මාධ්‍ය අවලාද නඟන්නේ මිලියන 25000ක් රටට ඉතිරි කර දුන් නිසාද | දිනමිණ

මාධ්‍ය අවලාද නඟන්නේ මිලියන 25000ක් රටට ඉතිරි කර දුන් නිසාද

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා (08) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර, එම ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

මා අද මේ විශේෂ ප්‍රකාශය කිරීමට අදහස් කළේ පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක් මඟින්, වහල කියන්න ඕන නැහැ සිරස මාධ්‍ය ජාලය මගින් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙන යන ද්වේෂසහගත අවලාද සහ මඩ ප්‍රචාර සම්බන්ධයෙන් මේ සභාවටත්, මෙරටේ ජනතාවටත් සත්‍යය පැහැදිලි කිරීමේ අරමුණ ඇතිවයි.

මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා කැබිනට් අනුමැතිය ලද සමාගම මුලින් ඉදිරිපත් කළ මිලට වඩා බිලියන 25 ක්, එනම් මිලියන 25000ක් අඩුවෙන් මේ ව්‍යාපෘතිය ලබා දීමට අපිට හැකි වුණා.

ශ්‍රී ලංකා රජයේ සහ ජපන් රජයේ මැදිහත්වීම් නිසා ව්‍යාපෘතිය පිළිබඳ සාධනීය වෙනස්කම් ගණනාවක් සිදු කර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොන්ත්‍රාත්තුව හිමි වූ ටයිසෙයි සමාගම සමඟ සාකච්ඡා කොට රුපියල් බිලියන 25 කින්, එනම් මිලියන 2500 කින් වියදම අඩු කර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වුණා.

දැන් මේ මාධ්‍ය ජාලයට කේන්ති ගොස් තියෙන්නේ වියදම බිලියන 25 කින් අඩු කිරීම නිසයි. මේ මාධ්‍ය අපට අවලාද නඟන්නේ බිලියන 25 ක මුදලක් එනම් මිලියන 25000 ක් රටට ඉතිරි කර දීම නිසයි. ඒ සා විශාල මුදලක් ඉතිරි කර දීම පිළිබඳ අවලාද නැ‍ඟීමට ඔවුන් තවත් අසත්‍ය කරුණු ගණනාවක් ප්‍රකාශ කරනවා.

හරියටම සංඛ්‍යා ලේඛන සඳහන් කළොත් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන් ජපානයේ ටයිසෙයි ආයතනය මුලින්ම ඉදිරිපත් කළ මිල ගණන රුපියල් බිලියන 159 (159, 659, 226, 919.24) ක්. නමුත් ජපාන රජයේ සහ අපේ මහාමාර්ග අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එය රුපියල් බිලියන 134 ක් දක්වා දක්වා අඩු කර ගැනීමට හැකි වුණා.

අපේ මැතිවරණ ප්‍රකාශනයේ කොළඹ - නුවර අධිවේගී මාර්ගය පිළිබඳ අපි ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා.

අද කොළඹ ඉදලා නුවර යන්න පැය හයක් විතර ගත වෙනවා. මේ වැය වන කාලය, ඉන්ධන හා මහන්සිය සලකා බැලූ විට මෙය ජාතික අපරාධයක්. කොළඹ නුවර අධිවේගී මාර්ගය තනි ව්‍යාපෘතියක් නෙවෙයි. එය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක්.

අපේ සැලැස්ම අනුව මහනුවර කේන්ද්‍ර කොට ගෙන සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානයක් ඉදිවනවා. කෘෂි තාක්ෂණික සංවර්ධන ව්‍යාපෘති ඇරැඹෙනවා. තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ඉදි වනවා.

ජපානය යෝජනා කර ඇති කර්මාන්ත පුරය සඳහා ද අප තෝරා ගෙන ඇත්තේ මහනුවරයි. මේ සියලු කාර්යයන් සඳහා මධ්‍යම අධිවේගී මාර්ගය අතිශය වැදගත් වනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ආරම්භ වන්නේ පොතුහැරින්. අවසන් වන්නේ ගලගෙදරින්. අඩි 300 ක පමණ උසක සිට අඩි 1200 ක පමණ උසක් දක්වා දිවෙන කඳු මාර්ගයක්. මේ මාර්ගය සඳහා බිංගෙවල් තුනක් ඉදි කළ යුතු වෙනවා. කොන්ක්‍රීට් කණු මතින් ඉහළින් ඉදිවෙන මාර්ග කොටස් තියෙනවා. ඉහළින් ඉදිවන මාර්ගයන්හි සම්පූර්ණ දිග කිලෝ මීටර 5.05 ක්.

ඒ වගේම ඉහළ උසකින් ඉදිවන දීර්ඝ පාලම් 14 කුත් මේ මාර්ගයට අයත් වනවා. ඒ වගේම පාරිසරික හානි අවම කර ගැනීම සඳහාත්, විශේෂ ක්‍රියා මාර්ග ගණනාවක් මාර්ගය ඉදි කිරීමේ දී සිදු කළ යුතු වෙනවා.

මෙතෙක් අපේ රටේ අධිවේගී මාර්ග ඉදි වුණේ සමතලා භූමිවලයි. දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කොන්ක්‍රීට් කණු මත ඉදි කළ යුතු ස්ථානයන්හි එසේ කළේ නැහැ. පස් පුරවා මාර්ගය ඉදි කළා. ඒ නිසා පාරිසරික ප්‍රශ්න ගණනාවක් ඇති වුණ බව අපි දන්නවා. නුවර අධිවේගී මාර්ගය අපේ රටේ මෙතෙක් ඉදිවුණු අනෙක් අධිවේගී මාර්ගවලට වඩා සංකීර්ණයි. මගෙන් ප්‍රශ්න කරල තිබුණ එක කිලෝමීටරයක් සඳහා වැය වන මිල වැඩි ඇයි කියලා. මහා මාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඊට හේතු දක්වා තිබුණා.

2015 මාර්තු 27 වැනි දා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබිහිතො හොබො මහතා දන්වා සිටියේ මෙවැනි සංකීර්ණ ව්‍යාපෘතියක් සඳහා ජපානයේ දැනුම සහ අත්දැකීම් බහුල බැවින්, උසස් තාක්ෂණය සතු ජපාන සමාගම් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම සුදුසු බවයි. එසේ වෙතොත් ජපාන රජය සහාය දැක්වීමට සූදානම් බවත් එතුමා දැන්වූවා. ඒ ලිපියේ ජපාන සහාය ලබා දිය හැකි ආකාරයන් දෙකක් පිළිබඳ සඳහන් කර තිබුණා.

1. ‘ජපාන ආනයන සහ ආයෝජන සමාගමේ රක්ෂණාවරණය සහිතව ටෝකියෝ මිට්ෂුබිෂි බැංකුව හරහා මුල්‍ය ආධාර ලබා දීම. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත, ජපාන රජයේ සහයෝගය හරහා මේ ආධාරය ලබා දීමට දැනටමත් අප සූදානම්.’

2. ‘ජයිකා ආයතනය හරහා නිල සංවර්ධන සහයෝගීතා ණය මුදලක් ලබා දීම.’

රටවල් දෙකක ආණ්ඩු අතර ඍජුවම සිදුවන ව්‍යාපෘති හා ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ නිල අයිතිය ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවටයි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳ සාකච්ඡා කොට නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කළා.

ජයිකා ණය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් ගණනාවක් තියෙනවා. ඒ පිළිවෙත් අනුව සම්පූර්ණ ණය මුදල ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බව ඔවුන් දන්වා සිටියා. වසර තුනක කාලයක් තුළ ව්‍යාපෘතිය නිම කිරීමට අප බලාපොරොත්තු වන නිසා වඩාත් ප්‍රායෝගික වන්නේ මිට්ෂුබිෂි බැංකුව මගින් ණය ආධාර ලබා ගැනීම බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැන්වූවා. ඒ නිසා ව්‍යාපෘතිය සඳහා ණය ආධාර ලබා ගැනීම පිළිබඳ දැන් ටෝකියෝ මිට්ෂුබිෂි බැංකුව සමඟ සාකච්ඡා පැවැත් වෙනවා. ඒ සාකච්ඡා තවම අවසන් වී නැහැ. ලබා ගන්නා ණය මුදල පිළිබඳත් තවම අවසන් තීරණයකට එළැඹී නැහැ. එදා මෙයාල කතා කළේ මේ ඔක්කොම අපි අවසන් කළා කියලයි. නමුත් මම ඉදිරිපත් කළේ ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවයි.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී අදියර ගණනාවක් සඳහා මුදල් අවශ්‍ය වෙනවා. ඉඩම් අත්පත් කර ගැනීම. වෙනත් ස්ථානවල පදිංචි කිරීම. මාර්ගය ඉදි කිරීම. අප බලාපොරොත්තු වෙන්නේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා දේශීය බැංකු හරහා ණය මුදල් ලබා ගැනීමටයි. ඒ ගැනත් දැන් දේශීය බැංකු සමඟ සාකච්ඡා පැවැත්වෙනවා.

කතානායකතුමනි,

ජපාන රජයේ අදහස් අනුව 2016. 06. 22 වැනි දා ජපාන සමාගම් තුනක් වෙත මිල ගණන් කැඳවීමේ ලිපි නිකුත් කළා. නමුත් ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නැහැ. එක් සමාගමක් පමණක් මිල ගණන් ඉදිරිපත් කළත් එහි තාක්ෂණික අඩුපාඩු තිබුණා.

ජපාන අගමැතිවරයාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා 2016.10.10 වැනි දා මා හමුවී සාකච්ඡා කළා. ජපන් රජයේ ඉල්ලීම පරිදි ජපන් සමාගම්වලින් මිල ගණන් කැඳවූවත්, ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නැති බව මම එතුමාට පෙන්වා දුන්නා. එතුමා පැවැසූයේ නැවත මිල ගණන් කැඳවන අවස්ථාවේ ඊට නිසි ප්‍රතිචාර ලැබෙන බවට ජපාන රජය වගබලා ගන්නා බවයි.

මේ තත්ත්වය මත මිල ගණන් අලුතින් කැඳවමින් ජපන් සමාගම් වෙත යළිත් ලිපි නිකුත් කිරීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව 2016.10.26 වැනි දා තීරණය කළා. මේ තීරණය සඳහා කැබිනට් අනුමැතිය ද ලැබුණා. මිල ගණන් කැඳවීමේ ලිපි 2016.11. 03 දා නිකුත් කළා. මේ ඔක්කොම කරන්නෙ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මතයි. අදාළ කැබිනට් පත්‍රිකා මහාමාර්ග අමාත්‍යාංශයත්, මගේ අමාත්‍යාංශයත් ඉදිරිපත් කළා.

මේ අවස්ථාවේ ජපානය ඉල්ලා සිටියේ මිල ගණන් කැඳවීම සඳහා ෆුජිටා සමාගමට ද ආරාධනා කරන ලෙසයි.

එම ඉල්ලීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාල නියෝජ්‍ය ප්‍රධානී කෝජි යගී මහතා විසින් 2016.11. 23 වැනි දා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබුණා. ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව එම ඉල්ලීම අනුමත කොට ෆුජිටා සමාගමට ද අවස්ථාව ලබා දී, මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය සතියකින් කල් තැබුවා. මේක ජපාන තානාපති කාර්යාලයෙන් කරපු ඉල්ලීමක්.

මිල ගණන් ඉදිරිපත් කළේ ජපාන සමාගම් දෙකක් පමණයි. ෆුජිටා සමාගම රුපියල් බිලියන 147 යි. ටයිසෙයි සමාගම බිලියන 159 යි.

මේ මිල ගණන් අනුව, අඩුම ලංසුව ඉදිරිපත් කළ ෆුජිටා සමාගමට කොන්ත්‍රාත්තුව ලබා දීම සුදුසු බව 2016. 12. 06 වැනි දා කැබිනට් මණ්ඩලය තීරණය කළා.

මේ අවස්ථාවේ කැබිනට් මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා කමිටුව එනම් (CANC) දන්වා සිටියේ අඩුම ලංසුව ඉදිරිපත් කළ ෆුජිටා සමාගම ඉතා වැදගත් සාධක දෙකක් සම්බන්ධයෙන් සුදුසුකම් සපුරා නැති බවයි. පසුගිය වසර 10 ක කාලය තුළ ෆුජිටා සමාගම මෙවැනි විශාල මහාමාර්ග ඉදිකිරීමක් සිදු කර නොමැති වීම ඊට හේතුවයි. ඔවුන් මේ තත්ත්වය කැබිනට් මණ්ඩලයට වාර්තා කළා.

ඒ නිසා ඊළඟට ගත යුතුව තිබුණු පියවර වූයේ මිල ගණන් ඉදිරිපත් කර තිබූ අනෙක් අයතනය වූ ටයිසෙයි සමාගම සමඟ සාකච්ඡා කිරීමයි. ඔවුන් සමඟ සාකච්ඡා කොට මිල ගණන් අඩු කර ගැනීමට උත්සාහ කළ යුතු යැයි ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව 2017. 01. 04 දින තීරණය කළා. මේ තීරණයට ද කැබිනට් අනුමැතිය ලැබුණා.

කැබිනට් මණ්ඩලය විසින් පත්කළ සාකච්ඡා කමිටුව (CANC) 2017. 03. 17 වැනි දා කැබිනට් මණ්ඩලය වෙත නිර්දේශ කළේ ටයිසෙයි සමාගම සිය මිල ගණන් අඩු කිරීමටත්, දින 365 ක් ඇතුළත ඉදි කිරීම් තම මුදලින් ආරම්භ කිරීමටත් එකඟ වී ඇති නිසා, ඔවුන් වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සුදුසු බවයි.

2017 අප්‍රියෙල් මාසයේ මම ජපානයේ සංචාරය කළ අවස්ථාවේ දී නැවතත් ඉසුමි මහතා සහ ඔහුගේ කණ්ඩායම හමුවුණා. එහි දී සාකච්ඡා කළේ මේ ඉදි කිරීම සඳහා ෆුජිටා සමාගම ද එක් කර ගැනීමේ හැකියාවක් තිබේ ද යන්නයි. ඒ බව ලිඛිතව ඉදිරිපත් කරන ලෙස අප දැන්වූවා.

ඒ අනුව 2017. 04. 12 වැනි දා ජපානයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ උපදේශක සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ තානාපති ෂිගෙරු කියමා මහතා ජපාන රජය වෙනුවෙන් මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා.

එම ලිපියේ මෙහෙම සඳහන් වෙනවා.

‘මේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉදිරිපත් වී ඇති අනෙකුත් ජපන් සමාගම් සමගම ෆුජිටා සමාගම වෙත ද විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නම් එය ජපන් රජයේ අගයීමට ලක්වනු ඇත.’

පසුගිය අවුරුදු 10 තුළ ඔවුන් මේ තරම් විශාල තනි ව්‍යාපෘති සිදු කර නැතත් 1989 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 750 ක මාර්ග ව්‍යාපෘති සිදු කර ඇති බවත්, පසුගිය වසර තුන තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1100 ක ව්‍යාපෘති නිම කර ඇති බවත් ඒ ලිපිය මගින් අපට දැනුම් දුන්නා. ඒ කියන්නේ මේ වගේ විශාල ව්‍යාපෘතියක් වසර 10 කට කලින් ඔවුන් කරල තියෙනව කිවුවා.

ජපාන රජය එවැනි ඉල්ලීමක් කළ නිසා, කොන්ත්‍රාත්තුව පිළිබඳ යළි සලකා බැලිය හැකි දැයි යන්න ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ අවධානයට ලක් වුණා.

2017. 05. 24 වැනි දා ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව මේ තත්ත්වය ජපාන රජය වෙත දන්වා යැවීමට තීරණය කළා. ජපාන තානාපතිවරයා වෙත මේ බව දන්වා සිටි අවස්ථාවේ එතුමා පැවැසූයේ ශ්‍රී ලංකාවේ පවත්නා නීති රීති මත සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.

එතන දී ශ්‍රී ලංකා නීති රීති අනුව ගත හැකි ක්‍රියා මාර්ග දෙකක් තිබුණා.

පළමුවැන්න මිල ගණන් කැඳවීම් අවලංගු කොට යළිත් අලුතෙන් මිල ගණන් කැඳවීම. මේ ව්‍යාපෘතිය පිළිබඳ ඉංජිනේරු ඇස්තමේන්තුව බිලියන 123.5 ක් නිසා, ඒ බව ද අවධාරණය කරමින් ටයිසෙයි සමාගම සමඟ සාකච්ඡා කොට, ඔවුන් ඉදිරිපත් කළ ලංසුව අඩු කර ගැනීමට උත්සාහ කිරීමයි. ඇත්ත වශයෙන්ම ඒ අය ලබා දුන් මිල ඇස්තමේන්තු මිලට වඩා වැඩියි.

පළමු විකල්පයට ගියහොත් එය ව්‍යාපෘතිය ඉදි කිරීම තව තවත් කල් යන්නට හේතුවක් වන නිසා ටයිසෙයි සමාගම සමඟ සාකච්ඡා කිරීම වඩාත් ප්‍රායෝගික වුණා. (CANC) ඔවුන් සමඟ සාකච්ඡා කළා.

අවසානයේ බිලියන 134.9 ක් දක්වා ලංසුව අඩු කිරීමට ඔවුන් එකඟ කර ගැනීමට හැකි වුණා. මෙය ෆුජිටා සමාගම කලින් ඉදිරිපත් කළ ලංසුවට වඩා බිලියන 7 ක් එනම් මිලියන 7000 ක් අඩුයි.

ජපානය සමඟ කලින් සාකච්ඡා කළ පරිදි සමාගම් දෙකම ඒකාබද්ධව ඉදිකීරීම් සිදු කිරීමේ හැකියාව ගැන සලකා බැලීමටත් අප ඉඩ දුන්නා.

ඒ අනුව ටයිසෙයි සමාගමට ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමත්, ටයිසෙයි සමාගමට සහ ෆුජිටා සමාගමට එකට එක්ව වැඩ කිරීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමත් සුදුසු බව ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව තීරණය කළා.

මේ අනුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ටයිසෙයි සමාගමට රුපියල් 134, 905, 155, 000 කට ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමටත්, ඒ සඳහා මූල්‍ය සහයෝගය ටෝකියෝ මිට්ෂුබිෂි බැංකුවෙන් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකා රජය එකඟ වන කොන්දේසි මත ටයිසෙයි හා ෆුජිටා සමාගම් ඒකාබද්ධව ඉදිකිරීම් සිදු කිරීමට අවස්ථාවක් ලබා දීමටත් 2017. 07. 11 වැනි දා කැබිනට් අනුමැතිය ලැබුණා.

2017. 08. 11 වැනි දා මම ජපාන අගමැතිවරයාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා හමුවුණා. මෙතෙක් සිදු වූ සියලු සිදුවීම් පිළිබඳ අප සාකච්ඡා කළා.

2017. 08. 28 වැනි දා ටයිසෙයි සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ෆුජිටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විසින් මහාමාර්ග ඇමැතිවරයාට ලිපියක් එවුවා. ඒ ලිපියේ මෙසේ සඳහන් වෙනවා.

‘ජපාන සහ ශ්‍රී ලංකා රජයන්ගේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින්, අප සමාගම් දෙක ඒකාබද්ධව ක්‍රියා කිරීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇත.’ මේ අනුව මට එන ආරංචි හැටියට තුන් වන අදියරේ කොටස් දෙකට බෙදා ගෙන ටයිසෙයි සහ ෆුජිටා සමාගම් වැඩ කරනවා. ඒ නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මීට වඩා කෙටි කාලයකින් ඉවර කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ අධිවේගී මාර්ගයේ පළමු අදියර චීනයත්, දෙවැනි අදියර ශ්‍රී ලංකාවේ දේශීය සමාගම් සහ තුන් වැනි අදියර ජපානයත්, හතර වැනි අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියාවත් එක් වේවි. බලාගෙන යන කොට මේක ජාත්‍යන්තර පාරක්.

කතානායකතුමනි, මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ සියලු කටයුතු නිසි පරිදි, නිත්‍යානුකූලව සිදු කර තියෙනවා. මේ පිළිබඳ ගත් තීරණ පුද්ගලික තීරණ නෙවෙයි. ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනු කමිටුව, සාකච්ඡා කිරීමේ කමිටුව සහ කැබිනට් මණ්ඩලය ගත් තීරණ. මේ පිළිබඳ ජපාන රජයේ උපදෙස් අපට ලැබුණා. තවමත් ලැබෙනවා.

නමුත් එක්තරා මාධ්‍ය සමාගමකට, එනම් අපේ සිරස සමාගමට ප්‍රශ්නයක් වී තියෙන්නේ ඉදිරිපත් කළ මිලට වඩා රුපියල් බිලියන 25 ක් එනම් මිලියන 25000 ක් අඩුවෙන් මේ ව්‍යාපෘතිය ඉදි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම පිළිබඳයි. මිලියන 25000 ක් අඩු කර ගත්තු නිසා මට හොරා කියනවා. ඇත්තටම හොරකම් කළා නම් මොකද කියන්නේ.

මිලියන 25000 ක ලාභයක් රටට ලැබීම ගැන මේ මාධ්‍ය ආයතනයට සිත් වේදනාවක් ඇති වී තියෙන්නේ ඇයි? ඇයි අඬන්නේ? ඇයි අපට දොස් කියන්නේ?

මධ්‍යම අධිවේගී මාර්ගය හදන්නේ කාටද කියලා මේ මාධ්‍ය ආයතනය ප්‍රශ්න කරනවා. අපි මේ මාර්ග හදන්නේ රටේ මහජනතාවටයි. මහනුවර ජනතාව මේ මාර්ගයේ වාසි ලබා ගැනීමට ඇඟිලි ගනිමින් සිටින බව ආචාර්ය සරත් අමුණුගම මහතා දන්නවා. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දන්නවා. රවුෆ් හකීම් මහතා දන්නවා. මේ මාර්ගයේ අවශ්‍යතාව ජනතා හදවත් දන්නවා. මේ මාර්ගය ඉදිකිරීම නිසා වාසි ලබන්නේ මහජනතාවටයි.

මහජනතාවට ලැබිය යුතු වාසි උදුරා ගැනීමට උත්සාහ කරන මහරාජාවරුන් තවමත් අපේ සමාජයේ ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන රජය සේවය කරන්නේ මහජනතාවටයි. මහරාජාවරුන්ට නෙවෙයි. ඒ නිසා අධිවේගී මාර්ග තැනීම මහරාජාවරුන්ට වැඩක් නැති වැඩක් වෙන්න පුළුවන්. වාසියක් නැති වැඩක් වෙන්න පුළුවන්. ඒත් මහජනතාවට මේ සංවර්ධන ව්‍යාපෘති වාසියක්. මහජනතාවට මේ සංවර්ධන ව්‍යාපෘති වැඩක් ඇති වැඩක්.

මම මෙහි දී තවත් කරුණක් අවධාරණය කරන්නට කැමතියි.

විදේශීය සමාගම් කොන්ත්‍රාත් ලබා ගනිද් දී දේශීය ඒජන්තවරුන් ලෙස ශ්‍රී ලංකාවේ සමාගම් පත් කරනවා. සමහර සමාගම් ප්‍රසිද්ධියේම ඒජන්තවරුන් ලෙස පෙනී සිටිනවා. සමහරු ඒජන්තකම් කරන්නේ තිරය පිටුපස සිටයි. එවැනි ඒජන්තවරුන්ට බිලියන 25 ක් කියන්නේ ඉතා විශාල මුදලක්. ප්‍රසිද්ධ අයට ටැක්ස් වදිනවා, සල්ලි ලැබෙනවා. එයාලට ප්‍රශ්නයක් නැහැ. තිරය පිටුපස ඉන්න අයට තමයි ප්‍රශ්නෙ.

වැදගත් තැනක මුල් තැනට පත් විය හැක්කේ අවංකව කැපවීමෙන් හා වෙහෙසීමෙන්. බොරුවෙන් හෝ වංචාවෙන් නෙවෙයි. තමන්ගේ ව්‍යාපාර තර කර ගැනීමට තමන්ගේම මාධ්‍ය ජාල භාවිත කිරීම සදාචාර සම්පන්න නැති බව පමණක් මම මෙහි දී සඳහන් කරන්නට කැමතියි. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...