ආගම විකුණා ඡන්ද කළ කල්හි | දිනමිණ

ආගම විකුණා ඡන්ද කළ කල්හි

සිල්රෙදි නඩුව අවසන් විය. ඒ එම නඩුවේ තීන්දුව පසුගිය 07 දින කොළඹ මහාධිකරණයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය. නඩු තීන්දුවට අනුව චූදිත විත්තිකරුවන් දෙදෙනා වැරදිකරුවන් බවට තීරණය විය. වරදට නියම කළ දඬුවම වූයේ දෙදෙනාට වෙන් වශයෙන් බල පැවැත්වෙන පරිදි වසර තුනක බරපතළ සිර දඬුවමක් ය. රුපියල් ලක්ෂ 20 ක දඩයක්ය. මෙයට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසමට සිදු වූ පාඩුවට වන්දි වශයෙන් රුපියල් මිලියන 50 ක් හෙවත් රුපියල් ලක්ෂ 500 ක් ගෙවන ලෙසය. දඩ මුදල් සහ වන්දි නොගෙවන්නේ නම් තවත් අමතර අවුරුදු තුනක කාලයක් සිරගෙදර කල් ගෙවන ලෙසය. චූදිතයින් වූයේ එසේ මෙසේ පුද්ගලයින් දෙදෙනකු නොවේ.

එයින් එක් අයෙක් වනුයේ අවුරුදු 35 ක පමණ කාලයක් රාජ්‍යය සේවයේ නියුක්තව සිටි කීර්තිමත් සහ නොකැළැල් සේවා ඉතිහාසයක් ඇතැයි තමන් විසින්ම කියා ගන්නා ලලිත් වීරතුංග ය. ඔහු හිටපු ජනාධිපති වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම්වරයා ය. අනෙක් විත්තිකරුවා අනූෂ පැල්පිට ය.

ඔහු කියා ගන්නා පරිදි ඔහුටද ඇත්තේ අවුරුදු තිහක පමණ කාලයක් පුරා දිවයන කීර්තිමත් සහ නොකැළැල් රාජ්‍යය සේවා ඉතිහාසයක් ය. මේ කීර්තිමත් සහ නොකැළැල් සේවා ඉතිහාසයක් සහිත රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට එල්ල වූයේ එසේ මෙසේ චෝදනාවක් නොවේ. චෝදනාව වූයේ රජයට අයත් රුපියල් මිලියන 600 ක් නැතිනම් රුපියල් ලක්ෂ 6000 ක් එසේත් නැතිනම් රුපියල් කෝටි 6 ක් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් රජයට බරපතළ මූල්‍ය අලාභයක් කර තිබීමය.

රජයේ මුදල් යනු පොදු දේපළ වේ. වෙනත් ආකාරයකට කියනවා නම් මහජනතාව සතු මහජනතාවට අයත් දේපළ වේ. මේ අනුව බලන විට කීර්තිමත් සහ නොකැළැල් රාජ්‍යය සේවකයින් දෙදෙනා සාවද්‍ය ලෙස අපහරණය කර තිබෙන්නේ මහජනතාවට අයත් මුදල් ය. එය එසේ මෙසේ වරදක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.

මහජනතාවට අයත් මේ සා විශාල මුදල් ප්‍රමාණයක් මේ කීර්තිමත් සහ නොකැළැල් චරිත සහිත රාජ්‍ය නිලධාරීන් දෙදෙනා අපහරණය කර තිබෙන්නේ කුමක් සඳහාද? වෙනත් කිසිවක් සඳහා නොව ජනතාවට සිල්රෙදි බෙදාදීම සඳහාය. එසේ කිරීම මඟින් ජනතාව විශේෂයෙන්ම රටේ ජනතාවගෙන් 75% ක් තරම් වන සිංහල බෞද්ධ ජනතාවගේ සංසාරික ජීවිතය කෙටිකොට ඔවුන්ට අමාමහ නිවන් සම්පත්තිය ළඟාකර දීම සඳහා ය. මේ අනුව බලන විට දශක තුනකට වඩා වැඩි කාලයක් ඉක්මවා ගිය කීර්තිමත් සහ නොකැළැල් සේවා චරිතයකට හිමිකම් කියන මෙම රාජ්‍ය නිලධාරීන් දෙදෙනා ජනතාවට අයත් රුපියල් මිලියන 600 ක මුදල අපහරණය කිරීමක් කර නැත. කර ඇත්තේ ජාතික මට්ටමේ පුන්‍ය කටයුත්තක් සඳහා වැය කිරීමය.

එම නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කරන ආකාරයට එය වරදක් නොවේ. හේතුව සිංහල බෞද්ධයින් දුකෙන් මුදවා ගෙන ඔවුන් නිවන් ගතකිරීම ඉලක්ක කරගෙන කරන ලද ජාතික මට්ටමේ පුන්‍ය කටයුත්තක් වන බැවිනි. අනෙක් අතින් එම මහා පුන්‍ය කර්මය කිරීම සඳහා එවකට රට පාලනය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පූර්ණ අනුමැතිය සහ ආශිර්වාදය ඉත සිතින් ලැබී තිබුණ බැවිනි. මේ ඉහත දැක්වූ කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනා තමන්ට එල්ල වී තිඛෙන රුපියල් මිලයන 600 ක රාජ්‍යය මුදල් අපහරණය කිරීමේ වෝදනාවෙන් ගැලවීම සඳහාත් තමන්ගේ පුන්‍ය ක්‍රියාව සාධාරණ සහ යුක්ති සහගත එකක් බව පෙන්වා දීම සඳහාත් කියන කථාවය.

නිලධාරීන් දෙදෙනා තමන්ගේ බේරීම සඳහා ඉදිරිපත් කරන මෙම මිථ්‍යා ප්‍රබන්ධය පසෙකින් තබා සිල්රෙදි ඛෙදාදීමේ පුන්‍යකර්මය හා සම්බන්ධ සැබෑ තත්ත්වය දෙස බලනවා නම් එහිදී පෙනී යන්නේ නිලධාරීන් දෙදෙනා කියන තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්ය. මෙම තත්ත්වය එක් අතකින් පෙන්නුම් කරන්නේ නිදහස් සහ අපක්ෂපාතී සේවාවක් ලෙස පවත්වා ගෙන යා යුතුයැයි විශ්ව ව්‍යාප්ත මට්ටමෙන් පිළිගත් රාජ්‍ය සේවාව නැතිනම් සිවිල් සේවාව අපේ රට තුළ කොතරම් දේශපාලනීකරණය වී තිබෙනවාද යන්නය.

අනෙක් අතින් මෙම සිද්ධිය මඟින් පෙන්නුම් කරන්නේ සිවිල් සේවකයින් දේශපාලනීකරණය වූ විට ඔවුන් දේශපාලනඥයින්ගේ ඔඩොක්කු කුක්කන් බවට පත් වී වෘත්තීයට අදාළ නීතිරීති නොසලකමින්, වෘත්තීය ගෞරවය හා වෘත්තීය සදාචාරය පාවා දෙමින් ඔවුන් වෘත්තීමය වශයෙන් බැඳී සිටින ජනතාවට වගකීම පිළිබඳ සිද්ධාන්තයට තුට්ටුවකට ගරු නොකර දේශපාලනඥයින්ගේ ඕනෑ එපාකම් සපුරාලීම සඳහා කොතරම් පහත් මට්ටමකට වැටී දේශපාලනඥයින්ගේ වහලුන් බවට පත් වී දේශපාලනඥයින්ට අවශ්‍ය අකාරයට හැසිරෙනවාද යන්නය. මෙම සිද්ධිය මඟින් තවත් වැදගත් කරුණක් පෙන්නුම් කරනු ලැබේ.

ඒ වූ කලී සිල්රෙදි සිද්ධිය සිදු වූ කාල වකවානුව තුළ මේ රට පාලනය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පවත්වා ගෙනගිය පාලන ක්‍රමයේ පැවැති ආඥාදායක ස්වරූපයයි. සමහරවිට සිද්ධියට සම්බන්ධ නොකැළැල් චරිතයක් සහිත කීර්තිමත් රාජ්‍යය සෙවකයින් දෙදෙනා මේ රටේ බිහි වූ තවත් අපකීර්තිමත්ම සිවිල් සේවකයින් දෙදෙනෙක් බවට පත්වීම කෙරෙහි බලපෑවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවත්වා ගෙනගිය අපකීර්තිමත් ආඥාදායක පාලන ක්‍රමය බව සමහරුන් ප්‍රකාශ කරන්නේ මේ නිසා වියහැක.

සිල්රෙදි සිද්ධිය හා සම්බන්ධ පසුබිම දෙස බලන විට පැහැදිලිවම පෙනී යන්නේ එයට නායකත්වය සැපයූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ මඟ පෙන්වීම යටතේ ඉමහත් රාජපාක්ෂික භාවයකින් ක්‍රියාකළ කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනා එසේ සිල්රෙදි බෙදා දී තිබෙන්නේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔදවැඩී තමනුත් නිවන් දැක මේ රටේ ජීවත් වන බෞද්ධයින්ද නිවන්ගත කරවා සංසාර ගමන කෙටිකර ගැනීමට තිබූ අවංක පින්බර චේතනාව නිසා නොවන බවය. සිද්ධියට පසුබිම් වී තිබෙන්නේ පිනක් දහමක් කරගෙන මිය පරලොව යාමේ පිරිසිදු චේතනාව නොව ලෞකික ජීවිතය තව තවත් සුඛිත මුදිත කර ගනිමින් සැපවත් ජීවිතයක් ගත කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබූ අසීමාන්තික දේශපාලන තණ්හාව සහ ආශාව ය.

එම උවමනාව එයාකාරයෙන්ම ඉටුකර දී තම නායකයා සතුටු කොට තමන්ටද තමන්ගේ ක්ෂෙත්‍රය තුළ වැජඹීමට හා බැබලීමට කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට තිබූ සීමාව ඉක්මවා ගිය ආශාව සහ උවමනාවත් ය. සිල්රෙදි බෙදන්නේ ජනතාව නිවනට යැවීමට නොව බෞද්ධ ජනතාවට අයුතු ආකරයෙන් බලපෑම් කර ඔවුන්ගේ සංවේදී ආගමික හැඟීම් අවුස්සමින් ඔවුන්ගේ ඡන්ද තමන් වෙත හරවා ගෙන 2015 ජනවාරි මාසයේ පැවැත්වූ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ ඔහුගේ අන්තේවාසිකයින් වූ කීර්තිමත් නොකැළැල් චරිතයක් සහිත රාජ්‍යය නිලධාරීන් දෙදෙනාට තිබූ දේශපාලන උවමනාවට ය. සිල්රෙදි බෙදීමේ සිද්ධිය අතිශය බරපතළ ආර්ථීක, දේශපාලන හා සමාජ සංසිද්ධියක් බවට පත්වන්නේ මෙම හේතුව නිසාය.

එය ආර්ථීක සංසිද්ධියක් බවට පත්වන්නේ එමඟින් රටේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා විය පැහැදම් කිරීමට හැකියාව තිබුණ ජනතාවට අයත් රුපියල් මිලියන 600 ක් තනි පුද්ගලයකුගේ දේශපාලන උවමනාවන් සඳහා නාස්ති කිරීම මඟින් රටේ ආර්ථීකයට කරන ලද දැවැන්ත හානිය නිසාය. මේ සිද්ධියේ ආර්ථීක බරපතළකම පෙනී යන්නේ මේ රටේ ජනතාවගෙන් 30% කට පමණ ආසන්න ප්‍රමාණයක් තවමත් කුසට නිසි අහරක් නොමැතිව, හිසට සෙවණක් නොමැතිව සහ සිරුර වසා ගැනීමට ප්‍රමාණවත් රෙදි කඩක් නොමැතිව ගතකරන අන්ත අසරන දුගී දුප්පත්, කටුක, කාලකණ්ණි ජීවිත දෙස බලන විටය. එය දේශපාලන සංසිද්ධියක් බවට පත්වන්නේ එම ක්‍රියාව අතිශය බරපතළ දේශපාලන දූෂණ ක්‍රියාවකට සෘජුවම සම්බන්ධ වන බැවිනි.

 සිල්රෙදි බෙදන්නේ 2015 ජනවාරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම අරමුණු කොටගෙන ඡන්දදායකයින්ට බලපෑම් කරමින් ඔවුන්ගේ ඡන්දය මහින්ද රාජපක්ෂට ලබා ගැනීමටය. මෙමඟින් මැතිවරණ හා සම්බන්ධව අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු යැයි පිළිගැනෙන මූලික කොන්දේසි වන නිදහස්, ස්වාධීන සහ අපක්ෂපාතීභාවය සිල්රෙදි කාරයින් විසින් අමු අමුවේම උල්ලංඝනය කර තිබේ.

මැතිවරණ පැවැත්වීම සහ සම්බන්ධ අනෙක් කොන්දේසිය වන්නේ ඡන්දදායකයින්ට බියෙන්, සැකයෙන්, බලපෑම් කිරීම් හා බිය ගැන්වීම්වලින් තොරව නිදහසේ තම ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතියයි. මෙහිදී පැහැදිලවම පෙනී යන්නේ සිල්රෙදිකරුවන් විසින් මෙම කොන්දේසිය ද අමු අමුවේ උල්ලංඝනය කර ඇති ආකාරයයි අනෙක් බරපතළ කරුණ රාජ්‍යය සම්පත් නැතිනම් පොදු දේපළ කිසිඳු ලජ්ජා බියකින් තොරව තමන්ගේ පෞද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදාගෙන තිඛෙන ආකාරයයි.

මෙයින් පෙන්නුම් කරන දේශපාලන වශයෙන් වැදගත් තවත් කරුණ දේශපාලනඥයින් සහ කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් එකට එක් වූ විට රාජ්‍යය දේපළ කොතරම් ලෙහෙසියෙන් සහ පහසුවෙන් මංකොල්ල කෑ හැකිද යන්නය. දේශපාලනඥයින් සහ රාජ්‍යය නිලධාරීන් අතේ දුරින් තබාගත යුතුයැයි ඈත අතීතයේ සිටම දේශපාලන විද්‍යාව තුළ අවධාරණය කරන්නේ මෙම මෙම හේතුව නිසාය. සිල්රෙදි බෙදීම සමාජ සංසිද්ධියක් බවට පත් වන්නේ ඒ හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා සහ කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනා අතිශයින්ම තිරස්චීන ලෞකික අරමුණක් උදෙසා බුද්ධාගම වැනි ශ්‍රේෂ්ඨ ආගමක් රුපියල් මිලියන 600 ක් වැනි සුළු මුදලකට වෙළඳපොළේ සිල්ලර ආකාරයෙන් විකිණීම හේතුවෙන්ය. බුද්ධාගමේ මුර දේවතාවුන් වන භික්ෂූන් වහන්සේලා සෙත්පිරිත් සජ්ජායනා කොට සුවපත් වේවායැයි පවසමින් පිරිත් නූල් ගැට ගසන්නේ මෙවැනි දේශපාලනඥයින්ට සහ කීර්තිමත් රාජ්‍යය නිලධාරීන්ටය.

සිල්රෙදි සිද්ධියෙන් පෙනී යන තවත් අතිශය වැදගත් කරුණක් තිබේ. එනම් ජනතාව සිල්රෙදි පොරවා ගෙන බණ භාවනා කොට නිවන් දැක සසර කෙටි කර ගන්නවාට වඩා මහින්ද රාජපක්ෂගේ ආඥාදායක පාලනයෙන් මිදී කොතරම් කටුක වූවද ලෞකික ජීවිතයක් ගතකිරීම වඩාත් යහපත් වන බවය. 2015 ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරමින් මේ රටේ ජනතාව පෙන්වා දුන්නේ මෙම යථාර්ථයයි. මෙය මේ රටේ සිටින දේශපාලනඥයින් මෙන්ම කීර්තිමත් රාජ්‍ය නිලධාරීන්ද අවශ­්‍යයෙන්ම ඉගෙන ගතයුතු ඉතාම වැදගත් දේශපාලන පාඩමක් වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...