09/11 ප්‍රහාරයට අදට වසර 16යි | දිනමිණ

09/11 ප්‍රහාරයට අදට වසර 16යි

අමෙරිකාවේ ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන ඉලක්කර එල්ල කෙරුණු සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට(11) වසර 16ක් සපිරේ.

2001 වසරේ අල්කයිඩා ත්‍රස්තවාදීන්, ගුවන් යානා 4ක් යොදා ගෙන එල්ල කළ ප්‍රහාරයෙන් 3,000ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

2001 වසරේ සැපැත්ම්බර් 11 වැනි දින සැලකෙන්නේ අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් එක්වූ දිනයක් ලෙසය. එදින උදෑසන 8.46ට අල්කයිඩා ත්‍රස්තවාදීන්, පැහැර ගැනුණු ගුවන් යානා දෙකක් මගින් නිව්යෝක්හි පිහිටි ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ උතුරු හා දකුණු කුළුණු මතට කඩා වැදී ප්‍රහාර එල්ල කරනු ලැබීය.

තට්ටු 110කින් සමන්විත දැවැන්ත ගොඩනැගිලි ද්විත්වය බිමට සමතලා වීමට ගත වූයේ පැය එක හමාරකටත් අඩු කාලයකි.

අමෙරිකානු ගුවන් සමාගමට අයත් තවත් යානයක් යොදා ගෙන තුන්වැනි ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ අමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය ලෙස සැලකෙන පෙන්ටගනට ය.

ධවල මන්දිරය බලා ගිය සිව්වැනි යානය පෙන්සිල්වේනියාවේ ශන්ක්ස්විලි ආසන්නයේ දී කඩා වැටුණි.

අමෙරිකා ඉතිහාසයේ එක්දිනක් තුළ සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය මෙය වේ.

අල්කයිඩා ත්‍රස්තවාදීන්ට එරෙහිව ගෝලීය යුද්ධයක් අමෙරිකාව ප්‍රකාශයට පත් කිරීමට මුල්වූයේ ද මෙම සැප්තැම්බර් 11 ප්‍රහාරයයි.

නව අදහස දක්වන්න