අසාමාන්‍ය විභාග තරගය නිසා ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් ඕනෑ | දිනමිණ

අසාමාන්‍ය විභාග තරගය නිසා ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් ඕනෑ

 ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ සමාරම්භක උළළේ දී ජනපති කියයි

අසාමාන්‍ය විභාග තරගය හේතුවෙන් දරුවන් පත්ව ඇති දුක්ඛ දායක තත්ත්වය නිසා පහේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සැලසුම් අනුව යම් ප්‍රතිසංස්කරණ මෙන්ම වෙනස්කම් ඉතාම අත්‍යාවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඒ අනුව විශේෂඥ උපදෙස් ඔස්සේ මේ කටයුතු සිදුකිරීමට රජයක් ලෙස අදහස් කරන බව ද ජනාධිපතිවරයා කීය.

මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේ පැවැති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බැවු පැවැසීය.

මේ සඳහා මධ්‍යම පළාතේ පැසල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන්ගේ නැටුම් ගැයුම් ඇතුඵ ක්‍රියාකාරකම් රැසක් ද මෙහි දී සිදු කෙරිණි.

2015 දී ශිෂ්‍යත්වය අසමත් වී නිවසට පැමිණි දියණියකට ඇගේ පියා විසින් ඇයව නිවසින් එළියට විසිවෙන්න පයින් ගසා නිවසින් එළවා දැමීමේ දුක්ඛ දායක සිද්ධියක් එදා වාර්තා වූ බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහි දී සිහිපත් කළේය.

එම වසරේදීම ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ දියණියක නිවසට නොගෙන මුළු රැයක් ඇගේ මවුපියන් විසින් නිවසින් එළියේ තබා තිබූ අනුවේදනීය සිද්ධියක් සිදු වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

පහේ ශිෂ්‍යත්වය ලියූ දරුවකු අවුරුදු දහයක එකොළහක දරුවකු බවත් තමාගේ දරුවකුට වුව ද එවැනි සිද්ධීන් සිදු කිරීමට මවුපියන්ට අයිතියක් ඇත්දැයි ජනාධිපතිවරයා මෙහි දී ප්‍රශ්න කළේය.

මේ තත්ත්වය තුළ දරුවන්ගේ සුරක්ෂිතතාව පිළිබඳ මවුපියන්ගේ වගකීම කුමක්දැයි යන්න ද ජනාධිපතිවරයා විසින් මෙහි දී ප්‍රශ්න කරනු ලැබීය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

දරුවන් සුරකිමු වසර තුනක ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ අමාත්‍යාංශ රාශියක් සම්බන්ධ වී සිටිනවා. මේ සඳහා මූලික වූ කරුණු මා නොකිවුවාට ඒ පිළිබඳ ඔබට අවබෝධයක් තිබෙනවා. දරුවන් සුරකිමු ජාතික වැඩසටහනක අවශ්‍යතාව කුමක්ද? විද්යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය ඒ වගේම සමාජයෙන් එන විවිධ තොරතුරුත් සමඟ ඔබ පිළිගන්නවා, විශ්වාස කරනවා මෙවැනි වැඩසටහනක අවශ්‍යතාව. දරුවාට මූලික වශයෙන් දරුවා ජීවත්වන නිවසේ සුරක්ෂිතතාව තිබෙනවාද? ඔබත් මමත් දන්නා පරිදි දරුවාගේ සුරක්ෂිතතාව හා ආරක්ෂාව දරුවා ජීවත්වන නිවසේත් ප්‍රශ්නයක් තිබෙන බව අද බොහෝ වාර්තා පෙන්වා දෙනවා.

පොලිසියට අවුරුද්දක් තුළ ලැබෙන වැඩිම පැමිණිළි මොනවාද? පසුගිය දිනක පැවැති උත්සවයක් අවසානයේ මම ළඟම තිබුණු පොලිසියට ගොඩ වුණා. එහි දී මා එහි පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසුවා එම ප්‍රදේශයෙන් පොලිසියට ලැබෙන වැඩිම පැමිණිළි මොනවාද කියා. එහි දී ස්ථානාධිපතිවරයා කීවා අපිට ලැබෙන වැඩිම පැමිණිලි පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි බව. මෙහි සිටින විශේෂඥ වෛද්‍යවරු ඇතුඵ සියලු දෙනා දන්නවා පවුල් ආරවුල් තිබීමෙන් දරුවාට කොතරම් නිවස අනාරක්ෂිත ද කියන එක.

සමාජ සමීක්ෂණ ආයතනයක් පසුගිය වසර දහයක අපේ රටේ විවාහ ජීවිත පිළිබඳ සමීක්ණයක් සිදු කර රජයට වාර්තාවක් ලබා දුන්නා. අඩු වයසින් විවාහ වන පවුල්වලින් එම වසර දහය තුළ සියයට හැත්තෑවක් පවුල් ජීවිත අසාර්ථක බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන් පවුලේ මවුපියන් පිළිබඳ ප්‍රශ්න මතු වූ විට ඒ නිවසේ තත්ත්වය මෙන්ම නිවසේ දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳ ඔබ දන්නවා. අද තිබෙන තරගකාරීත්වය තුළ මවුපියන් සමාජයේ එම තරගකාරීත්වයට යොමු වී තිබෙනවා. ආර්ථිකය ශක්තිමත් කර ගන්න, ඒ වගේම සම්පත් වැඩිපුර ලබා ගන්න, සමාජය තුළ ගෞරවයට ලක් වෙන්න මේ තරගකාරීත්වයට යොමු වී තිබෙනවා. මේ තත්ත්වය තුළ ඇතැම් මවුපියන්ට දරුවන් අමතක වෙනවා.

දරුවාට පාසල සුරක්ෂිත තැනක් බවට විශේෂයෙන් පත්විය යුතුයි. සමාජයෙන් ලැබෙන තොරතුරු අනුව විශේෂයෙන් දරුවාට වඩාත් සුරක්ෂිතම ස්ථානය පාසල කියා අපි සිතනවා. දරුවන්ගේ අනාරක්ෂිතතාව පිළිබඳ පාසල්වලින් ලැබෙන වාර්තා ඉතාමත් අවමයි. දරුවන්ගේ අනාරක්ෂිතතාව පිළිබඳ වැඩිපුරම අසන්නට ලැබෙන්නේ දරුවන් පාසලේ සිටින කාලය තුළ නොවේ. මවුපියන්ගේ භාරකාරත්වය හා ඇසුරෙහි සිටින කාලය තුළයි. දරුවන්ගේ අනාරක්ෂිතතාව පිළිබඳ පාසල්වලින් ලැබෙන පැමිණිලි විශේෂයෙන් ලක්ෂයකින් එකකටත් අඩුයි. එවැනි දේ නැතුවාම නොවේ. දරුවාට මහා මාර්ගය ආරක්ෂිත ස්ථානයක්ද? දරුවා යන මගී රථය, බස් රථය ආරක්ෂිත ස්ථානයක්ද? දරුවා පාසලට යන පාසල් බස් රථය වෑන් රථය ආරක්ෂිත ස්ථානයක්ද? විශේෂයෙන් දරුවා යන උපකාරක පන්ති පෞද්ගලික පන්ති ආරක්ෂිත ස්ථානද? ඒ බොහෝ ස්ථානවල අපි දකින්නේ අනාරක්ෂිත තත්ත්වයක්.

පසුගිය වසරේ යාපනයේ විද්‍ය දියණිය පිළිබඳ සිද්ධිය අපි දන්නවා. මොන තරම් සමාජය අකාරුණිකද? විෂමද? මොනතරම් සමාජය අමනුෂ්‍ය භාවයක් පෙන්නුම් කරනවාද? අපේ රටේ සිටින ජාවාරම්කාර ජාත්‍යන්තර සංවිධානයකට අයත් පිරිසක් විශේෂයෙන් තරුණ ගැහැනු ළමයෙක් දූෂණයට ලක්කර ඝාතනයට ලක් කිරීමේ සිද්ධියක් චිත්‍රපටයකට නැඟීමේ සිද්ධියක් සඳහායි එය සිදු කර තිබෙන්නේ. එහි සී. ඩී. පට ජාත්‍යන්තර ජාවාරම්කාරයන්ට විකුණා මෙහි මුදල් ලබා ගැනීම සඳහායි. මේ සියලු දේ පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි.

කුරුණෑගල ප්‍රදේශයේ දැරියක් මෙයට සති කිහිපයකට පෙර විභාගය ලියා නිවසට පැමිණ සිටි අවස්ථාවේ දූෂණය කර ඝතනය කර දමා තිබුණා. අවුරුදු නවයක දරුවකු මොටර් රථයක් තුළ මිය ගොස් සිටිය දී හමු වූ සිද්ධිය අපි දන්නවා. මෙවනි සිදුවීම් කොතෙකුත් අපිට කියන්න පුළුවන්ද? ඒ නිසා දරුවන් සුරකිමු ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔබට දැනෙනවා ඇති. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන අරමුණු රාශියකින් ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ සිය දිවි නසා ගැනීම් අනුව ශ්‍රී ලංකාව ඉහළ තැනක තිබෙන්නේ. එම සිය දිවි නසා ගැනීම්වලින් වැඩි ප්‍රමාණයක් තරුණ දරුවන්. ඒ සඳහා වැඩි වශයෙන් මුල් වී තිබෙන්නේ ජංගම දුකථනයයි. අන්තර්ජාලයයි. ඒ නිසා දරුවන් රැක ගැනීම සඳහා අපි සියලු දෙනා සාමූහික ප්‍රයත්නයක, වගකීමක යෙදිය යුතුයි. මේ වැඩසටහන ජාතික මට්ටමින් සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන ඇමැති සරත් එ්කනායක යන මහත්ම මහත්මීන් ඇතුඵ පිරිසක් මේ සඳහා එක්ව සිටි අතර, මහනුවර උසස් බාලිකා විදුහලේ නෙත්මිණි අමුණුගම දැරිය සිංහල භාෂාවෙන් ද මහනුවර සාන්ත සිල්වෙස්තර් විදුහලේ සෙහාන් ප්‍රනීත් සිසුවා දමිළ භාෂාවෙන් ද මේ ජාතික උත්සවය අමතනු ලැබීය.

ඉන්දික පොල්කොටුව
ඡායාරූප- ජනාධිපති මාධ්‍ය අංශය 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...