සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලිය | දිනමිණ

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලිය

වර්නන් ගුණසේකර

වලල ඒ.රත්නායක ම.ම.විදුහලට සමස්ත බාලිකා හා මිශ්‍ර පාසල් ශූරතා

*බාලක ශූරතාව කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහලට

2017 සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලියේ සමස්ත බාලිකා හා මිශ්‍ර පාසල් ශූරතා ද්විත්වය දිනා ගැනීමට වලල ඒ.රත්නායක මධ්‍ය මහ විදුහල සමත් විය. සමස්ත බාලක ශූරතාව හිමි කර ගත්තේ කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහලයි.

මීට අමතරව අවුරුදු 18න් පහළ හා 20න් පහළ බාලිකා ශූරතා දිනා ගැනීමටද වලල ඒ.රත්නායක විදුහල සමත් විය.

නෙස්ලේ ලංකා ආයතනයේ ‘මයිලෝ’ අනුග්‍රහයෙන් හා අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී තෙදිනක් තිස්සේ පැවැති මේ ශූරතාවලියේ සමස්ත බාලක ශූරතාව සාන්ත බෙනඩික්ට් විදුහල දිනා ගත්තේ ලකුණු 83ක් ලබා ගනිමිනි. වලල ඒ.රත්නායක මධ්‍ය මහ විදුහල ලකුණු 112ක් ලබා ගනිමින් සමස්ත බාලිකා ශූරතාවත්, ලකුණු 172ක් රැස් කරමින් සමස්ත මිශ්‍ර පාසල් ශූරතාවත් හිමි කර ගත්තේය.

මීගමුව මාරිස්ටෙලා විදුහල ලකුණු 71ක් ලබා ගනිමින් සමස්ත බාලක අනුශූරයන් බවට පත්වූ අතර කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහ විදුහල සමස්ත බාලිකා හා සමස්ත මිශ්‍ර පාසල් අනුශූරතා හිමිකර ගත්තේ පිළිවෙලින් ලකුණු 66ක් හා 79ක් රැස් කර ගනිමිනි.

පන්නිපිටිය ධර්මපාල, කුරුණෑගල සර්.ජෝන් හ නාවල ජනාධිපති විදුහල්වලින් කැපී පෙනෙන දස්කම් ඉස්මතු වීම මේ තරගාවලියේ විශේෂ සිදුවීමක් විය.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ‘චියර්’ කිරීම සඳහා එම විදුහලේ ආදි ශිෂ්‍යයන් එකම පෙනුමැති ටී-ෂර්ට් පැළඳ වෙනම බස් රථයකින් යාපනයට පැමිණ සිටියහ. එම විද්‍යාලය වයස අවුරුදු 16න් පහල බාලක ශූරතාව දිනා ගත්තේය.

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියක ඉසව් දෙකක් ප්‍රථම වතාවට ජයග්‍රහණය කිරීමට මෙහිදී සමත් විය. එම විදුහලේ වයස අවුරුදු 14න් පහළ කණ්ඩායම් මීටර 100x4 හා මීටර 200x4 ඉසව් ජය ගත්හ. එම වයස් ඛාණ්ඩයේ බාලිකා ශූරතාව හිමි කර ගත්තේද එම විද්‍යාලයයි.

කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහ විදුහලද පළමු වතාවට ඉසව් තුනක් ජය ගැනීමද කැපී පෙනිණි. තරගාවලියේ සමස්ත අනුශූරතා ද්විත්වයට අමතරව වයස අවුරුදු 16න් පහළ බාලිකා ශූරතාව දිනා ගත්තේද එම විදුහලය.

යාපනයෙන් පාසල් 25ක් මේ තරගාවලියට සහභාගි වූහ. සමස්ත ලංකා මට්ටමේ සහාය දිවීමේ සැණකෙළියක් යාපනයේ පැවතියේ ප්‍රථම වතාවටය. අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් දකුණේ පාසල්වල සහභාගිත්වය අඩු වී තිබිණි. තරගාවලියේ පළමු දින සවස් වරුවේ හා දෙවැනි දිනයේ මහ වැසි පතිත වීම හේතුවෙන් ධාවන පථය මඩ වගුරක් බවට පත්ව තිබෙනු දක්නට ලැබිනි. මේ නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උපරිමයෙන් ප්‍රදර්ශනය නොවිණි.

වයස අවුරුදු 16න් පහළ බාලක බාලිකා මීටර 800 x 4 සහ අවුරුදු 18න් හා අවුරුදු 20න් පහළ මීටර 1500x4 ඉසව් මෙවර තරගාවලියට ඇතුළත් කර නොතිබීම වලල ඒ.රත්නායක මධ්‍ය මහ විදුහලට ලොකු පාඩුවක් විය. ඒ, එම විදුහල අතීතයේ සිටම මේ ඉසව් ජය ගෙන තිබීමය. මේ ඉසව් හය ඉවත් කිරීම නිසා එම විදුහලට ලකුණු 30ක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.

මේ තරගාවලියේ වැදගත් කාරණය වූයේ එළැඹෙන ඔක්තෝබර් 12 සිට 16 දක්වා දියගමදී පැවැත්වීමට නියමිත සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ දක්ෂතා හඳුනා ගැනීමය.

තම පාසලේ දුවා දරුවන්ගේ දක්ෂතා සියැසින් දැක ගැනීම පිණිස විදුහල්පතිවරු බොහෝ දෙනෙකු දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයට පැමිණ සිටීමද විශේෂත්වයක් විය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංකේත ප්‍රදානයට අධ්‍යාපන ඇමතිවරයාගේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර හා නෙස්ලේ ලංකා ආයතනයේ උපසභාපති බන්දුල එගොඩගේ යන මහත්වරු ඇතුළු තවත් කිහිප දෙනෙකු විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

ශූරතා දිනා ගත් පාසල් මෙසේය.

අවුරුදු 20න් පහළ බාලක - මීගමුව මාරිස්ටෙලා විදුහල

අවුරුදු 20න් පහළ බාලිකා - වලල ඒ.රත්නායක ම.ම.විදුහල

අවුරුදු 18න් පහළ බාලක - කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහල

අවුරුදු 18න් පහළ බාලිකා - වලල ඒ.රත්නායක ම.ම.විදුහල

අවුරුදු 16න් පහළ බාලක - පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

අවුරුදු 16න් පහළ බාලිකා - කුරුණෑගල සර් ජෝන් කොතලාවල ම.විදුහල

අවුරුදු 14න් පහළ බාලක - කොළඹ සාන්ත පීතර විදුහල

අවුරුදු 14න් පහළ බාලිකා - නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය

අවුරුදු 12න් පහළ බාලක - මහනුවර ත්‍රිත්ව විදුහල

අවුරුදු 12න් පහළ බාලිකා - මීගමුව ආවෙ මරියා කන්‍යාරාමය

ඡායාරූප-තිලක් පෙරේරා

නව අදහස දක්වන්න