සනීපාරක්ෂාව ගැන අන්තර් කලාපීය කමිටු රැස්වීම අද සිට | දිනමිණ

සනීපාරක්ෂාව ගැන අන්තර් කලාපීය කමිටු රැස්වීම අද සිට

සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවේ (සකොසාන්) දසවැනි අන්තර් කලාපීය කමිටු රැස්වීම අද (11) සිට 13 දක්වා කොළඹ ඔසෝ හෝටලයේදී පැවැත්වේ.

මෙම සැසිවාරයේ ආරම්භක සැසිය නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් හා රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අද උදේ 9 ට ආරම්භ වේ.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මෙහිදි ප්‍රධාන දේශනය පවත්වනු ලබන අතර සනීපාරක්ෂණය පිළිබඳව 2008 වසරේ ඉන්දියාවේදී පැවති සමුළුවේදී නිකුත් වු දිල්ලි ප්‍රකාශය ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරේ.

සනීපාරක්ෂාව සම්බන්ධයෙන් කලාපීය රාමු බෙදා හදා ගැනීම, කලාපයේ සනීපාරක්ෂක න්‍යාය පත්‍ර යේ ව්‍යාප්තිය ඉහළ නැංවීම ආදිය ගැන ද මෙහිදී සාකච්ඡා කෙරෙන බව ඇමැති රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය. සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු කලාපීය මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට යෝජනාවක් ඉදිරිපත් ව තිබෙන බවත් එය නුවර ප්‍රදේශයේ ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වු බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙරට සනීපාරක්ෂක ඉලක්ක හඹා යාමේදී දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියයට 98.6 ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකාව මේ වන විට ලබා ගෙන තිබෙන බවත් ඇමැතිවරයා කීවේය.

සමන්මලී ප්‍රියශාන්ති 


නව අදහස දක්වන්න

Or log in with...