යහපත් සමරිතානුවෝ යහපත වපුරවති | දිනමිණ

යහපත් සමරිතානුවෝ යහපත වපුරවති

දිනක් එක්තරා විනයධරයෙක් ජේසුතුමා පරීක්ෂා කිරීම පිණිස ප්‍රශ්නයක් නැඟූවේය. සදාතන ජීවනය හිමි කර ගනු පිණිස මා කුමක් කළ යුතුදැයි ඔහුගේ ප්‍රශ්නය විය. එවිට ජේසු තුමා නැවත ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසීය. එවිට උන්වහන්සේ නැවත අසා සිටියේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත්තේ කුමක්ද යන්නයි.

“නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු වීර්යයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ සමිඳාණන් වහන්සේටත් නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුවෙන් ලියා ඇතැයි ඔහු උත්තර දුන්නේය. ඔහුගේ උත්තරය නිවැරදි බව කියා සිටි ජේසු තුමා කියා සිටියේ එලෙස කරන ලෙසය. එවිට ඔහු ජීවත් වන බවත්ය. එහෙත් ඔහු නැවත කතා කරමින් අසා සිටියේ තමාගේ අසල්වැසියා යනු කවරෙක්ද යන්නය. මෙකී ප්‍රශ්නයට එතුමා සිය පිළිතුරු පැහැදිලි කළේ, සමරිතානුවරයාගේ උපමාවෙන්ය.

එම උපමාව අදටත් මැනවින් ගැලපෙන බැවින් ඒ ගැන සටහනක් තබා මේ ලියවිල්ලේ ඉතිරිය සම්පූර්ණ කිරීම යෙහෙකැයි සිතේ.

එක් මිනිසෙක් ජෙරුසලමේ සිට ජෙරිකෝව බලා යමින් සිටියේය. අතරමදී සොරු පිරිසක් ඔහුට පහර දී ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන පළා ගියහ. ඔහු කෙතරම් පහර කෑමට ලක්වූවාද කියතොත් නැඟිට ඇවිද යෑමට ඔහුට නොහැකි විය. ඔහු පාර අද්දර වැටී සිටියේය. එතැනින් පූජකයකු ගමන් ගත්තේය. එහෙත් වැටී සිටි ඔහු ළඟට එන්නට පූජකයාගේ සිත නැමුණේ නැත. ඔහු පාරේ අනෙක් පසින් යන්නට ගියේය. එතැනින් ගිය ලෙවීයයෙක් ද පාරේ අනෙක් පසින් යන්නට ගියේය. ලෙවීයයකු යනුවෙන් හැඳින්වූයේ එරට සිටි නීතිවේදීන්ය. ඒ අනුව නීතිවේදියාටද ඔහු ළඟට එන්නට සිතක් පහළ නොවීය.

එතැනින් ගමන් කළ තවත් අයෙක් විය. ඔහු සමාරීය ජාතික මිනිසෙකි. එකල ජුදා ජාතිකයන් සමරිතානුවරුන්ට සැලකුවේ ඔවුන් පහත් ජන වර්ගයක් ලෙස සිතාගෙනය. එහෙත් මේ සමරිතානුවරයා වහාම වැටී හුන් මිනිසා ළඟට ගියේය. ඔහුගේ තුවාලවල තෙල් හා මිදියුෂ ගල්වා තුවාල වෙලා සිය මෘගයා පිට හිඳුවා ගෙන තානායම වෙත රැගෙන ගියේය. එදින රාත්‍රියේ මේ සමරිතානුවරයා ඉතා හොඳින් රෝගියා බලා ගත් අතර පසුදා තානායමේ හිමිකරු වෙත ගොස් රිදී කාසි දෙකක් ගෙවා කියා සිටියේ රෝගියාව හොඳින් බලා ගන්නා ලෙසය. ඔහු වෙනුවෙන් තවත් යම් වියදමක් කරන්නට වුවහොත් ඊළඟ වාරයේදී තමා ඒ මුදල ගෙවන බවටද ඔහු තානායම්කරුට පොරොන්දු විය.

මේ කතාන්දරය පැවසූ ජේසුතුමා විනයධරයාගෙන් අසා සිටියේ නියම අසල්වැසියා කවුද යන්නය. පහර කෑ අයට දයාව දැක්වූ තැනැත්තා යන්න විනයධරයාගේ පිළිතුර විය.

“ඔබත් ගොස් එසේම කරන්න” යැයි ජේසු තුමාගේ පිළිතුර විය.

අද දවසේ සමරිතානුවරයන්ගේ හිඟයක් ඇතැයි අපි කියමු. එසේ කියමින් නපුරු දුදනන්ගේම ක්‍රියා කලාපයන් ගැන පත්තර පිටු පුරවමින්, සියලු මාධ්‍යවලින් ඔවුන්ගේ විනාශයන් ගැන අඬබෙර ගසමින් සිටිමු. සියලු තැන ඇත්තේ අයහපතම යැයි කියමින් අප ලෝකය ගැන කලකිරෙමින් පසුතැවෙමින් සිටිමු. එහෙත් යහපත් සමරිතානුවරයන් අදද මේ සමාජයේද ලෝකය පුරාද සිටින බව කියන්නේ ඉමහත් සතුටිනි. අද සිට කිතුනු මිණ පිටුවේ එවැනි සමරිතානුවරයකු ගැන කතාන්දරයක් කීමට ඉඩක් වෙන් කරමි. ඔවුන් ලෝකයට සේවය කරන්නේ ප්‍රසිද්ධිය බලාගෙන නොවේ. එබැවින් ලෝකයට අණ බෙර ගසන අවස්ථාවාදීන් ගැන නොව දකුණතින් දෙන දෙය වමතට නොදැනෙන්න සේවය කරන නිශ්ශබ්ද සමරිතානුවන් ගැන මෙහි ලියැවේ. ඔවුන් සිය සේවය මෙලෙස ලියැවෙනවාය යන්න හෝ නොදන්නා අතර මේ සටහන් තබනුයේ එවැනි සමරිතානුවරයන් වෙන්නට අපටද ඇති හැකියාව ගැන කිරා මැන බලා ගැනීමටය. එමෙන්ම ඔවුන්ව ආදර්ශයට ගැනීමටය.

යහපත් සමරිතානුවරයන් ගැන මේ ලියන්නට යන පළමු කතාව මා සමඟ පවසා සිටියේ තේවත්ත බැසිලිකාවේ පාලනාධිපති වික්ටර් ජයමාන්න පියතුමාය. එතුමා කියූ යහපත් සමරිතානුවරයා ගැන වූ කතාවයි මේ.

ඔහු උස හීන්දෑරි පුද්ගලයෙකි. පොළොවට අව් රශ්මිය වැදෙන්නට ඉඩ නොදුන් මහා වෘක්ෂවල අතු ඉතිවල එල්ලී සිටි පත්‍රවලට යටින් ඔහු සෑම සති අන්තයකම බැසිලිකාවට ආවේ මඳ පවනට සැලෙන පත්‍රයක් සේ සන්සුන්වය. හඬ නඟා යදින මිනිසුන් පසුපසට වී ඔහු දෙවියන් දෙස බලා සිටියේය. හදවතින් ඔහු දෙවියන් ඇමතුවේ බොහෝ දෙනා යදින මේ යැදුම් ඔහුට කට පාඩම් නැති හෙයිනි. සැබැවින්ම ඔහු ක්‍රිස්තියානියේදී සිරසට වත්කරන ශුද්ධවූ දියෙන් තෙමී නොගත්තෙකි. පැහැදිලිවම කියන්නේ නම් ඔහු අන්‍යආගමිකයෙකි. එහෙත් ඔහු සිය ඇසි පිය නොහෙළා දෙවියන් දෙස බලා සිටියේ දෙවියන් ඔහු ඉදිරිපිට සිටින්නා සේය.

දේව මෙහෙය අවසන් වනවා සමඟම බැතිමතුන් විසිර ගියද ඔහු තව බොහෝ වේලා දේවස්ථානයේ රැදී සිටියේය. ඇතැම් විටෙක රුක් පත්‍ර සෙවණේ ඇවිද ගියේ භාවනාවක යෙදී සිටින්නා මෙනි. තවත් විටෙක ඇතැම් බැතිමතුන් පියතුමා සමඟ කරන කතා බහ ඔහුටද ඇසුණේය.

දිනක් පියතුමා අන් අය සමඟ කතා බහ කරමින් සිටියේ පියකුගේ රැකවරණය අහිමි අසරණ දරු පවුලක් පිළිබඳය; ඔවුන්ට කුඩා නිවෙසක් තනන ආකාරය පිළිබඳය; ඊට මුදල් එකතු කරගන්නා අන්දම පිළිබඳය.

එහි දළ වියදම රුපියල් ලක්ෂ දහයකි. මුදල් උපයන විවිධ මාර්ග පිළිබඳ ඔවුහු සාකච්ඡා කළහ. විවිධ තීරණවලට එළඹුණහ.

කාලවර්ණ හීන්දෑරි මිනිසා නිසොල්මන්ව සිටියේ මේ කිසිවක් නොඇසෙන පරිද්දෙනි. සියලු දෙනා විසිර ගිය පසු ඔහු පියතුමා පසුපස වැටුණේය.

“පියතුමෙනි,”

ඔහු පියතුමා ඇමතුවේය. පියතුමා හැරී බැලුවේය.

“මොකක්ද මහත්මයා වුවමනාව?” පියතුමා ඇසුවේය.

“පියතුමෙනි, සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් කියලා කියමනක් තියෙනවා නේද?”

“ඔව්.”

“සීසර්ගේ දේ කියන්නේ අපි සීසර්ට ගෙවන්න තිබුණ බද්ද. එතකොට දෙවියන්ට අපි දෙන්න ඕනේ මොනවද පියතුමෙනි.” ඔහු ඇසුවේය.

පියතුමා කල්පනා කළේය. උත්තරයක් නොදුන්නේය. ඒ වෙනුවට කල්පනා කළේය. අමුත්තාගේ ගැටලුව සැබැවින්ම එතුමා කල්පනාවකට තල්ලු කළේය. තමා සමඟ එන්නැයි එතුමා අමුත්තාට පැවසීය. ලැඟුම් ගෙයි ආලින්දයේ ඔවුහු වාඩි ගත්හ. අමුත්තා නැවත කතාව ආරම්භ කළේය.

“පියතුමෙනි, මට අවශ්‍යයි ඔබ වහන්සේලා හදන්න යන නිවෙසට ආධාර කරන්න.”

“ඇත්තටම ඒක ලොකු උදව්වක්. මේ ගෙදරට ලක්ෂ දහයක් වැය වෙනවා. ඔබට පුළුවන් මුදලක් එහෙම නම් අපට දෙන්න.”

“නෑ පියතුමෙනි, මම සම්පූර්ණයෙන් මේ මුදල දෙන්නම්.”

“ඔබ කරදර වෙන්න එපා. හැකි ප්‍රමාණයක් අපට දෙන්න. අප ඉතිරිය සොයා ගන්නම්.” යැයි පියතුමා නැවත කීය. එහෙත් මේ සඳහා සම්පූර්ණ මුදල තමමා ගෙවිය යුතු බව ඔහු කියා සිටි හෙයින් පියතුමා ඔහුට ඉඩ දුන්නේය.

පසුදා ඔහු පුරුදු පරිදි යෝධ රුක් පත්‍රවල සෙවණ යටින් සෙමින් සෙමින් ඇවිද ආවේය. ඔහු පියතුමා අත තැබුවේ රුපියල් ලක්ෂ 13ක මුදලකි. පියතුමා එය අත්සනකින් යුතුව බාර ගත්තේ විශ්වාසය තවදුරටත් රැකිය යුතු බැවිනි.

ඊළඟට ඔහු මෙසේ කීවේය.

“පියතුමෙනි, දෙවියන්ගේ කොටසයි මම ඔබ වහන්සේට දුන්නේ. අපි ජීවත්ව සිටින තුරු මිනිසුන්ට ආදරය කළ යුතුයි. උපකාර කළ යුතුයි. ඒක තමයි දෙවියන් වෙනුවෙන් අප වෙන් කරන කොටස වන්නේ.”

සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දෙවියන්ටත් වන්නේ එලෙසය. අන්‍යාගමිකයා අපට කියා දුන් පණිවුඩය එයයි.

සුමේධා නවරත්න 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...