රාජ්‍ය සාහිත්‍ය සම්මාන ජනපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය-2017 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) කොළඹ, ‍නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ඉදිරිගමන උදෙසා සිංහල, දමිළ, ඉංග්‍රිසි මාධ්‍යයෙන් සාහිත්‍යකරණයේ යෙදෙමින් ජනතාවගේ මනස පෝෂණය කිරීමට කටයුතු කරන ලේඛක ලේඛිකාවන්ට ගෞරව දැක්වීම සඳහා මෙම උත්සවය අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය එක්ව සංවිධානය කෙරිණ.

1957 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේදී ඇරඹි මෙම රාජ්‍ය සාහිත්‍ය උත්සවයේදී කෝට්ටේ සාහිත්‍ය යුගය පිළිබඳව දේශනය පැවැත්වූයේ මහාචාර්ය සෙනෙරත් පරණවිතාන මහතා බවද මෙම උළෙලේදී අනාවරණය විය. මෙවර මෙම උත්සවය පවත්වනු ලබන්නෙ හැට වන වරටය. සාහිත්‍ය කෘති තේරීම සඳහා විද්වතුන් උගතුන් එකසිය හැටක් පමණ සහභාගි විය. සිංහල, දමිළ, ඉංග්‍රීසි සාහිත්‍ය කෘති එක්දහස් පන්සියයකට වඩා වැඩි ප්‍රමාණයක් මෙවර ඉදිරිපත් වී තිබිණ.

මෙහිදී අදහස් දැක්වූ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය-

අද දවසේ කතානායකයන් වන 2016 ජනවාරි පළමුවෙනි දින සිට දෙසැම්බර් 31 දින දක්වා මුද්‍රණ ද්වාරයෙන් එළිදක්වන ලද සාහිත්‍ය නිර්මාණය කළ සාහිත්‍ය ධරයන්ද මෙම අවස්ථාවට සහභාගි වෙනවා.සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ආරම්භ කළේ එක්දහස් නවසිය පනස් හය වර්ෂයේ. ඉන්පසුව 1957 සිට 2017 දක්වා හැට වසරක් පුරා සාහිත්‍යධරයන් මෙසේ ඇඟයීමට ලක්කර තිබෙනවා.

වර්තමානයෙහි සමාජයේ පවතින විශාල ගැටලු විසදීම සඳහා, සමාජය නිවැරදි මගට ගැනීම සඳහා සමාජයේ චින්තන පරිවර්තනයක් සඳහා සාහිත්‍ය ධරයන්ට සහ කලාකරුවන්ට කළ හැකි මෙහෙය අපමණයි. කලාකෘති නිර්මාණය කරන්නන් සහ ඒවා රසවිදින්නන් වශයෙන් සමාජයේ කොටස් දෙකක් සිටිනවා.

රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන්ත හේරත් මහතා-

මෙමඋත්සවය මෙරට ලේඛක ලේඛිකාවන්ගේ මහා මංගල්‍යය වශයෙන් හැදින්විය හැකියි. සිංහල, දමිළ. ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් සාහිත්‍ය කරණයේ යෙදෙන ලේඛක, ලේඛිකාවන්ගේ නිර්මාණ මෙම උත්සවයේ සම්මාන සඳහා තෝරා ගැනීමට ගැඹුරු අධ්‍යයනයක යෙදෙනවා.

සාහිත්‍ය කා සඳහාද කුමකද?. සාහිත්‍යයෙන් අප සොයන්ගේ අපගේම ජීවිතය. සාහිත්‍යයේ භාවාලෝක ධාරා විහිදුවා අප ගමන් කරන්නේ මනුෂ්‍ය ජීවිතයේ අභ්‍යන්තරයට. ජීවිතයේ ගැඹුර අවබෝධකර ගැනීමට සාහිත්‍යයෙන් අපට හැකිවෙනවා. ජීවන මඟද සාහිත්‍ය මගින් අවබෝධ කරගත හැකියි. සාහිත්‍ය කරණයේ යෙදෙන්නන් මනුෂ්‍ය ජීවිතය විවරණය කරමින් සපයන ආලෝකය අනර්ගයි. අද එවන් පුද්ගලයින් සම්මානයට ලක් කරනවා.

අප රටේ ලේඛකයෙකුට මෙරටදී ලැබිය හැකි ඉහළම සම්මානය රාජ්‍ය සාහිත්‍ය සම්මානයයි. මෙම රාජ්‍ය සහිත්‍ය සම්මානයේ ප්‍රමිතිය උපරිමයෙන් ආරක්ෂා කර ගැනීමට මෙවරද අප දැඩි උත්සාහයක් දැරුවා. ඒවායේ ප්‍රමිතිය පිළිබඳව අපට වගකීම ගත හැකියි. සාහිත්‍ය පරිශීලනය කරන රසිකයින්ට විවිධ අදහස් තිබෙන්න පුලුවන්. ක්ෂේත්‍ර දහ අටක් යටතේ මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය කෙරෙනවා. සම්මාන සඳහා ග්‍රන්ථ තෝරා ගැනීමේදී ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයින් කටයුතු කරනවා. සමික්ෂණ සඳහා මාස හයකට ආසන්න කාලයක් අප ගත කළා. තෝරා ගැනීමේදී අදාළ ග්‍රන්ථය රචනා කළ පුද්ගලයා අපට වැදගත් වන්නෙ නැහැ. අපගේ මෙම ප්‍රතිපත්තිය නිසා පසුගිය වසරවල තමන්ගේ පළමු කෘතිය බිහි කළ තරුණ ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලබා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයින්, කතානායක කරු ජයසූරිය මහතා, අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු ඇමැති එස්.බී නාවින්න මහතා එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා, සිංහල, දමිළ. බර්ගර් ආදී විවිධ සාහිත්‍යධරයන් ඇතුළු කලාකරුවෝ විශාල පිරිසක් සහභාගි වූහ.

ඇමැති සරත් අමුණුගම මහතාද මෙම උත්සවයේදී සම්මානයකින් පිදුම් ලැබූ අතර 1957 වර්ෂයේ පැවැත්වූ ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මානයට පාත්‍ර වූ සාහිත්‍ය විවේචනය නැමැති කෘතිය රචනා කළ පණ්ඩිත අශෝක කරුණාරත්න මහතාද මෙම අවස්ථාවට සහභාගි විය. මුල් සාහිත්‍ය උළෙලේදී සම්මාන ලැබූ වියතුන් අතරින් ජීවත්ව සිටින එකම පුද්ගලයා මොහු බවද මෙහිදී අනාවරණය විය.

උපාලි කරුණාරත්න  


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...