අයවැයට යෝජනා ගන්න ඇමැතිවරුන් හා සාකච්ඡා | දිනමිණ

අයවැයට යෝජනා ගන්න ඇමැතිවරුන් හා සාකච්ඡා

ලබන වසර සඳහා (2018) අයවැය යෝජනා සකස් කිරීමට ප්‍රථම සෑම අමාත්‍යාංශයකම ඇමැතිවරුන් සමඟ තනි තනිව සාකච්ඡා වට පැවැත්වීමට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා තීරණය කොට තිබේ.

වසර 2018 අයවැයෙන් රජය බලාපොරොත්තු වන සමාජ, ආර්ථික සංවර්ධන හා සුබසාධන වැඩපිළිවෙළ ජයගන්නට අමාත්‍යාංශ මට්ටමින් වන යෝජනා ගොනු කිරීමට මේ හමු ඉතා වැදගත් වේ.

ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය මෙන්ම සෑම අමාත්‍යාංශයකම ජනතාවාදී යෝජනා මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමඟ ඇමැතිවරුන් පවත්වන සාකච්ඡාවලදී ගැඹුරින් සලකා බැලෙන බවත්, ඊට ප්‍රථම මහා භාණ්ඩාගාරයේ හා අමාත්‍යාංශ මට්ටමේ ඉහළ පෙළේ නිලධාරි හමු දැනටමත් පැවැත්වෙමින් තිබෙන බවත් අයවැය අධ්‍යක්ෂ ජනරාල් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා “දිනමිණ”ට ප්‍රකාශ කළේය.

වසර 2025 පොහොසත් රටක් බිහි කිරීමේ රජයේ ආර්ථික දැක්ම ඉකුත්දා ජනාධිපති - අගමැති නායක සුසංයෝගයෙන් කොළඹදී එළිදැක්විණි. එහි සඳහන් ආර්ථික ඉලක්ක ජයගන්නා වැඩපිළිවෙළ අරමුණු කොටගෙනත්, වසර 2018 – 2020 මැදි කාලීන ආර්ථික දැක්මත් සිත්හි තබා 2018 අයවැය රටට ඉදිරිපත් කරන බවත් අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

අයවැය සැකසීමට පෙර මහා භාණ්ඩාගාරයේ නිලධාරිහු සියලු වෙළෙඳ හා වාණිජ මණ්ඩල, අමාත්‍යාංශ ඉහළ නිලධාරිහු, ආයෝජන නියෝජිත පිරිස් ඇතුළු ආර්ථික දියුණුවට දායක වන කණ්ඩායම් සමඟ ඵලදායි සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇතැයිද රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

ජයසිරි මුණසිංහ 

නව අදහස දක්වන්න