පාප් තුමාගේ තීරණ යහපත උදෙසාය | දිනමිණ

පාප් තුමාගේ තීරණ යහපත උදෙසාය

මෙහි මුල් කොටස ගිය සතියේ පළවිය...

පාප්තුමාගේ දැක්ම සමාන වන්නේ ජේසු සමිඳුන් දේශනා කළ දේව රාජ්‍යය පිලිබඳ මාළු දැලේ උපමාවටයි. ධීවරයෝ මසුන් අල්ලන්නට මාදැලක් මුහුදට දමති. එම දැල ගොඩට අදින විට සෑම වර්ගයකම මාළු ඊට හසුවී සිටිති. දැල ගොඩට ඇදීමෙන් පසුව පමණක් ඔවුහු හොඳ මාළු නරක මාළුන්ගෙන් වෙන්කර ගනිති. (මතෙව් 13:47-50) මෙලෙස අවසානයේදී “හොඳ -නරක” මිනිසුන් ගැන විනිශ්චය කිරීම දෙවියන් වහන්සේට පමණක් අයත් කාර්යයක් බව ජේසු සමිඳාණෝ මෙම උපමාවෙන් කියා දුන්හ. සභාවේ දූත මෙහෙවර සියල්ලන් ඊට අන්තර්ග්‍රහණය කරගෙන සිය වන්දනා ගමනේ යෙදීමය.

මෙලෙස කතෝලික සභාව සියල්ලන් අන්තර්ග්‍රහණය කෙරෙන සභාවක් වීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ දැක්මයි. වාර්ගිකත්වය, ගෝත්‍රිකත්වය මතු නොව, ලිංගිකත්ව නැමියාවන් මත හෝ කිසිවකුට වෙනස් කම් නොකොට ඒ සියල්ලන් අන්තර්ග්‍රහණය කරගනිමින් එක්ව ගමන් කළ යුතුය යන්න එතුමන්ගේ අදහසයි.

එසේම කතෝලික නායකයන් සිය සමාජවල විවිධාකාර “තුවාල සුවපත් කිරීමට” පෙරමුණ ගන්නා සාමය ඇති කරන්නන් වනු දැක්ම එතුමා ගේ අපේක්ෂාවය. 2016 කෙන්යාවේ අපෝස්තලික සංචාරයේ දී එතුමා වාර්ගික, ජාතික හා ආගමික භේදය දුටුවේ “නපුරේ ආත්මය “ ලෙසය. ගෝත්‍රික වාදයට එරෙහි වීමේ සලකුණක් ලෙස සිය අත්වැල් අල්ලාගෙන පරමණ්ඩල යැදුම කියන්නැයි එතුමා එහි රැස්ව සිටි තරුණ තරුණියන් ගෙන් ඉල්ලා සිටියේය.

මෝල්ටාවේ නයිට්වරු

(The Knights of Malta)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෑතකදී ගත තවත් දැඩි තීරණයක් වූයේ ස්වාධීන සංවිධානයක් ලෙස සැලැකෙන පුරාණ කතෝලික සංවිධානයක් වන මොල්ටාවේ නයිට්වරුන් ගේ බලකාය (Nights of Malta) ප්‍රතිසංස්කරණයට පියවර ගැනීමයි.

එහි නායකත්වය තුළ අර්බුදයක් ඇති වූ අවස්ථාවේ ඒ පිළිබඳ විමර්ෂණයක් කිරීමට එතුමා පියවර ගත්විට එම සංවිධානයේ ආධ්‍යාත්මික මග පෙන්වීම පැවරී තිබූ කාදිනල් රේමන්ඩ් බර්ක් හිමි එය සුදොතුම් පියතුමන් සමඟ ගැටුමක් බවට පත් කර ගැනීමට උත්සාහ ගත්තේය. (කාදිනල් බර්ක් හිමි පාප් වහන්සේගේ දැඩි විවේචකයකු වන අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිටපු ප්‍රධාන උපායමාර්ගික උපදේශකයා වූ ස්ටීවන් බ්‍රැනන් හා එක්ව එතුමන් අස්ථාවර කිරීමට උත්සාහ කරන බවට ද ප්‍රවෘත්ති පලවෙමින් තිබිණි.)

අභියෝගයක් එල්ල වන විට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තුළ සිටින ‘ජේසු නිකායිකයා’ අවදිවන බව වතිකාන විචාරකයන් ගේ මතයයි. ජේසු නිකාය ආරම්භ කරන ලද්දේ 15 වැනි සියවසේ දී සභාව දීප්තිමත් කළ පුදැදුරුතුමකු වූ ශා. ඉග්නේෂස් ලොයොලා තුමන් විසිනි. පැවිදි බව වැළඳගන්නට පෙර එතුමා යුද හමුදා සෙබලෙක් විය.

මේ නිසා හමුදාවේ ඇතැම් වටිනාකම් එතුමා සිය නිකායට ද හඳුන්වා දුන්නේ ය. මෙයින් එකක් වන්නේ විනය හා කීකරුකමයි. මෙම පුහුණුවෙන් පන්නරය ලබා තිබූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෝල්ටාවේ නයිට්වරුන් ගේ බලකායට තාවකාලික නායකයකු පත්කළේය. ඔහු යටතේ නව අන්තර්වාර නායකයකු පත්කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීය. ඉන්පසු නව නායකයා යටතේ දැන් එම බලකායේ ප්‍රතිසංස්කරණ සිදුකෙරෙමින් පවතියි.

දෙවන වතිකාන කතිකා දූත මෙහෙවර

“ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ‘කදිම කෙනෙක්’ කියා සිතීම වැරැදියි” යැයි වතිකානයේ එතුමාට සමීප කෙනෙක් පැවසූහ. “එතුමා පැහැදිලි දූත මෙහෙවරක් තිබෙන රැඩිකල් කෙනෙක් “ ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සතුව එක් පැහැදිලි දූත මෙහෙවරක් ඇති බව පෙනෙන්නට තිබේ. එනම් දෙවන වතිකාන කතිකා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කොට තහවුරු කිරීමේ මෙහෙවරයි.

ශු. 23 වන ජුවාම් සුදොතුම් පියතුමන් විසින් ආරම්භ කරන ලද දෙවන වතිකාන කතිකාව පරිසමාප්තියට පත් කරන ලද්දේ එතුමන් ගෙන් පසු රෝමයේ රදගුරු තුමන් වූ භා. සවැනි පාවුළු සුදොතුම් පියතුමන් විසිනි.

ශුද්ධාත්ම ආලෝකයෙන් සභාව රැඩිකල් වෙනසකට ලක් කළ දෙවන වතිකාන කතිකාව සභාවේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. එහෙත් මෙම කතිකාව පැවැත්වෙද්දී සේ ම එහි තීරණ ක්‍රියාත්මක කිරීමට යාමේදී ද භා. සවැනි පාවුළු සුදොතුම් පියතුමන්ට විවිධ බාධක හා විවේචනවලට මුහුණ සිදුවිය. එහෙත් ඒවායින් සැලුණේ එතුමා නොවේ.

දැන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කරමින් සිටින්නේ එම කතිකාව අනුව සභාව ප්‍රතිසංස්කරණයට යොමු කිරීමයි. එනම්, එම කතිකාවෙන් ඇති වූ රැඩිකල් වෙනස්කම් තහවුරු කිරීමේ දූත මෙහෙවරයි.

එහෙත් මෙම ප්‍රයත්නයේදී එදා භා. සවැනි පාවුළු පාප් වහන්සේට සේම, (ඇත්තෙන් ම එතුමන්ටත් වඩා වැඩියෙන්), ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට දැඩි බාධා හා විවේචන වලට මුහුණ දීමට සිදුවී තිබේ. මෙම විරෝධතා එල්ල වන්නේ සභාවේ අති දක්ෂිනාංශික සහ දැඩි සම්ප්‍රදාය මතවාදී කඳවුරෙනි. එහෙත් ඒවායින් සුදොතුම් පියතුමා සැලෙන බවක් නොපෙනේ. මඳ වේගයෙන් නමුත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගමන් කරමින් තිබේ. කතෝලික සභාව බඳු අති සාම්ප්‍රදායික ආයතනයක් කඩිමුඩියේ ප්‍රතිසංස්කරණවලට යොමු කිරීමට යාම ප්‍රඥාවන්ත නොවන බව එතුමා නොදන්නවා නොවේ.

දෙවන වතිකාන කතිකා ප්‍රතිසංස්කරණවල කැපී පෙනෙන ප්‍රතිසංස්කරණයක් වුයේ ජනවන්දනාව (දිව්‍ය පූජාව ) ජනතාවට අවබෝධ කරගත හැකි සහ ඔවුනට සහභාගී විය හැකි, ඔවුන් ගේ ආධ්‍යාත්මයට දැනෙන ආකාරයේ ප්‍රතිසංස්කරණයකට යොමු කිරීමයි. දැන් එයින් වසර 50 කට පසුව එම ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමට දැඩි සම්ප්‍රදාය මතවාදී කොටසක් උත්සාහ දරමින් සිටියි. එහි පෙරමුණේ සිටින්නේ ජනවන්දනාව පිලිබඳ ශුද්ධාසන කොමිසමේ සභාපති කාදිනල් හිමිපාණෝය. “ප්‍රතිසංස්කරණවල ප්‍රතිසංසකරණ’ සිදුවිය යුතු බවට මතයක් එතුමා ගෙනයමින් සිටියි.

ඉකුත් සතියේ වතිකානයේ පැවති රෝම ජනවන්දනා කමිටු රැස්වීමකදී “දෙවන වතිකාන කතිකාවෙන් ඇති කරන ලද ප්‍රතිසංස්කරණ යළිත් ආපසු හැරවිය නොහැකියි” යයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.(මේ ගැන තොරතුරු පසුව ගෙන එනු ලැබේ.)

මේ අතරම සභාව වඩාත් ජනතා කේන්ද්‍රීය ආයතනයක් බවට පත්කිරීම සඳහා සහ මෙතෙක් රෝම කියුරියාවට පමණක් පැවරී තිබූ බලතල එක් එක් රටවල සභාවලට විමධ්‍ය ගත කිරීම සඳහාත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වෙහෙස දරමින් සිටියි. කාදිනල් වරුන් අට නම ගේ කණ්ඩායමේ විමර්ශන හා උපදෙස් ඔස්සේ එතුමා උත්සාහ කරන්නේ මේ ඉලක්කය වෙත ළඟා වීමටය. මෙවැනි පුළුල් ප්‍රතිසංස්කරණවලට අත තබන ඕනෑම නායකයකු සතුව මෘදු ළතෙත් ගුණය සේම අවශ්‍ය වූ විට දැඩි තීරණ ගත හැකි අධිෂ්ඨානශීලී බව ද තිබිය යුතු ය.ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් භාවිත කරන්නේ එම ගුණයන් ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට ඔබගේ යාච්ඥා බලය වඩ වඩාත් අවශ්‍ය වන්නේ මෙම බාධා නොතකා දෙවි සමිඳුන් එතුමනට පැවරූ දූත මෙහෙවර ඉටු කිරීම සඳහාය.

(National Catholic Reporter පුවත් පතට ක්‍රිස්ටෝපර් ලෑම් විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි).

සමන් කපිල විජේසූරිය


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...