“සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” නිර්මාතෘ ඉමැක්‍යුලේට් සොහොයුරියට උපහාර | දිනමිණ

“සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” නිර්මාතෘ ඉමැක්‍යුලේට් සොහොයුරියට උපහාර

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ප්‍රථම සිංහල විදුහල්පතිනිය වූ ද, රෝමයේ, වතිකානුවේ ආසියානු කොන්සල්වරිය ලෙස වසර ගණනක් සේවය කළාවූ ද ඉමැක්‍යුලේට් ද අල්විස් කන්‍යා සොයුරුතුමිය ඉතා දීර්ඝ කාලයක් වැලිකඩ සිරකරු සුබසාධක සංගමය ක්‍රියා කිරීමෙන් පසු පසුගිය දා සමාජ කාර්යයන් වෙතින් ඉවත්වී විශ්‍රාම සුවයෙන් සිටීමට නිල කන්‍යාරාමය වෙත පියනැඟුවාය.

එතුමිය විසින් පුරා දශක දෙකක පමණ කාලයක් සිරකරුවන්ගේ අධ්‍යාපන හා අධ්‍යාත්මික ගුණවගාවන් වැඩිදියුණු කිරීමට ද, සිරකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීමට පූර්ණ කාලීනව ඉටු කරන ලද අමිල මෙහෙවර ඇගයීම පිණිස විශේෂ පූජාවක් හා උපහාර පිදීමේ උත්සවයක් වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතාගේ සංවිධානත්වයෙන් 2017 අගෝස්තු මස 26 වන සෙනසුරාදා පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයේ දී සිදු කරන ලදී.

මේ උත්සවය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ඉමැක්‍යුලේට් ද අල්විස් කන්‍යා සොයුරුතුමිය හා ඇගේ අනුප්‍රාප්තික දම්මි ප්‍රනාන්දු සොහොයුරිය ද, වැලිකඩ සිරකරු සුබසාධක සංගමයේ සභාපති කාංචන සිංහාරගේ මහතා ඇතුළු නිලධාරීන් ද සංගමයේ සම්පත් දායකවරුන්ගේ ද ශිෂ්‍යාධාර ලබමින් සිටින සිරකරුවන්ගේ දරුවන් සහ වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවියෝ ද එම අවස්ථාවයට සහභාගි වූහ.

එහි දී එතුමිය විසින් දැඩි කැපවීමෙන් කරන ලද ආදර්ශවත් සමාජ සද්කාර්ය ඇගයීමට ලක් කළ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, සිදු කරන ලද අපරාධයක ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයන් සිරගත වීම සිදු වන අතර එසේ සිරගතවීම තුළ නීතිය ඉදිරියේ කිසිදු වරදක් නොකරන ලද එහෙත් සිරගතවූවන්ගේ දරුවන් වීම හේතුවෙන් අධ්‍යාපනය අතහැර දමන්නට සිදුවීම අභාග්‍යසම්පන්න තත්ත්වයක් බවය. එම තත්ත්වය සමාජයේ අවම අවධානයකට පත්ව තිබිය දී එතුමිය 1999 වසරෙහි වැලිකඩ සිරකරු සුබසාධක සංගමය හා සම්බන්ධවීමත් සමඟ සිරකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට ඉදිරිපත් වෙමින් අධ්‍යාපනය කඩා වැටෙමින් තිබූ දරුවන් 43 දෙනකු තෝරාගෙන එක් අයෙකුට රු. 500බැගින් මාස් පතා ශිෂ්‍යාධාර දීමනාවක් ද, වර්ෂයට අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ ද අඛණ්ඩව ලබා දීම 2001 වසරේ දී ආරම්භ කරන ලද බවත් කීය.

මෙතරම් සේවයක් කළ එතුමියට මහත් සේ ස්තුතිවන්ත වන බවත් එතුමියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. 

නව අදහස දක්වන්න