උතුරෙන් හමුදාව ඉවත් කිරීම එකවරම සිදු කළ යුතු යන යෝජනා පිළිගත නොහැකියි | දිනමිණ

උතුරෙන් හමුදාව ඉවත් කිරීම එකවරම සිදු කළ යුතු යන යෝජනා පිළිගත නොහැකියි

මල්වතු මහා නාහිමියෝ

උතුරේ යුද හමුදාව ඉවත් කිරීම එක් වරම සිදු කළ යුතු බවට කරන යෝජනා පිළිගත නොහැකි බවත් එය කළ යුතු වන්නේ ක්‍රම ක්‍රමයෙන් බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතාට පැවසූහ.

ගැටලු ඇත්නම් ඒ සම්බන්ධව රජය සමඟ සාක්ච්ඡා කර විසඳුම් සෙවීම වඩා යෝග්‍යය බවද උන්වහන්සේ කීහ.

උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතා පෙරේදා (09) මල්වතු මහ විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළහ.

යුද හමුදාව අත්පත් කරගෙන සිටින ඉඩම් දැන් උතුරේ ජනතාවට ලබා දෙමින් තිබෙන බවත් ඇතැම් දේශපාලනඥයන් කටයුතු කරන්නේ ජනතා අවශ්‍යතාවට වඩා පක්ෂ ප්‍රවර්ධනයට හා පෞද්ගලික දේශපාලන වාසියට බවත් මහනාහිමියෝ පැවසූහ.

මහමාර්ග හදනවාට වඩා ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබාදීම වැදගත් බවද මහනාහිමියෝ මෙහිදී අවධාරණය කළහ.

අස්ගිරි මහනාහිමියන් මෙන් උතුරට වැඩම කර එම ජන ජීවිතය දැක බලා ගන්නා ලෙස විග්නේෂ්වරන් මහතා මෙහිදී මල්වතු මහනාහිමියන් ගෙන් ඉල්ලීමක් කළේය.

උතුරේ වැන්දඹු කාන්තාවන් 89000 ක් සිටින බවත් ඔවුන්ට ස්ථාවර ජීවිතයක් ලබා දීමට කිසියම් වැඩපිළිවෙළක් දියත් විය යුතු බවත් ඒ මහතා කීය.

යුද්ධය නිසා අනාථවූ ළමයින් මෙන්ම පුනරුත්ථාපනය වූ තරුණයන්ද විශාල පිරිසක් උතුරේ සිටින බවත් ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීම සඳහා කිසිවකුත් ඉදිරිපත් නොවන බවත් කී ඒ මහතා දකුණේ ධීවරයන් හමුදාවේ උපකාර ලබා ගනිමින් උතුරේ ධීවර කටයුතු වල නිරත වන බවද අවධාරණය කළේය. මෙය උතුරේ ධීවරයින්ට විශාල ප්‍රශ්නයක් වී තිබෙන බවද මහඇමැතිවරයා කීවේය.

තමන් ඇතුළු පිරිස සම්බන්ධයෛන් දකුණේ ජනතාව තුළ වැරදි මත තිබෙන බවත් රට දෙකඩ කිරීම සඳහා තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඒ මහතා කීය.

උතුරේ බ්‍රිගේඩ් 18 ක් යටතේ හමුදා නිලධාරීන් 150000 ක් පමණ සිටින බවත් ඔවුන් උතුරට පමණක් සීමා නොකර සෙසු පළාත් අතරද බෙදා හරින ලෙස තමන් ජනපතිවරයා ගෙන් ඉල්ලීමක් කළ බවත් විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය. උතුරේ ඉඩම් අක්කර 85000 ක් පමණ හමුදාව භාරයේ පවතින බවත් මාධ්‍යය මගින් මොන දේ කිව්වත් මේ වන විට යළි ජනතාවට ලැබී ඇත්තේ අක්කර පන්දහසක පමණ ප්‍රමාණයක් පමණක් බවත් ඒ මහතා කීවේය.

උතුරේ පවතින සාරවත් ඉඩම් හමුදාව අත් නොහරින බවත් ඩෙල්ෆ් දූපතේ ඇති ජල ළිං ද මෙයට අයත් බවත් හෙතෙම පැවසුවේය.

ෆෙඩරල් ක්‍රමය යටතේ රට බෙදීමක් සිදු නොවන බව සුප්‍රීම් උසාවියේ විනිසුරුවරුන් තිදෙනකු තීන්දුවක් මගින් ප්‍රකාශ කර තිබෙන බවත් මේ නිසා ෆෙඩරල් මගින් රට දෙකඩ වේ යැයි සිතා තමන් ඇතුළු පිරිසට ‍එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත් හෙතෙම කීය.

රජයට ඉදිරිපත් කිරීම සඳහා උතුරේ දෙමළ ජනතා කවුන්සිලය මගින් මහනාහිමියන් වෙත සංදේශයක්ද මෙහිදී බාර දුන් අතර මෙම අවස්ථාවට උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති කන්දයියා ශිවනේෂන්,වනිතා කටයුතු ඇමැතිනී ආනන්දි ශෂිධරන් යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ. 

අසේල කුරුළුවංශ හා තිලක් පුෂ්පකුමාර


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...