පාරිභෝගික අධිකාරියේ සුදුසුකම් ඉල්ලුවා මාස පහක් ගියත් උත්තරයක් නැහැ | දිනමිණ

පාරිභෝගික අධිකාරියේ සුදුසුකම් ඉල්ලුවා මාස පහක් ගියත් උත්තරයක් නැහැ

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා එහා ඉවුරට කැඳවීමට ආසන්නම හේතුව වූයේ පොලිතීන් තහනම හේතුවෙන් බත් පැකැට්ටුවේ මිල රුපියල් දහයකින් ඉහළ දමන බවට හෝටල් හිමියන් කීමයි. බදු ඉහළ දැමූ සැණින් මිල ඉහළ දමන වෙළෙන්දන් බදු අඩු කළ විට ජනතාවට සහන නොදීම, ආණ්ඩුවේ මිල පාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවන්නට හේතු, බඩුමිල සම්බන්ධයෙන් ජනතාවට කළ හැකි මැදිහත්වීම, රංජිත් විතානගේ මහතා පැහැදිලි කරන්නේ මෙසේ ය.

 දිනෙන් දින ඉහළ යන බඩු මිල සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව මැසිවිලි නඟනවා. රජය භාණ්ඩ මිල ගණන් අඩු කර ඇති බවත් එය ජනතාවට නොලැබෙන බවත් සඳහන්. ඔබ සංවිධානය මේ සම්බන්ධයෙන් දරන මතය කුමක්ද?

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා නොකළ අවදියක අපි ඔවුන් වෙනුවෙන් කතා කරන්න පාරිභෝගිකයන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කළා. මේ රටේ පාරිභෝගිකයන් මුහුණ දෙන ගැටලු රාශියක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න සිදු වෙලා තියෙන්නේ විශාල ව්‍යාපාර හා පවතින රජයත් එක්ක. ඒ නිසා තමයි 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පනත යටතේ ලියාපදිංචි කරලා අපේ සංවිධානය පිහිටුවා ගත්තේ. අපේ අරමුණ වන්නේ පාරිභෝගිකයන්ට යම් අසාධාරණයක් සිදු වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටීම පාරිභෝගිකයන්ට විරුද්ධව යම් නීතියක් ගෙන එන්නට උත්සාහ කරනවා නම් එතැනදිත් අපි ඉදිරිපත් වෙනවා.

පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න ඔබ සංගමය මැදිහත් වීමක් කර තියෙනවාද?

පාරිභෝගිකයන් සම්බන්ධයෙන් අහිතකර විදිහට රජය කටයුතු කරනවා නම් අපි රජයට කරුණු ඉදිරිපත් කරනවා. එතැනින් ඒ තත්ත්වය සමතයකට පත් කර ගන්න බැරි වුණොත්, උද්ඝෝෂණ ව්‍යාපාර, විරෝධතා ව්‍යාපාර දක්වා අපිට යන්න සිදු වෙනවා. ඒ වගේම සියලුම පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරනවා. භාණ්ඩවල සහන මිල ගණන් පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් නෑ. ඒවගේම තමන්ට අසාධාරණයක් වුණාම කොහොමද කටයුතු කරන්නේ කියලා ඔවුන් දන්නේ නෑ. මේ කාරණා නිසා තමයි දිවයින පුරා දේශනමාලා සංවිධානය කරගෙන යන්නේ.

රජය යම් භාණ්ඩයක මිල වැඩි කිරීමේ දී ක්ෂණයකින් එය වැඩි කරන ව්‍යාපාරිකයන් භාණ්ඩයක මිල අඩු කළ විට අඩු කිරීමට මැලිකමක් දක්වන්නේ යැයි චෝදනාවක් එල්ල වෙනවා?

මිල වැඩි කිරීමේ දී මධ්‍යම රාත්‍රියේ ඉදලම වැඩි වෙනවා. ඒත් අඩු කළාම ඒක වෙන්නෙ නෑ. ඒක අපේ රටට ආවේණික දෙයක්. එතකොට ව්‍යාපාරිකයන් කියනවා අපි තොග පවත්වාගෙන යනවා කියලා. ඒ කාරණය කිසිසේත්ම සාධාරණ නෑ. මේ වගේ කාරණයකදි පාරිභෝගිකයෝ මෙන්ම බස් මගීන්, රෝගීන් දැනුවත් වෙලා ඉන්නවා නම් තමන්ට තමන් වෙනුවෙන් සටන් කරන්න පුළුවන්. ව්‍යාපාරයක් විදිහට හැම වෙලාවෙම අපි මේවාට එරෙහිව පෙනී ඉන්නවා. දැන් පාරිභෝගිකයන් මේ කාරණා පිළිබඳ දැනුවත් වෙලා ඉන්න නිසා අපි පාරිභෝගිකයන් එක්ක එකතු වෙලා සිදුවන අකටයුතුකම් වළක්වා ගන්න උපරිම මැදිහත් වීමක් කරනවා.

භාණ්ඩ මිල වෙනස් වීම පිළිබඳ නියාමනය කරන්න තියෙන ආයතන මේ කාරණා සම්බන්ධයෙන් මැදිහත් වෙනවාද?

මේක තමයි තියෙන විශාලතම ගැටලුව. යම් පාරිභෝගිකයකු තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට ගිහින් පැමිණිලි කළාම, ඒක විභාග කරන්න වසර ගණනාවක් ගන්නවා. පසුගිය කාලයේ එක් පැමිණිල්ලක් විභාග කරන්න වසර හතරක පමණ කාලයක් ගත කළා. ඒ නිසා ජනතාවට ඒ ආයතනය පිළිබඳ විශ්වාසයක් නෑ. මේ ආයතන අභ්‍යන්තරයේ ගැටලු තියෙන්න පුළුවන්. ඒත් අපි කියන්නේ ඒ සියල්ල විසඳාගෙන පාරිභෝගික පැමිණිලි කාර්යය පටිපාටිය ඉක්මන් කළ යුතුයි කියලයි.

භාණ්ඩ හා සේවා මත පනවා ඇති බදු බර අඩු කිරීමට රජය පියවරගෙන තිබුණත් ඒ සහනය ජනතාවට නොලැබෙන්නේ අතරමැදි ව්‍යාපාරිකයන් නිසා යැයි චෝදනාවක් එල්ල වෙනවා?

සහල්, එළවළු, වී කියන ව්‍යාපාරවල මේ අසාධාරණය සිදු වෙනවා වගේම, සෑම ව්‍යාපාරයකම වගේ මේ කාරණය දකින්න ලැබෙනවා. අපි කියන්නේ මේ සම්බන්ධයෙන් තියෙන ආයතන ක්‍රියාත්මක වෙන්න ඕන. අනෙක් කාරණය තමයි රජය විසින් ලබා දෙන මේ සහන පිළිබඳ ජනතාව දැනුවත් කරන්න ඕන. ඒ දැනුවත් කිරීම රජයෙන් වෙන්නේ නෑ. ඒක අපි දකින්නේ පවතින රජයේ දුර්වලකමක් විදිහටයි. ඒ වගේම වැටලීම් කරලා, විද්වත් කමිටුවක් දාලා, මේ ව්‍යාපාරිකයනුත් එකතුකරලා යාන්ත්‍රණයක් හදන්න ඕන. එහෙම කරලා මේ ගසා කෑම නවත්තන්න රජය උත්සාහ කරන්න ඕන.

පාලන මිලක් නියම කර තිබුණත් ඒ සම්බන්ධයෙනුත් ගැටලු මතුවන අවස්ථා තිබෙනවා. එකම භාණ්ඩයට නගරයේ එක මිලක්, ගමේ තව මිලක්. එහෙම වෙන්නෙ ඇයි?

පාලන මිල ක්‍රියාත්මක කරන්න බැරි ප්‍රධාන ගැටලුව තමයි, අද වෙනකොට මේ රටේ පාරිභෝගික අධිකාරිය අකර්මන්‍ය වීම. භාණ්ඩවලට පනවා තිබූ පාලන මිල දැන් ඉවත් කරලයි තියෙන්නේ. එහෙම පාලන මිල ඉවත් කරන්න සිදු වුණේ පාරිභෝගික අධිකාරියේ ඇති නොහැකියාව නිසයි. ඒ ආයතනයේ වැටලීම් කරන්න ඉන්න පිරිස සුළු ප්‍රමාණයක්. අද වෙනකොට සුදුසුකම් නොමැති පුද්ගලයෝ පාරිභෝගික කටයුතු අධිකාරිය මෙහෙයවනවා. ඒ නිසා ගැටලු රැසක් මතු වෙලා තියෙනවා. අපි කියන්නේ සුදුසුකම් සහිත පුද්ගලයන් බඳවාගෙන ඒ අධිකාරිය තව තවත් ශක්තිමත් කරන්න ඕන කියන එකයි.

පාරිභෝගික අධිකාරියේ සුදුසුකම් නොමැති පුද්ගලයන් ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න බැරිද?

මේ රටේ වැඩියෙන්ම ඉන්නේ පාරිභෝගිකයෝ. සියලු ජනතාව පාරිභෝගිකයෝ. එවැනි පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න ඉන්න අධිකාරිය වඩාත් ශක්තිමත් විය යුතුයි. පනතේ සඳහන් වන සුදුසුකම් අද ඉන්න අයට නෑ කියලා අපට සැකයක් තියෙනවා. අපි තොරතුරු පනත අනුව ඔවුන්ගේ සුදුසුකම මොකක්ද කියලා ඇහුවාම මාස පහක් ගිහිල්ලත් ඒ තොරතුර අපට ලැබුණේ නෑ. පනතේ සඳහන් වෙන්නේ ගණිතය, විද්‍යාව හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයකින් ප්‍රවීණයෝ මේ සඳහා ඇතුළත් විය යුතුයි කියලයි. එහෙම නොවුණාම මේ ආයතනය පිරිහෙනවා. ජනතාව ඔවුන්ගේ සුදුසුකම් මොනව ද කියලා ඇහුවම කියන්න පුළුවන් වෙන්න ඕන. අපිට මේ තොරතුරු ලබා නොදුන්නොත් අධිකරණය දක්වා ගිහින් හරි බලපෑම් කරනවා.

පොලිතීන් තහනමත් එක්ක බත් පැකට් එකේ මිලත් ඉහළ දමන්න යනවා. එය අසාධාරණයි කියලා මහජනතාව පෙන්වා දෙනවා?

ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ සිරිතක් තමයි මොනවා හරි වැඩි වෙලා කියපු ගමන් මිල වැඩි කරන එක. සාධාරණ සමාජයක යම් භාණ්ඩයක මිල වැඩි වෙන්න යම් හේතුවක් තියෙන්න ඕන. රජය 1948න් පස්සෙ ගත්තු හොඳ තීරණයක් තමයි පොලිතීන් තහනම් කිරීම. අපි ඒකට සහයෝගය දක්වනවා. මෙතැන ගැටලුව තමයි මධ්‍යම පරිසර අධිකාරිය මෙය ක්‍රියාත්මක කළේ රජය අපහසුතාවයට ලක්වන අකාරයටයි. මෙහෙම කළාම විශාල පිරිසක් අපහසුතාවයට ලක් වෙනවා. මේ ගැටලුව ආපනශාලා හිමියන්ටත් එනවා. පොලිතීන් ගන්න තැනක් නැති වුණාම වැඩි මිලට ගන්න වෙනවා. එතකොට මිල ඉහළ දාන්න වෙනවා. කොහොම වුණත්, මේ වෙලාවේ කෑම මිල වැඩි කිරීම ප්‍රශ්නයක්. ව්‍යාපාරිකයන්ටත් විකල්ප හඳුනාගන්න ටික කාලයක් ගත වෙයි.

ඔබ කියන සුදුසු විකල්ප යෝජනා කර තිබෙනවා ද?

1958 දී කැලිෆෝනියාව පොලිතීන් නිෂ්පාදන හඳුන්වා දුන්නා. ඉන් පසු එය ලෝකය පුරා ව්‍යාප්ත වුණා. විවෘත ආර්ථිකයෙන් පස්සේ අපේ රටටත් ආවා. එතකොට අපි භාවිතා කරමින් හිටියේ පන් මල්ල, කෙසෙල් කොළේ, නෙළුම් කොළේ ඒවාට විකල්පයක් විදිහට තමයි පොලිතීන් ගෙනාවේ. මේවා එනකොට අපේ තිබුණ පන් කර්මාන්ත ශාලා වගේ දේවල් අහිමි වෙලා ගියා. අද නවීන තාක්ෂණයත් රටට ඇවිත් තියෙන නිසා අහිමි වෙලා ගිය කර්මාන්ත නැවත ඇති කරගන්න පුළුවන්. රජයේ වගකීම තමයි මේ ව්‍යාපාර හා කර්මාන්තවලට බදු සහන දීම. මේ ගැටලුව විසඳගන්න නොහැකිව හැමෝම කැලඹිලා ඉන්නෙ. මේ ගැටලුව විසඳගන්න ටික කාලයක් අවශ්‍යයි. ඊට පස්සේ ක්‍රමයෙන් විකල්ප කෙරේ ජනතාව යොමු කරන්න පුළුවන්.

රජය, ව්‍යාපාරිකයෝ, නිෂ්පාදකයෝ සියල්ලෝම විකල්පයට ගිහින් ගැටලු නිරාකරණය කරගත්තත් ජනතාවගේ ගැටලුව නොවිසඳෙන ජනතා මතය?

අපි කියන්නේ පොලිතීන් කර්මාන්තය තුළ හිටපු දේශීය අයෝජකයන්ට බදු සහනයක් දෙන්න ඕන. ඒ අයට කඩදාසි බෑග්, කෙසෙල් කොළ වගේ දේවල් අරන් නිෂ්පාදන කරන්න, රජය කර්මාන්ත අමාත්‍යාංශය හරහා දිරිගන්වන්න ඕන. එහෙම ටික කාලයක් ගත වෙනකොට මේ විකල්ප කෙරේ ජනතාව හුරු වෙයි. එතකොට ව්‍යාපාරිකයන් අනවශ්‍ය මිල ඉහළ දැමීමකට යන එකක් නෑ. මේ කාල සීමාව තුළ ජනතාවගෙන් ආණ්ඩුවත්, ව්‍යාපාරිකයනුත් බැණුම් අහයි. ඒ නිසා ඉතා ඉක්මනින් මේ ක්‍රියාවලිය විධිමත් කරන්න රජය කටයුතු කළ යුතුයි. එවිට ජනතාවට අනවශ්‍ය බරක් පැටවෙන එකක් නෑ.

දුරගමන් සේවා සපයන බස් රථ නවත්වන ආපනශාලාවල ඇති ආහාර මිල ගණන් සාමාන්‍ය මිල ගණන් මෙන් දෙගුණයක් පමණ වෙනවා. ජනතාවට ඊට විකල්පයක් තියෙනවාද?

මේ සම්බන්ධයෙන් අපි ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා. එතුමා අපිට පොරොන්දු වුණා එහි ප්‍රමිතිය සොයා බලන බව. තවමත් ඒ ප්‍රමිතිය සොයා බැලූ බවක් පේන්න නෑ. අපි බලාපොරොත්තු වෙනවා රජයේ පාර්ශ්වයෙන් එවැනි ආපන ශාලාවල කැසිකිළි, වැසිකිළි පහසුකම්, ආහාරවල තත්ත්වය හා සාධාරණ මිල ගණන් සම්බන්ධයෙන් සොයා බලයි කියලා. මේක විශාල ගැටලුවක් බව මම පිළිගන්නවා. මේ ගමනා ගමන කොමිෂන් සභාවත්, ප්‍රවාහන අමාත්‍යාංශයත්, පාරිභෝගික අධිකාරියත්, සෞඛ්‍ය අංශයත් ඒකාබද්ධ කරගෙන සාර්ථක වැඩපිළිවෙළක් ගොඩනඟන්න ඕන.

සෞඛ්‍ය ක්ෂේත්‍ර පෙන්වා දෙන ආකාරයට මහජනතාවගේ සෞඛ්‍ය පිරිහෙන්න ක්ෂණික ආහාර බලපා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් කර තිබේද?

1980 ආහාර පනතේ මෙරට ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් නීති රීති තිබුණා. මේ නීති රීති ගැන නිෂ්පාදන ව්‍යාපාරිකයෝ දන්නෙත් නෑ, පාරිභෝගිකයෝ දන්නෙත් නෑ. මේ නීති ක්‍රියාත්මක කරන්න ඕන. තහනම් වර්ණක මොනවා ද, රසායන අඩංගු කළ යුතු ප්‍රමාණ කවරේ ද කියන එක පනතේ තියෙනවා. අද ප්‍රශ්නය තියෙන්නේ මේ මිශ්‍රණය පිළිබඳ කවුරුත් දැනුවත් නෑ. මේ දැනුවත් වීම මහජන පරීක්ෂකවරුන් හරහා කෙරෙන්න ඕන.

ආහාරවල අඩංගු රසායනික ප්‍රමාණයන් මැන බැලීම, ආපන ශාලා නියාමනය හරියට කෙරෙනවා ද?

මේ බලය තියෙන්නේ මහජන පරීක්ෂකවරුන්ට හා පළාත් පාලන ආයතනවලට. ලංකාව වැනි රටක රජයේ සේවකයන්ගෙන් නිවැරැදි සේවයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ප්‍රමාණාත්මකව ඔවුන්ගේ කාර්යය කෙරෙන බවක් පේනවා. අපි ඔවුන් සමඟ සාකච්ඡා කළාම ඔවුන් කතා කරන්නේ ඔවුන්ගේ වෘත්තීය ප්‍රශ්න. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වැටලීම් ඒකක බිහි කරන්න ඕන. එවැනි ඒකක දිවයින පුරා ව්‍යාප්ත කරන්න ඕන. අද වෙන කොට ගෙවල්වලත් සතුන් මරලා අලෙවි කරනවා. මේ වගේ ගැටලු රාශියක් මතු වෙලා තියෙනවා. අද පළාත් පාලන ආයතන මේවා ගැන සොයා බැලීමක් කරන්නේ නෑ. එදා අපි ගිහින් ඔය ආයතනත් එක්ක කතා කරලා ගැටලු නිරාකරණය කරගත්තා. ඒ නිසා ඉක්මනින් පළාත් පාලන මැතිවරණය තියන්න කියලත් බලපෑම් කරන්න වෙනවා.

පළාත් පාලන ආයතනවලින් මේ වැඩේ කෙරෙන්නේ නැත්නම්, මධ්‍යම රජයට මේ ගැන හොයා බලන්න හැකියාවක් නැද්ද?

1980 ආහාර පනත යටතේ සියලු බලතල හිමි බලධරයා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා. අධ්‍යක්ෂ ජනරාල්වරයාට ප්‍රාදේශීය කාර්යාල හා අනුබද්ධ වෙලා මේ කාරණා සොයා බලන්න අයිතිය හා බලය තියෙනවා. ඒත් ඒ කාරණය සිදු නොවන එක තමයි ගැටලුව. මේ රටේ පාරිභෝගිකයෝ මෙන්ම සිවිල් සංවිධාන මේ කාරණා ගැන දැනුවත් වෙලා බලපෑමක් කළොත් ඉතා ඉක්මනින් මේවට විසඳුම් දෙන්න රජයට වෙනවා.

වත්මන් රජය පාරිභෝගික අයිතීන් සම්බන්ධයෙන් කොහොම ද කටයුතු කරන්නේ?

රජයට ඇත්ත වුවමනාවක් තියෙනවා ජනතාවට සහන දෙන්න. ඒත් මේ රටේ රාජ්‍ය නිලධාරීන් ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ. ඔවුන් කල්ලිවාදයට මුවා වෙලා කටයුතු කරනවා. ඒ නිලධාරීන් අදහන අනුහාසාත්මක නායකයෝ ඉන්නවා. ඔවුන් අදහන්නේ ඒ නායකයෝ. ඔවුන් බලයට ගෙන එන්න කරන උපක්‍රමය තමයි පාරිභෝගිකයන්ට මේ රජයේ අඩුපාඩු තියෙනවා කියලා දැනෙන්න හරින එක. එහෙම ජනතාවට දැනෙන්නේ ඒ නිලධාරියා වැඩ නොකරන නිසයි. මොනම රජයකටවත් ගැතිකම් කරන්නේ නැති, සෘජු ප්‍රතිපත්තියක රජයේ සේවකයා ඉන්නවා නම් මේ රට නිදහස් නිවහල් රටක් කරන්න පුළුවන්.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප සුසන්ත විජේගුණසේකර


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...