට ක්‍රීඩක ක්‍රීඩිකවෝ සමත් වූහ.

දුර පැනීමේ ඉසව්වෙන් මී.7.40ක දක්ෂතාවක් සමගින් නව තරග වාර්තාවක් පිහිටවූ හුරුළු වැව කලාපයේ යූ.ආර්.ආර්.බී.රාජපක්ෂ ජවන හා පිටිය දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර වලව කලාපයේ නදීශා රාමනායක දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය. ඇය මීටර් 400 ඉසව්ව තත්පර 56 කින් නිමකර නව තරග වාර්තාවක් බිහි කළාය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර, උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහත්වරුන් සමගින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අනුර ලේකම්ගේ යන මහත්වරුන් ද එක්වූහ.

 


නව අදහස දක්වන්න

Or log in with...