එංගලන්තය ටෙස්ට් තරගාව ලිය දිනයි | දිනමිණ

එංගලන්තය ටෙස්ට් තරගාව ලිය දිනයි

ඇන්ඩර්සන් කඩුලු 500 සමාජයට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල සමග ලෝඩ්ස් හිදී පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 9ක ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්ත පිල සමත් විය. මේ සමග තරග 3කින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට එංගලන්තයට හැකි විය.

තරගයේ තෙවැනි දිනයේ දිවා විවේකයෙන් ටික වේලාවකට පසු දෙවැනි ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිල ලකුණු 177කට දැවී ගියේ එංගලන්තයට ලකුණු 107ක ඉලක්කයක් ලබාදෙමිනි. එම ඉලක්කය එක් කඩුල්ලක් දැවී තිබියදී සපුරා ගැනීමට එංගලන්තයට හැකි විය. ටොම් වෙස්ට්ලි නොදැවී ලකුණු 44ක් හා මාර්ස් ස්ටෝන්මෑන් නොදැවී ලකුණු 40ක් රැස්කරමින් එංගලන්තය ජයග්‍රහණය කරා ගෙන ගියහ‍.ලකුණු 93කට කඩුලු 3ක් දැවී තිබියදී තෙවැනි දිනය ඇරැඹු කොදෙව්වන් දෙවැනි ඉනිම සඳහා තවත් එක්කරගත හැකිවූයේ ලකුණු 84ක් පමණි. සිය 129 වැනි ටෙස්ට් තරගයට එක්වෙමින් හොඳම පන්දු යැවීම සටහන් කරගත් 35 හැවිරිදි ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 42කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

ඔහු කොදෙව් දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ක්‍රේග් බ්‍රැත්වේයිට් දවා ගැනීමත් සමග ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 500 සටහන් කිරීමට සමත් විය.

ඒ සමග ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 500ක් දවාගත් ලොව 6වැනි සහ තෙවැනි වේග පන්දු යවන්නා ලෙස වාර්තා පොතට එක්වූ අතර එලෙස දස්කම් පෑ පළමු එංගලන්ත ජාතිකයා ලෙසද වාර්තා අතරට එක්විය. ඔහුට පසුපසින් සිටින ස්ටුවර්ට් බ්‍රෝඩ් තරග 109කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 388කි.

ඇන්ඩර්සන්ට ඉදිරියෙන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටින ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් (800), ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් (708), ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ (619), සමග වේග පන්දු යවන්නන් වන ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැග්‍රාත් (563), කොදෙව්හී කර්ට්නි වෝල්ස් (519) සිටිති. 

 

නව අදහස දක්වන්න