වගා කරන සැමට ඉඩම් | දිනමිණ

වගා කරන සැමට ඉඩම්

නීති රීති ගැසට් නිවේදනයකින්

ජනපති දිඹුලාගලදී කියයි

දැනට වගා නොකරන පෞද්ගලික අංශයේ සියලු ඉඩම් වගා කළ යුතු බවට නීති රීති සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව වගා නොකරන සියලුම පෞද්ගලික ඉඩම් වගාකරන පිරිස් සඳහා ලබාදීමට පවතින නීති රීති යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියි.

නියඟයෙන් විනාශ වූ ගොවිබිමි නැවත යථා තත්ත්වයට පත් කරමින් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත වගා සංග්‍රාමය යටතේ එම තීරණයට එළැඹෙන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කළේ දිඹුලාගල නව ප්‍රදේශීය සභා ගොඩනැගිල්ල පෙරේදා (09) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි. මෙම වගා වැඩසටහන සඳහා රජයේ සියලු ඉඩම් එක් කරගන්නා අතර වගා නොකරන සියලු පෞද්ගලික ඉඩම් අනිවාර්යෙන් වගා කළ යුතු බවට නීති රීති සම්පාදනය කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙම සියලු තීන්දු තීරණවලට එළැඹෙන්නේ රටේ ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගනිමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කර, හෙට උපදින දරු පරපුරට සෞභ්‍යමත් රටක් ගොඩනගා දීමට බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ සුබසාධන යන සියලු අංශවලට අදාළව රට තුළ ගෙන යන්නේ සමබර සංවර්ධනයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සංවර්ධනයේ සාධාරණත්වය සහ සැමට බෙදී යන සංවර්ධනයක් වත්මන් රජයේ සංවර්ධන සැලසුම් තුළ අන්තර්ගත බව ද කියා සිටියේය.

සංවර්ධන වැඩපිළිවෙළේදී මෙන්ම ජනතා අවශ්‍යතා ඉටු කිරීමේදී ප්‍රශ්නය දෙස බලමින් එම ප්‍රශ්නයට විසඳුම් ලබාදෙනු විනා පක්ෂය කුමක්ද කියා අසන ප්‍රතිපත්තියක් තමන් තුළ නොමැති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී පොළොන්නරුවේ ජනතාව තමා වෙනුවෙන් ඡන්දය භාවිතා කළේ පක්ෂ, පාට බේදයකින් තොරව බව සඳහන් කළ ජනාධිපතිතුමා පොළොන්නරුවේ පමණක් නොව රට වශයෙන්ම දේශපාලන බේදයෙන් තොරව සියලු දෙනාට සංවර්ධනයේ සාධාරණත්වය ඉටු කරන බව ද අවධාරණය කළේය.

අද වත්මන් රජයට පැවරී ඇති වගකීම වන්නේ තහවුරු කළ ප්‍රජාතන්ත්‍රවාදය තුළ දේශපාලන ප්‍රතිවාදීන් එල්ල කරන චෝදනා සහ විවේචන දෙස බලා සිටීම නොව ආණ්ඩුවක් ලෙස තමන්ට පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකිරීම බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ග්‍රාමීය පාලන කටයුතු වඩා ශක්තිමත්ව හා කාර්යක්ෂමව ඉටුකිරීමේ අරමුණ පෙරදැරිව උතුරුමැද පළාත් සභාව විසින් රුපියල් ලක්ෂ 70 ක් වැය කරමින් සියලු පහසුකම්වලින් සමන්විතව මෙම ප්‍රාදේශීය සභා කාර්යාල ගොඩනැගිල්ල ඉදි කර තිබේ.

අද පස්වරුවේ ප්‍රාදේශීය සභා පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව එහි බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරා දෙනු ලැබීය. ජනාධිපතිතුමා අතින් ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ නා පැළයක් ද රෝපණය කෙරිණි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති විල්ලානේ සිරියාලංකාර නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, රාජ්‍ය අමාත්‍ය වසන්ත අළු විහාරේ, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ ජයන්ත මාරසිංහ. පළාත් සභා මන්ත්‍රීවරුන් වන එන්.ඒ සම්පත්, එච්.එම්. අන්සාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත 

 

අදහස් 1ක් ඇත

කළ යුත්තේ වගා නොකරණ ඉඩම්, අයිතිකරුවන් ලවාම ක්‍රමවත්ව වගා කරවිමයි. පෞද්ගලික හෝ රජයේ ඉඩම් අක්‍රමවත්ව( උදාහරණයක් ලෙස; පස සෝදා යාමට ඉඩහරිමින් ) වගා කරමින් පවතින්නේ නම් එවැනි වගා වහාම නවතා ක්‍රමවත්ව වගා කිරීමට ක්ෂණික උපදෙස් ලබා දීමේ ක්‍රමයක් නීති ගත කළ යුතුව ඇ ත. මෙය තවමත් ක්‍රියාවට නැගීම අතපසු වෙමින් පවතින, රටකට අත්‍යවශ්‍ය ක්‍රියාදාමයකි . අලුත් දේ යෝජනා කිරීමට පෙර අතපසු වූ දේ ක්‍රියාවට නැංවීම කළ යුතුවම ඇත.

නව අදහස දක්වන්න