තේ ශක්ති තේ කම්හල වසා දමලා | දිනමිණ

තේ ශක්ති තේ කම්හල වසා දමලා

රයිගම් කෝරළයේ හොරණ බොරළුගොඩ තේ ශක්ති තේ කම්හල නිෂ්පාදන කටයුතු මුළුමනින්ම නවතා ඇති බව එහි සේවය කළ කම්කරු පිරිස පවසති.
 
1999 දෙසැම්බර් 16 වනදා ආරම්භ කරන ලද මෙම කම්හල ආරම්භයේ සිටම සේවය කල කම්කරුවන් අද මහත් අසරණ තත්වයට පත්ව ඇති බව ඔවුහු පවසති.
 
2016 ජූලි මස සිට මෙම කම්හල දික්හේන කුඩා තේවතු සමිතිය මගින් බදු ගිවිසුම් අත්සන් කර එහි අධ්‍යක්ෂක මන්ඩලයේ සාමාජිකයෙකු වන එම්.කේ.ගුණරත්න නැමැති පුද්ගලයෙකු විසින් පාලනය කර ඇති බව එම කම්කරුවෝ පවසති.
 
මෙම බදු ගිවිසුම් අත්සන් කිරීමේදී සේවක වගකීම් සහිතව භාර දී ඇතත් මෙහි සේවය කල කාර්ය මණ්ඩලයට වන්දි මුදලක් ලබා දී ඔවුහු ඉවත් කර ඇති අතර කම්කරුවන්ට කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බව පෙන්වා දෙති.මේ පිළිබඳව මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යනු ලබන දික්හේන කුඩා තේවතු සමිතියේ  අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික ගුණරත්න මහතා සමග දුරකථනයෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කලේ මෙම කර්මාන්ත ශාලාව අලුත්වැඩියාව සඳහා තාවකාලිකව වසා දමා ඇති බවයි.මේ වන විට මුළු දිවයිනේ කර්මාන්ත ශාලා 13ක්ම කුඩා තේවතු සමිති හරහා බදු දී ඇති බවත් දැනට වසරකට පෙර මෙම සමිතියෙන් බදු ගෙන කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට තමාට බලය දී ඇති බවයි.
 
" කර්මාන්ත ශාලාව අප බාරගන්නා විට විශාල ණයක් සමගයි බාරගන්න සිදු වුනේ.බදු අරගෙන ඇත්තේ වසර 05 කටයි.රු.ලක්ෂ දෙකහමාරක් ගෙවන්න ඕනෙ.අප මේ ආයතනය බාරගන්නා විට ලක්ෂ 59 ක පඩි ඇරියස් එකක් තිබුණා.ටී බෝර්ඩ් එකේ උපදෙස් මත වහලය හා ඇඹරුම් යන්ත්‍ර අලුත්වැඩියා  කිරීමට සිදුවුනා.2017 ජූලි 15 දින දළු මිලදී ගැනීම හා ඇඹරීම නවතා දැමුවත් අනෙකුත් කටයුතු පසුගිය 10 වනදා දක්වා සිදු කලා.මා මේ ආයතනයේ කළමණාකරු හැටියට කටයුතු කල කාල සීමාවේ කිසිම කෙනෙකුට මාසික දීමනා ඇරියස් කර නැහැ.සියලුම මාසවල පඩි ලබා දී තිබෙනවා.පසුගිය 01 වනදා සේවකයින්ට සේවයට වාර්තා කරන ලෙස ලියාපදිංචි තැපෑලෙන් ලියුම් නිකුත් කලත් සේවයට පැමිණියේ සේවකයින් 04 දෙනෙකු පමණයි.සේවකයින් 40 පමණ අවශ්‍ය කර්මාන්ත ශාලාවක එම පිරිසගෙන් කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම අපහසු නිසා කර්මාන්ත ශාලාවය ආපු දළු පවා වෙනත් පැක්ට්‍රි වලට හරවා යැවීමට සිදු වුනා.ඒ වගේම අවසානයට නිෂ්පාදනය කල තේ වෙළද පලේ ඉතා අඩු මිලට අලෙවි කිරීමට සිදු වුන නිසා විශාල පාඩුවක් සිදු වුනා.සේවකයින් පැමිණි විගස කර්මාන්ත ශාලාව යලි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.සේවකයින් ආවානම් දෙවනිදා වැඩ පටන් ගැනීමට සූදානම් කර තිබුනේ .සේවක පිරිසට නැවත දැනුම් දීමක් කරනවා. ඔවුන් නොපැමිණිය හොත් සේවය සදහා වෙනත් පිරිසක් ලබාගෙන කම්හල වැඩ ආරම්භ කිරීමට සූදානම් කර ඇති බව පැවසීය.
 
(කුමාරි ගමගේ - ඉංගිරිය සමූහ)
 

නව අදහස දක්වන්න