මුඩුක්කුවේ සාන්තුවරිය තෙරේසා මවුතුමිය | දිනමිණ

මුඩුක්කුවේ සාන්තුවරිය තෙරේසා මවුතුමිය

තෙරේසා මවුතුමියගේ 20 වැනි අනුස්මරණ දිනය පසුගිය 5වැනිදාට යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

යොවුන් වියට පැමිණීමත් සමඟ සාමාන්‍යයෙන් යුවතියක් හිතන්නේ පතන්නේ, හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමටයි. ඊළඟට හොඳ රස්සාවක් හොයා ගැනීමත් ඒ අයගේ අරමුණක්. නොයෙකුත් විලාසිතාවන්ට ඇළුම් කරන බොහෝ යුවතියන් නිරතුරුවම ඇඳුම්පැළඳුම් ගැනීමටත්, විනෝද වීමටත්, ගමන්බිමන් යෑමටත් , කෑම බීමවල රස බැලීමට උනන්දු වෙන්නෙත් හරිම ආසාවෙන්.

වර්තමානයේ විතරක් නෙමෙයි ඈත අතීතයේ පටන් ම යොවුන් වියට එළඹුණු බොහෝ යුවතියන් තමන්ගේ රූසපුව අලංකාර කර ගැනීමට සැලකිලිමත් වීමත් සාමාන්‍ය දෙයක්. ඒ විතරක් ද මේ වෙනකොට, නව යොවුන් වියට පා තැබීමටත් මත්තෙන් බොහෝ යුවතියන් ඉහළ වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් ළඟ තබා ගන්නත් දෙපාරක් හිතන්නේ නෑ. ආදරය ලබන්නත්, ආදරය විඳින්නත් බොහෝ දෙනෙක් වැඩි කැමැත්තක් දක්වන්නෙත් යොවුන් වියේදි වීම තවත් විශේෂයක්.

ඒත් එදා යොවුන් වියට එළඹීමටත් ප්‍රථම ඇග්නස්ට නම් එවැනි සිතිවිලි කිසිවක් තමන්ගේ සිතේ පහළ වුණේ නෑ. ඇයට තිබුණේ එකම අරමුණයි. ඒ පල්ලියට සම්බන්ධ වී එහි ආවතේව කටයුතු කිරීමයි. තමන්ගේ ජීවිත කාලය ආගමානුකූලව ගත කිරීමට වඩාත් ප්‍රිය කළ ඇග්නස්, නිරතුරුවම පල්ලියට ගොස් එහිදී නොයෙකුත් වතාවත්වල යෙදී ඇත්තේ වයස අවුරුදු 03 දී පමණ සිටියි. වයස අවුරුදු 08 දී, තම පියා අහිමි වන කුඩා ඇග්නස්ට පහළ වන්නේ පූජනීය හදවතක්. එවැනි හදවතක් ඇයට පල්ලිය ආශ්‍රිතව ආගමික වතාවත්වල යෙදීමට දැඩි ලෙස සිත උනන්දු කළා. ඒවාගේම ඇයට ඇති වූ තවත් ආශාවක් තමයි; ජනතාවට කිසියම් සේවයක් සිදු කිරීම.

ඇය ඒ පිළිබඳව හිතන්න පටන් ගන්නකොට ඇයට වයස අවුරුදු 12යි. එම සිතුවිල්ලට අනුව ඇය පූර්ණකාලීනවම පල්ලියට සම්බන්ධ වීමට උත්සහ කළත්, ඊට හරස් වන්නේ ඇයගේ වයසයි. ඒත් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරයේ පණිවිඩය ප්‍රචාරය කිරීමේ අවස්ථාව උදාකර ගන්නා ඇය, පූර්ණකාලීනව පල්ලියට සම්බන්ධ වීමේ අරමුණින් බැහැර වෙන්නේ නම් නෑ. කෙසේ වෙතත් ඇග්නස්ට වයස අවුරුදු 18 දී, ඩබ්ලින් නුවර ශුද්ධ වූ කන්‍යා මරියතුමියගේ දේවස්ථානයට සම්බන්ධ වීමට හැකිවීම ඇය ලද භාග්‍යයක්.

ඇග්නස් ගොන්ක්ෂා බොජැක්සිහියුට කියන්නේ ජීවමාන සාන්තුවරිය, මුඩුක්කු කානුවේ සාන්තුවරිය, කරුණාවේ දේවතාවිය, පැල්පත් සාන්තුවරිය මෙන්ම අපායේ දෙව් දුව යන නාමයන්ගෙන් ආමන්ත්‍රණය කළ ශුද්ධ වූ තෙරේසා මව්තුමියටයි. එතුමියට තෙරේසා යන නාමය පටබැ‍ඳෙන්නේ පල්ලියට සම්බන්ධවීමත් සමඟයි.

“කුසේ ඉන්නා දරුවන් මරා දැමීමට තරම් මව්වරුන් දරුණු වන්නේ නම්, ලෝකයේ මිනිස් ඝාතන තුරන් කරන්නේ කෙසේ ද? නුඹලාට දරුවන් එපා නම් ඔවුන් මට දීපල්ලා...” ගබ්සා කිරීමට තදින්ම විරුද්ධ වූ තෙරේසා මව්තුමිය වරක් ඉන්දියාවේ කල්කටා නුවරදී පැවසූ වදන් පෙළකි.

මෙලොව එළිය දැකීමට අවස්ථාවක් නොලද බිළිඳුන්, අහිංසක දුගී දුප්පත් දරුවන්, මහලු වියට පැමිණ කාගේ හෝ හවුහරණක් නොලද අසරණයන්, ලෙඩදුක් වලින් වේදනාවට පත්වූවන් මෙන්ම විවිධ හේතූන් මත තම දරුගැබ විනාශ කර ගැනීමට යන කාන්තාවන්ට ඇයගෙන් ලද පිහිට නිමක් නොවී ය. ඉන්දියාවේ කල්කටා නුවර මුඩුක්කු පේලි දිගේ ගමන් කරමින් දුගී දුප්පතුන්ට පිළිසරණක් වූ ඇය, විළි වසා ගැනීමමටවත් ඇඳුමක් නොමැති සොටු පෙරාගත් මුහුණ නොසේදූ දූ දරුවන් ගෙනැවිත් ඔවුන්ට නිසි මග පෙන්වීමට ඉදිරිපත් වූයේ, සිය හදවතේ නැගුණු මානව දයාවේ මහිමය නිසාම ය.

 ආහාර වේලක් නොමැතිකමින් හටගත් කුසගින්නට වඩා, මානව දයාව නොමැතිකමින් හටගත් කුසගින්නෙන් දැවෙන දූ දරුවන්ට වැඩි වැඩියෙන් ආදරය හා කරුණාව ලැබිය යුතු බව තේරුම්ගත් එතුමිය ඔවුන් වෙත තම සෙනෙහසේ දෑත් දිගු කළා ය. මෙම් අනුව වර්ෂ 1950 ඔක්තෝම්බර් මාසයේ 07 වන දින දයාවේ මිෂනාරින් (Missionaries of Charity)නම් අසරණ සරණ ධර්ම දූත සංගමයේ මූලස්ථානය ආරම්භ කිරීමට පුරෝගාමී වූ එතුමිය ලෝක ප්‍රජාවගේ අවධානය දිනාගත් විශිෂ්ට ගණයේ මාතාවක් බවට පත් වූවා ය.

අනුෂාද් වෙදගේ

නව අදහස දක්වන්න