පොලිතීන් තහනම ලෝකෙ වටේ | දිනමිණ

පොලිතීන් තහනම ලෝකෙ වටේ

පොලිතීන්, පොලිතීන් බෑග්, යනාදිය භාවිතයට ගන්නවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කෙරෙන බව කෙන්යා බලධාරීහු පසුගියදා ප්‍රකාශයට පත් කළහ. ඒ අනුව ප්ලාස්ටික් සහ පොලිතීන් බෑග් භාවිතයට පෙළඹෙන අය වෙනුවෙන් කෙන්යා රජය පසුගිය විසි අටවැනිදා සිට නීතිය බලගන්වා ඇත.

 පොලිතීන් සහ ප්ලාස්ටික් බෑග් පාවිච්චිය මෙන්ම ඒවා සිල්ලර වශයෙන් හෝ තොග වශයෙන් හෝ විකිණීම, ආනයනය මෙන්ම නිෂ්පාදනයත් වරදක් ලෙස සැලකේ. කිසිවකු ප්ලාස්ටික් සහ පොලිතීන් බෑග් අලෙවිකර වරදකරු වුවහොත් වසර හතරක සිර දඬුවමකට හෝ අමෙරිකා ඩොලර් 40,000ක දඩයකට හෝ ඒ දෙකටම හෝ යටත්විය යුතුව තිබේ. නීතිය ක්‍රියාත්මක කෙරෙන අදියරයට පැමිණෙන්නට පළමුව පොලිතීන් සහ ප්ලාස්ටික් බෑග් නිෂ්පාදන, අලෙවි සහ ආනයන කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයන්ට තම තොග අවසන් කර ගන්නට හය මසක කාලයක් ලබා දෙන ලදී.

පොලිතීන් සහ ප්ලාස්ටික් බෑග් භාවිතයට වැට බඳින්නට කෙන්යා බලධාරීන් තීරණය කළේ එරට ජාතික පරිසර කළමනාකරණ අධිකාරියේ පෙන්වා දීමකට අනුවය. ප්ලාස්ටික් සහ පොලිතීන් බෑග් භාවිතය සෞඛ්‍යයට පරිසරයටත් අන්තරාකාරී විපාක ඇතිකරන බව කෙන්යා පරිසර කළමනාකරණ අධිකාරිය කලක සිටම පෙන්වා දී තිබිණ. එකී මඟ පෙන්වීම්වලට අනුව එරට පාරිසරික ප්‍රතිපත්ති සහ නීති සැකසීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් කෙන්යා බලධාරීහු අදියරයෙන් අදියරය පියවර ගත්හ. කොහොම වුණත් කෙන්යා රජය මේ තත්ත්වය රට තුළ ස්ථාපනය කරන්නට ගත් පළමු ව්‍යායාමය මෙය නොවේ.

කෙන්යාවේ අත්දැකීම

පරිසරයට හිතකර නොවන ගනකමකින් යුත් පොලිතීන් තහනම් කරන්නට කෙන්යා රජය පළමුවෙන්ම පියවර ගත්තේ 2007 වසරේදීය. එවර නීති සහ ප්‍රතිපත්ති සැකසුණේ මයික්‍රෝන 30ට වඩා වැඩි ගනකමකින් යුත් පොලිතීන් භාවිතය රට පුරා ප්‍රවර්ධනය කිරීම සඳහා බැව් වාර්තාවන්හි සඳහන් වේ. ඒ අනුව රට තුළ නිෂ්පාදනය කිරීමට මෙන්ම ආනයනය කිරීමට ඉඩ සැලසුණේ මයික්‍රෝන 30ට වඩා වැඩි ගනකමකින් යුත් පොලිතීන්ය. මේ වැඩපිළිවෙළ සාර්ථක කරගන්නට කෙන්යා බලධාරීහු අපොහොසත් වූහ.

එනිසා ඉන් වසර හතරකට පමණ - පසුව එනම් 2011 වසරේ සිට රටෙහි පොලිතීන් භාවිතය සීමා කරන්නට ඔවුහූ වෙනත් වැඩ පිළිවෙලක් හඳුන්වා දුන්හ. නව වැඩපිළිවෙළින් කෙන්යා බලධාරීන් බලාපොරොත්තු වූයේ මයික්‍රෝන 60ට වඩා වැඩි ගනකමකින් යුත් පොලිතීන් කෙන්යාවට හඳුන්වා දීමයි. එවැනි පොලිතීන් වර්ග වඩාත් පහසුවෙන් ප්‍රති චක්‍රීකරණය කළ හැකි බැව් ඔවුහු පෙන්වා දුන්හ. එසේ වුවත් සාමාන්‍ය ජනයා මෙන්ම ව්‍යාපාරිකයෝ ද නව වැඩපිළිවෙළ සමඟ අනුගත නොවූහ. මේ නිසා පොලිතීන් භාවිතය සීමා කිරීමට සකසන පිඹුරුපත් නැවත වරක් හකුලා ගන්නට කෙන්යා බලධාරීන්ට සිදු විය.

පොලිතීන් භාවිතය සීමා කරන්නට ගත් පළමු උත්සාහයන් දෙකම අසාර්ථක වීමට හේතු දක්වන කෙන්යා පරිසර කළමනාකරණ අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ඉවන්ස් න්‍යාබුතෝ පවසන්නේ මෙවැන්නකි.‍‍‍‍‍‍

“... එම උත්සාහයන් දෙකම අසාර්ථක වුණේ තාක්ෂණික බලපෑම් නිසයි. අප කියන ඝනකමින් යුත් පොලිතීන් හොයාගැනීම සාමාන්‍යය ජනයාට ඉතා අසීරු වුණා. මේ නිසා ඊට අදාල නීති රීති බලාත්මක කරලා වැඩපිළිවෙළ ස්ථිර තත්ත්වයකට පමුණුවා ගැනීම අසීරු වුණා. ...”

පරිසරයට හිතකාමී ඝනකමකින් යුත් පොලිතීන් හඳුන්වාදීමට වඩා පොලිතීන් මුළුමනින්ම භාවිතයෙන් ඉවත් කිරීම වඩාත් ප්‍රායෝගික බව න්‍යාබුතෝ පවසයි. පොලිතීන් භාවිතයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ කෙන්යා බලධාරීන් ආරම්භ කළේ මහජනතාව වඩාත් තදින් දැනුවත් කරමින් බැව් පැවැසේ. එනිසා මහජනයාගෙන් මෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් ද ඊට සහය පළවනු ඇති බවට කෙන්යා බලධාරීන් තුළ විශ්වාසයක් ඇත.

කෙන්යාව පොලිතීන් සහ ප්ලාස්ටික් මුළුමනින්ම තහනම් කරන්නට ගත් තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ නිලධාරීන්ගේ ද ප්‍රශංසාවට ලක්ව තිබේ. ජගත් සංවිධානයේ පාරිසරික වැඩසටහන පෙන්වා දෙන අන්දමට කෙන්යාව තුළ එක මසකට භාවිතයට ගැනෙන ප්ලාස්ටික් සහ පොලිතීන් බෑග් සංඛ්‍යාව මිලියන 24 ඉක්මවා යයි.

එලෙස පරිසරයට එකතුවන පොලිතීන් සහ ප්ලාස්ටික් සෑම වසරකම ටොන් 8 බැගින් ඉන්දියන් සාගරයට එකතු වන බව ද අනාවරණය වී තිබේ. ඉන්දියන් සාගරයට එකතුවන පොලිතීන් සහ ප්ලාස්ටික් ප්‍රමාණය එයින් ඉවත් කිරීමට වෙනම වැඩපිළිවෙළක් සකසන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනට සිදුව තිබේ. එසේ නොවුණහොත් 2050 වසර වනවිට සාගර තුළ සිටින මත්ස්‍යය ගහනයට වඩා සාගර තුළ පවතින ප්ලාස්ටික් සහ පොලිතීන් කැබළි ප්‍රමාණය ඉහළ යනු ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

කෙන්යා බලධාරීන් පොලිතීන් සහ ප්ලාස්ටික් තහනමක් පනවන්නට මෙවර පියවර ගෙන තිබෙන්නේ ද පොලිතීන් බෑග් වෙනුවට විකල්පයක් හඳුන්වා නොදෙමිනි. එනිසා මහජනයා පොලිතීන් බෑග් වෙනුවට භාවිතයට ගන්නේ කවර ආකාරයේ බෑග් යන ගැටලුව මතුව ඇත. ඊට පිළිතුරු දෙන කෙන්යා බලධාරීන් පවසන්නේ රෙදිවලින් මසන ලද මලු සහ ප්‍රති චක්‍රීකරණය කළ හැකි මලු භාවිතයට ගැනීමට ඉඩ ඇති බවකි. එවැනි මළු නිෂ්පාදනය කිරීමට මේ වනතුරු විධිමත් වැඩපිළිවෙළක් සකස් නොවීම බලවත් අඩුපාඩුවකි.

එසේම පොලිතීන් සහ ප්ලාස්ටික් බෑග් තහනමෙන් කෙන්යා ආර්ථිකයට බලවත් පහරක් එල්ලවන බැව් එරට බලධාරීන් නොසලකා හැර ඇත. කෙන්යා ආර්ථිකයට එකී පහර එල්ල වන්නේ ප්ලාස්ටික් බෑග් නිෂ්පාදනයෙහි මහා පරිමාණ වශයෙන් නියැලෙන එරට ව්‍යාපාරිකයන් 176කට අධික සංඛ්‍යාවකට යන එන මං නැතිවන හෙයිනි. එම කර්මන්තශාලාවල රැකියා කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටිති. තොග වෙළෙන්දෝ, සිල්ලර වෙළෙන්දෝ, ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ නියුතුවූවෝ, අසුරුම් කටයුතුවල නිරතවූවෝ ආදී වශයෙන් විවිධ තරාතිරම්වල කාර්යයන්හි නිරතව සිටින අය ද ඊට ඇතුළත් වන්නාහ.

චෝදනාවට පිළිතුර

ප්ලාස්ටික් සහ පොලිතීන් කර්මාන්තයෙහි නියුතු ශ්‍රමිකයන් ප්‍රමාණය එරට ශ්‍රම බලකායෙන් 2.89%ක් බැව් වාර්තාවල සඳහන් වේ. සැකෙවින් දැක්වුවහොත් කෙන්යාවේ පොලිතීන් තහනම මිලියන 1.2කට අධික ශ්‍රමිකයන් ප්‍රමාණයකගේ බඩට ගසා ඇත. යන එන මං නැති තත්ත්වයකට පත්ව ඇති තමන්ට කෙන්යා රජය දෙන පිළිතුර කුමක්දැයි කියා ඔවුහූ අසති.

එයට උත්තරයක් දෙන ඉවන්ස් න්‍යාබුතෝ පවසන්නේ පොලිතීන් සහ ප්ලාස්ටික් තහනම ම ඔවුන්ට වෙනත් රැකියා අවස්ථා නිර්මාණය කර දෙනු ඇතැයි කියාය. පොලිතීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයම විකල්ප බෑග් නිෂ්පාදන කර්මාන්තයකට මඟ විවර කර දෙනු ඇති බවත් ඔහු කියා සිටී. ඉවන්ස් න්‍යාබුතෝගේ ප්‍රකාශය අවස්ථාවාදී ප්‍රකාශයක් බව බොහෝදෙනා පවසති.

නමුත් පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පොලිතීන් තහනම පනවන්නට පළමුව රජය කළ යුතුව තිබුණේ පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අවශ්‍යය තාක්ෂණය රට තුළ ස්ථාපනය කිරීම කියාය.

“ ... ඝන අපද්‍රව්‍යය කළමනාකරණ පද්ධතියක් ගැන අවධානය යොමු කිරීමට අපි අසමත් වෙලා. කිසිවකු ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි ආයෝජනයක් කළයුතු තැන එතැනයි. ...” කියා පවසන්නේ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය ලෙහ් ඔයාකේ - ඔම්බිසේ ය.

පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීම සඳහා අප්‍රිකා රාජ්‍ය රැසක මේ වනවිට විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. ඒ අතර රුවන්ඩාව, මොරිටානියාව, එරිත්‍රියාව, කැමරොන්, ගිනීයා - බිසව්, මාලි, ටැන්සානියාව, උගන්ඩාව, ඉතියෝපියාව සහ මලාවි යන රාජ්‍යයන් ඇත. ඒ අතරට අලුතින්ම එකතුවන රාජ්‍යය වන්නේ කෙන්යාවයි. මේ රටවල් අතරින් රුවන්ඩාව දියත් කළ වැඩපිළිවෙළ පමණක් මේ වනවිට සාර්ථක වී ඇති බව අනාවරණය වේ. තම රටෙහි භාවිතයට ගත යුතු පොලිතීන්වල ඝනකම උගන්ඩා බලධාරීහු 2009 වසරේදී ප්‍රකාශයට පත් කළහ. එසේ වුවත් උගන්ඩාවේ කම්පාලා නුවරවත් එකී ඝනකම සහිත පොලිතීන් බෑග් පරිහරණයක් දක්නට නොලැබෙන බවට වාර්තා පළවේ.

රට රටවල ක්‍රම

පොලිතීන් සහ ප්ලාස්ටික් බෑග් භාවිතය තහනම් කිරීමට අදාළ නීති රීති සහ ප්‍රතිපත්ති සකසන්නට ආසියාතික , යුරෝපා සහ අමෙරිකා රාජ්‍යය රැසක් මෙයට වසර ගණනාවක සිටම කටයුතු කරමින් සිටී. ඊට පිඹුරු පත් සැකසූ පළමු ආසියාතික රටවල් අතර බංගලිදේශයත් ඇත. නිතර ගංවතුරට බිලිවන බංගලිදේශය ප්ලාස්ටික් සහ පොලිතීන් තහනමට පියවර ගත්තේ එරට කානු පද්ධතිය ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් අවහිර වන බැව් සනාථ වීමත් සමඟයි.

පොලිතීන් තහනම ගැන චීනය ක්‍රියා කරන්නට පටන් ගත්තේ 2008 වසරේදී එරට පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීවය. සමහර යුරෝපා රාජ්‍ය පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කර තිබෙන්නේ ඒවා නිෂ්පාදනය කරන සහ භාවිතයට ගන්නා පිරිස්වලින් වැඩි මුදලක් අය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමිනි.

1994 වසරේදී පළමුවරට මෙය ක්‍රියාවට නැංවූයේ ඩෙන්මාර්කයයි. 2002 වසරේදී එම වැඩපිළිවෙළම ක්‍රියාවට නැංවීම අයර්ලන්තයත් ඇරඹුවේය. මධ්‍යම ඇමෙරිකා රාජ්‍යක් වන කෝස්ටා රිකා රාජ්‍ය අනුගමනය කරන්නේ ඊට ඉඳුරාම වෙනස් පිළිවෙතකි. ඔවුන්ගේ සැලැස්ම 2021 වසර වනවිට පොලිතීන් භාවිතය සිය රටෙන් මුළුමනින්ම අතු ගා දැමීමය. ඒ සඳහා ඔවුන් දැන් සිටම ක්‍රියාත්මක වේ.

ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය පරිසරයට සහ පුද්ගල සෞඛ්‍යයට කෙතරම් හානිකර යැයි සනාථව තිබුණ ද ලොව බලවත්ම රාජ්‍යයක් හැටියට සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයටවත් මුළුමනින්ම එයින් ගැලවෙන්නට බැරිව ගොස් තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ, ඩලාස්, ටෙක්සාස්, වොෂින්ටන් සහ චිකාගෝ යන නගරවල පමණක් ප්ලාස්ටික් සහ පොලිතීන් බෑග් තහනම මේ වනවිට ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

CNN ඇසුරෙනි
මංජුලා විජයරත්න 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...