යළි පිබිදෙන පොළොන්නරුවට පෑයු සඳ “සඳරැස්ගම” | දිනමිණ

යළි පිබිදෙන පොළොන්නරුවට පෑයු සඳ “සඳරැස්ගම”

කාලයකට වදදෙන අව් රශ්මිය වගේම තවත් කාලයක වැව් පිටාර ගලන්න වහින වැස්සත් පොළොන්නරු වැසියන් පිළිගන්නේ තම ජීවිතය ඉදිරියට ගෙන යන්නට කාලගුණය බාධාවක් කර නොගනිමිනි. කාලගුණයේ දුක් ගැහැට මැද ඒ සවිමත් මිනිස්සු ජීවිතය ජයගන්න අපමණ වෙහෙසක් දරති. ඔවුන්ගේ සිය අභීත ශ්‍රී විභූතිය ඊට මහත් උපකාරවන්නේය.

කලෙක රුදුරු ත්‍රස්තවාදය පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඇතැම් ගම්මාන ගිලගත්තේය. ඉන් දිරියෙන් ඉදිරියට ආ අහිංසක ගම්මුන්ට සේසතම නැතිකර කඳවුරු ජීවිතය උරුම කර දුන්නේය. කඳවුරෙන් ඔබ්බට විත් කොහේ හෝ ඉඩමක ගෙපැලක් තනාගෙන ඔවුන් දැන් ආයෙත් ජීවිතයේ සිහින දකින්නේය.

එවන් මිනිසුන්ගේ එදා වනයට යටවු ජීවිත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හඳුන්වා දුන් මහවැලි මහා ව්‍යාපාරයෙන් කලඑළිවු අයුරින්ම අද එක්සත් ජාතික පක්ෂයේ නායක දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ගේ උදාගම් සංකල්පයෙන් කලඑළි වන්නේ මහවැලි ව්‍යාපාරය හා අත්වැල් බැඳ ගනිමින්ය.

1977 බිහිවු කඩිනම් මහවැලි ව්‍යාපාරය විසින් සිය හතළිස් වැනි දශකය පසු කරන මෙහොතක, දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ගේ සංකල්පය ඉදිරියට ගෙන යන සුජාත පුත් සජිත් ප්‍රේමදාස මැතිඳුන්ගේ යළි උදාවුණ ගම්උදා සංකල්පයේ 40 වැනි ආදර්ශ ගම්මානය පොළොන්නරුව දිඹුලාගල මීවත්පුර “සඳරැස්ගම” නමින් ජනතා අයිතියට පත්වීම අපූරු අවස්ථාවකි.

එහි වටිනාකම තවත් තීව්‍ර වන්නේ එක්සත් ජාතික පක්ෂයේ “77” ජයග්‍රහණය මෙන්ම වත්මන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ දේශපාලන දිවියේ 40 වසර සැපිරීමද 2017 වර්ෂය තුළ සිදුවීම නිසාය.

කාලයකදී රටේ රාජධානිය වුද, තවත් කලෙක වනයට නතුවුද, තවත් කලෙක රුදුරු ත්‍රස්තවාදයට යටවුද, පොළොන්නරුව අද යළි පිබිදෙමින් සිටී. ඒ, හෙළයේ වාසනාවට බිහි වු ජනපති ගොවිපුත් මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ අභිමානය තුළිනි. මහවැලි ව්‍යාපාරය තම දෑතින් හසුරුවමින් ජනපතිවරයා උත්සාහ කරනුයේ තම උපන් බිම සැපවත් කිරීමටය. මෙලොව සෑම සුජාත පුත්‍රයකුසේම එතුමාද උත්සුක වනුයේ තම ප්‍රජාව නැගී සිටුවීමටමය.

එවන් උදාර උත්සාහයක නියුතු ජනාපතිවරයාට සහය වෙමින් යහපාලන රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස සජීත් ප්‍රේමදාස මැතිඳුන්, අගමැති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත ගම්උදා ව්‍යාපාරය පොළොන්නරුව වෙතද ව්‍යාප්ත කර ඇත. ඊට කදිම නිදසුන වන්නේ යහපාලනයේ ගෙවුණු වසර දෙකහමාර තුළ පොළොන්නරු දිස්ත්‍රික්කය තුළ ආදර්ශ ගම්මාන 25 කට මුල්ගල තැබීමය. මින් සිරිසීලාලංකාරගම, සුගලාදේවීගම, සුන්දරමහාදේවීගම ලෙස නම් වු ගම්මාන 3ක් මේ වන විට ජනතා අයිතිය පත් කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා කටයුතු කර තිබීමය.

සැප්තැම්බර් 9 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් අතින් ජනතා අයිතියට පත්වුන “සඳරැස්ගම” පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත් වු 4 වන ගම්මානයයි.

නව නිවාස 33 ක් උදා කළ නිවසක් සමඟින් නිවාස 34 ක් “සඳරැස්ගම” නිමවා ඇත. බිම්කඩක් අහිමි, නිවස සිහිනයක් කරගත් අහිංසක එහෙත් දිළිඳු පවුල් 34ක් “සඳරැස්ගම” ගම්මානයේ නිවාස හිමිකම ලබා ගත්තේ පර්චස් 20 ක ඉඩමක්ද සමගිනි.

තමන්ගේ බිම්කඩක, තම දෑතින් සිටවු බවභෝග භුක්ති විඳිමන්, මතින් තොර වෙමින් යහපත් සමාජයක් ගොඩනැඟිමට මිනිසුන් පෙළගස්වන ආකාරය ආදර්ශ ගම්මාන තුළින් අපට අත්විදිය හැකිය. ජනාධිපති කාර්ය සාධන බලකායන් 4 ම ආදර්ශ ගම්මාන තුළ ක්‍රියාත්මකය. ස්වභාවධර්මය අවබෝධ කරගනිමින්, ඒ හා සංකලනය වෙමින් මිනිස් ජීවිත සුඛිත මුදිත කරන අයුරු ආදර්ශ ගම්මාන තුළ සුලබ ලක්ෂණයකි. එය අදට වඩා හෙට වටිනා බව කිව යුතුමය.

පොළොන්නරුව, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ “සඳරැස්ගම” ආදර්ශ ගම්මානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් අතින් ජනතා අයිතියට පත්වීමට සමගාමීව, ඉදි කළ නිවාස සම්පුර්ණ කරගන්නට වෙර දරන තවත් 684 දෙනෙකුට රුපියල් ලක්ෂ 689ක් වටිනා විසිරි ණය ප්‍රදානය, 435 දෙනෙකුට ඇස් කන්නාඩි ලබා දීම,ගම්මානයේ සමිතියකට පුටු ලබා දීම, කජු වැනි ආර්ථික ශාක පැල ලබා දීම සිදු විය. ඒ සමගම ශිල්ප සවිය වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් 141 දෙනෙකුට ලක්ෂ 54 කට වැඩි ප්‍රතිලාභ ලබා දීමත් ඉතා වටින්නේය.

මෙහි වැදගත්කම වනුයේ ශිල්ප සවිය වැඩසටහන යටතේ පෙදරේරු පුහුණුව ලද කිහිපදෙනෙකු “සඳරැස්ගම” හිමිකරුවන් වීමත්, “ශිල්ප සවිය” නිසා ඔවුන් අද පෙදරේරු වෘත්තියෙන් සිය ජීවිකාව සරු කර ගැනීමත්ය. මෙයින් පසක් වනුයේ මිනිසෙකුට අත දිය යුත්තේ ඔසවා තැබීමට නොව, නැඟිසිටින්නට වාරුවක් වීමට පමණක්ය යන අදහසය.

ජනපතිඳුන්ගේ ආශිර්වාදයෙන්, මැදිහත්වීමෙන් යළි පිබිදෙන පුලතිසි පුරවරය ආලෝකවත් කිරීමට ගම්උදාව නම් වු උදාරතර සංකල්පයට හැකිවේවා, ගම්උදාවෙන් දැයේ නිවාස සිහිනය පිබිදේවා.

 

නදීරා මඩුගල්ල
සහකාර සාමාන්‍යාධිකාරි
නිවාස සංවර්ධන අධිකාරි 

නව අදහස දක්වන්න