කැරිබියන් ප්‍රිමියර් ලීග් කිරුළ ට්‍රිනිබැගෝ දිනා ගනී | දිනමිණ

කැරිබියන් ප්‍රිමියර් ලීග් කිරුළ ට්‍රිනිබැගෝ දිනා ගනී

බටහිර ඉන්දීය කොදෙව් දුපත්හිදී පැවැති කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඩ්වේන් බ්‍රාවෝගේ නායකත්වයෙන් යුත් ට්‍රිනිබැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වෙයි.

ඔවුන් හමුවේ අවසන් තරගයේදී ක්‍රිස් ගේල් මෙහෙයවූ සාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් විය.

කාසියේ වාසිය දිනු ට්‍රිනිබැගෝ පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සාන්ත කිට්ස් පිල කඩුලු 6ක් දැවී ලකුණු 135ක් රැස් කළේය. එම ඉලක්කය හඹාගිය ට්‍රිනිබැගෝ ක්‍රීඩකයෝ පන්දු 6ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 7ක් පමණක් අහිමිකර ගනිමිනි.

ට්‍රිනිබැගෝ පිල වෙනුවෙන් කෙවොන් කූපර් පන්දු 14කදී හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 29ක් හා කොලින් මුන්රෝ පන්දු 23කින් ලකුණු 29ක්ද, ඩිනේෂ් රාම්ඩින් ලකුණු 26ක් රැස් කළහ.

කාලෝස් බ්‍රැත්වේට් පන්දු 25කින් නොදැවී ලකුණු 30ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් සාන්ත කිට්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

නව අදහස දක්වන්න