පොලිස්-ප්‍රජා සම්බන්ධතාව ගැන | දිනමිණ

පොලිස්-ප්‍රජා සම්බන්ධතාව ගැන

‘නීතිය යැයි කියන්නේ, යම්කිසි රාජ්‍යයක පුරවැසියන් විසින් ඔවුනොවුන්ට යුක්තිය ඉෂ්ට කෙරෙන බවට දෙනු ලබන ප්‍රතිඥාවකි.”

ඇරිස්ටෝටල් (ක්‍රිස්තු පූර්ව 384 – 322) ග්‍රීක දර්ශනවාදී, විද්‍යාඥ , චිකිත්සකයා.

“යම් මිනිසෙකුට, සිය හදවතෙහි ලියැවී තිබෙන දේ තරම් පැහැදිලි වූ වෙන අනික් නීති පොතක් තිබෙන්නේ කොහේද?’

ලියෝ ටෝල්ස්ටෝයි (1828 – 1910) ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ඉසිවරයා.

මෙහි ආරම්භයේදී, කෙටි හැඳින්වීමක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බව, මම දැඩිව විශ්වාස කරන්නෙමි. පොලිස්පති පදවිය පිළිබඳ නියෝගය මා නිහතමානීව, සම්මාන පූර්වකව පිළිගත්තේ, මෙය මට පැවරෙන ගාම්භීර වගකීමක් බව මගේ සන්තානගතවූ හෙයිනි.

මෙය මවිසින්, මා උදෙසාත්, මගේ දේශය හා ජාතිය උදෙසාත්, ඉටුකළ යුතුව තිබෙන භාරධූර වගකීමක් බව, මම මුල සිටම හරිහැටි අවබෝධ කොට ගත්තෙමි.

මට මේ වගකිවයුතු පදවිය පැවරුනේ මුළු මහත් පොලිස් සේවය අතිශයින් උදාර නව යුගයකට එළඹෙමින් සිටින සමයකයි. 2016 සැප්තැම්බර් මස තුන්වනදා ශ්‍රී ලංකාවේ පොලිස් සේවයට 150 වන වසර සපිරුණේය. ඒ උත්සවය අදට හරියටම අවුරුද්දකට පෙර පැවැත්තේය.

මට පොලිස්පති පදවිය පැවරුණේ ඒ කාල සමය හරියේදීය. මෙසේ මම දෛවෝපගතව ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී ජනර‍ජයේ තිස්හතර වන පොලිස්පතිවරයා වශයෙන් පත්වුණෙමි.

එකල පොලීසිය

මගේ ළමා සමයෙහි පටන්ම මම අපගේ ශ්‍රේෂ්ඨ දේශයේ ඉතිහාසය ගැන තියුණු ලෙස සංවේදී වූයෙමි. අපගේ දේශයේ ජනජීවිතයේ ස්පන්දනය වන යථා තත්ත්වයට හෘදයාංගම ලෙස සමීපවෙමින් හැදෙන්නට - වැඩෙන්නට ඉඩ ලැබීමේ වරප්‍රසාදය හා වාසනාව මට කුඩා අවදියේ දී පටන්ම උරුම වූයේය. ළමා සමයේදී ඇතැම් විටෙක, මම කුඹුරේ ලියැද්දේ සුළු සුළු වගා වැඩෙහි යෙදුණෙමි. මා එසේ කළේ පුංචි මට හැකි පමණට මගේ වැඩිහිටියන්ගේ වැඩකටයුතුවලට සහාය වනු පිණිසයි. ඔවුන් වෙහෙස මහන්සිවන ආකාරය මම එදා දැක්කෙමි.

මා මේ සියල්ල මෙහි ලියා ලන්නේ එක්තරා කරුණක් තහවුරු කරනු පිණිසයි. අපගේ ජනතාවගේ සොම්නස හා දොම්නසත්, ඔවුන්ගේ ජීවිතවල උච්චාවචනයනුත්, මා ඉතාම හොඳින් තේරුම්ගෙන සිටින්නේ මේ ඉහත සඳහන් අත්දැකීම් සියල්ලේ ඒකාබද්ධය නිසාය.

පොලිසිය හා ප්‍රජාව අතර පවත්නා අන්තර් සම්බන්ධතා මා ඉතාම හොඳින් දුටුවේ මා පොලිස් සේවයට බැඳුණු තැන් පටන්මය. අපගේ උතුම් දේශය යටත් විජිතවාදී පාලනයට නතු වී තිබුණු සමයේදී අපගේ සියලු ජනතාව විසින් එදා පොලිස් සේවය සලකන ලද්දේ යම්කිසි පිටසක්වගකින් ගෙන එන ලද, අපගේ ජනතාවගේ වෛරක්කාරයන් වූ නපුරු පිරිසක් හැටියටයි.

අධිරාජ්‍යය විසින් මෙහෙයවන ලද එදා පොලිස් සේවයේ දැඩි ග්‍රහණයට අසුවී අපගේ අහිංසක ජනතාවට විඳ - දරා ගන්නට සිදුවූ වධ-වේදනා කන්දරාව ගැන ඓතිහාසික වාර්තා සාක්ෂි දරති.

යටත් විජිතවාදී පොලිස් හමුදාව විසින් දන හදෙහි දනවන ලද තැතිගැනීම හා බිය, නිදහසෙන් පසුව සමයෙහි දී පවා පොලිස් - ප්‍රජා සම්බන්ධතා සුළු වශයෙන් හෝ පළුදු කළේය.

ඇතැම් දියුණු රටවල පවා පොලිස් සේවයේ භටයෙකු දැකීමෙන් ඇතැමුන් තුළ තැතිගැනීමක් ඇතිවන්නේ යැයි මම විශ්වාස කරමි. එවැනි රටවල යටත්විජිතවාදී ඉතිහාසයක් නැතත්, ඒ ආකාරයේ තැතිගැනීම් හට ගන්නේය.

පොලිසිය නිසා ඇතිවන මේ ස්ථාපිත තැති ගැනීමට නිදර්ශන සපයන සිද්ධියක් මට අසන්නට ලැබුණේය. කථාව ජගත් කීර්තිමත් පුද්ගලයෙකු හා සම්බන්ධවයි. මේ තැනැත්තා ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඇල්ෆ්‍රඩ් හිච්කොක් ය. උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහුගේ පියා ගමේ එළවළු වෙළෙන්දෙක් විය. පුංචි ඇල්ෆ්‍රඩ් වරක් සුළු දඟකාරකමක් කළ විට මේ ගතිය නැතිකළ යුතු යැයි පියා සිතුවේය. පියා සිය අට හැවිරිදි පුංචි පුතා කැඳවා මෙසේ කීයේය. ‘මගේ පුංචි පුතේ, මේ ලියුම් කෑල්ල ගමේ පොලිස් අන්කල්ට ගිහින් දෙන්න.' අහිංසක පුංචි දරුවා ලියුම් කෑල්ල ගෙන පොලිස් අන්කල් වෙත ගියේය.

මාගේ ස්ථාවරය

ලියුම් කෑල්ලේ කියා තිබුණේ මෙයයි. ‘මගේ පුංචි පුතා ටිකක් දඟකාරයි. පුංචි පුතාට සුළු අවවාදයක් දෙන්න.’ ලියුම කියවා ගත් ‘පොලිස් අන්කල්’ නපුරු මූණක් මවාගත්තේය. ඔහු තරමක් රළු ලෙස මෙසේ කීවේය. ‘මං දන්නවා, දඟකාර පුංචි අයට කළ යුතු දේ.’ මෙසේ කියූ ‘පොලිස් අන්කල්’ අහිංසක දරුවා විනාඩි කීපයක් පොලිසියේ සිරකූඩුවේ තැබුවේය. ඉක්මණින් දරුවා එළියට ගෙන ගෙදර යවන ලදී. ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක ඇල්ෆ්‍රඩ් හිච්කොක් මුළු අධ්‍යක්ෂක ජීවිතය පුරාම මිනිසුන් බයකරන චිත්‍රපට තනා ප්‍රේක්ෂකයන් බියපත් කළේය.

ඒ සිද්ධියෙන් අප අපගේ මේ දේශය වෙත යොමුවිය යුතුයි. මුළු මහත් ජන සමාජයේම සුබසෙත පිණිස වඩාත් සුහද, හෘදයාංගම පොලිස් - ප්‍රජා සම්බන්ධතා පිහිටුවා ලන්නට ඉතා වැදගත් වටිනා ප්‍රයත්න කිහිපයක්ම ආරම්භ කෙරිණි.

මවිසින් අවංකවම පැවසිය යුතුවන්නේ වඩාත් යහපත්, බොහෝ සේ අර්ථවත් පොලිස් - ප්‍රජා සම්බන්ධතා සම්ප්‍රදයයන් කිහිපයක් ඒවා නිසා හටගත් බවයි. එහෙත්, මා අව්‍යාජවම කියා සිටින්නේ මෙහිලා අප තවත් බොහෝ දුර යා යුතුව තිබෙන බවයි.

පරිසමාප්ත අර්ථයෙන්ම සේවයට කැපවූ පොලිස් නිලධාරිවරයකු වශයෙන් මගේ නිල ප්‍රතිපත්තිය වන්නේ පරිපූර්ණ මධ්‍යස්ථභාවයයි.

ප්‍රතිවිරෝධී කණ්ඩායම් අතර උද්ගතවන රණ්ඩු සරුවල්, කළකෝලහාලවලට හෝ ඉවක් බවක් නැති පුද්ගලයන් විසින් හෝ කල්ලි විසින් ඇතිකරනු ලබන සම්මත - වාදභේද, නිරර්ථක තර්ක - විතර්කවලට හෝ යන්තමින්වත්, ගෑවෙන්නට මගේ නිලධාරීන් හෝ මා කිසිසේත් කැමති නැත.

විනය විරෝධී මැරවරයන් සහ අසංවිදිත ජන කණ්ඩායම් අවුස්සමින් ඔවුන් මහා මට්ටමෙන් නොමඟ යවන ගමන්, මේ ‘ධර්මද්වීපයේ’ ජීවිතය අත්‍යන්තයෙන්ම ජුගුප්සාදායී තැනකට ඇද හෙලන, මහජන අවිචාරී රැස්කෑම් සමූහයට ‘දැන් ඔය ඇතැයි’ කිවයුතු තැනට අද අප පත්වී සිටින බව මම ගැඹුරු ලෙසම විශ්වාස කරන්නෙමි.

මා මුළුමනින්ම සිත් යොමා සිටින්නේ, මේ මනස්කාන්ත දේශයත්, එහි වෙසෙන අහිංසක තැන්පත් ජන සමූහයාත්, අමානුෂික නර විරෝධී නපුරුන්ගේ ගොදුරු බවට කම්පාදායි ලෙස පත්වන ආකාරය අපගේ යහපත් ජනී ජනයාට ඇති සැටියෙන් පෙන්වා දී මේ තත්ත්වය ඔවුන්ට නිසිසේ අවබෝධකොටදීම කෙරෙහිය.

මෙහිදී මා විසින් දරනු ලබන ස්ථාවර මතය මෙයයි. පොලිසිය සහ ප්‍රජාව අතර සුහද අත්‍යන්තයෙන්ම අර්ථවත් සම්බන්ධතා ස්ථාපිත කිරීමේ මුල් පියවර අනිවාර්යයෙන්ම ගතයුතු වන්නේ ප්‍රබුද්ධ, විශිෂ්ට පුද්ගලයන් විසින් හා හොඳින් සංවිධානය වූ ප්‍රජා කණ්ඩායම් හා ගණ විසිනුත් බවයි.

ආරම්භයේදී අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු විශේෂ කාර්යයක් ඇත්තේය. පොලිස් සේවයේ සුළු යැයි සැලකෙන නිලධාරියකු විසින් පවා ඉටු කෙරෙන අතිශයින්ම අර්ථවත්, ඵලදායි, ජීවය උද්දීපත් කරන මහඟු සේවය, කුඩා දරුවාගේ පටන් මහලු පුරවැසියන් දක්වා සෑම සියලු දෙනා විසින්ම ඇති සැටියේ අගය කරන්නට පුරුදු කිරීම ඒ ප්‍රාරම්භක කාර්යය වන්නේය.

මට ප්‍රශ්නයක් විමසන්නට ඉඩදෙන්න. අප දිවයිනේ ඉතාම ඈත - එපිට කොනක හෝ මුල්ලක හෝ වුවද, යම්කිසි ප්‍රශ්නකාරී සිද්ධියක් දිවා රෑ ඕනෑම වේලාවක සිදු වූ විට එතැනට වහාම පැමිණෙන, ප්‍රථම පුද්ගලයා කවුද? අනිවාර්යයෙන්ම ඒ පොලිස් නිලධාරියෙකි.

වෙන ඛේදදායී දර්ශනයක් දෙස නෙත් යොමු කරන්න.

අපගේ ඇතැම් නිලධාරීන් රථවාහන ගමනාගමන හැසිරවීමේ යෙදී සිටින ආකාරය ඔබ අනන්ත වාරයක් දැක ඇත. ගිනි අව්වේ, මහ වැස්සේ, දුමාරයේ, දූවිල්ලේ ඔවුහු රාජකාරියේ යෙදෙති. ඔවුන් නොනවත්වාම පාහේ සිය අත් හසුරුවන්නේ මහා මාර්ගය මගියාටත්, රථවාහනවලටත් ආරක්ෂිත ක්ෂේම භූමියක් කරනු පිණිසයි.

මට වාර්තා වී තිබෙන ඇතැම් සිද්ධිවලින් කියැවෙන්නේ, රථවාහන හසුරුවන අපේ සේවයේ ඇතැම් නිලධාරීන්, ජල ගැලීම පවත්නා අවස්ථාවල ඉණ දක්වා ජලයේ බැස යමින් සිය රාජකාරිය අඛණ්ඩව ඉටුකරමින් සිටි බවයි. රාජකාරි නවත්වා ආරක්ෂිත ස්ථානවලට යන්නට ඒ තරම් හේතු සාධක තිබුණද ඔවුන් සේවයේ යෙදුණේ සිය ජීවන අවස්ථා නොතකමිනි.

ජීවිත භක්තියෙන්

දරුණු මහජන පෙළපාලිවලදී, භයානක රැලිවලදී දැවෙන, ආලෝලනය වන උද්ඝෝෂණවලදී මිනිසුන්ට සිදුවිය හැකි හානි ඇතැම්විට පාලනය කොටගත නොහෙන තරම්ය.

ඔවුන් එසේ නර විරෝධී ජන සතුරු ආකාරයෙන් හැසිරීමට හේතුකාරක වන විවිධ අදහස් - උදහස්, මතවාද ගැන පොලිස් සේවය සිත් යොමුකරන්නේ නොවේ. ඒ විනාශකාරී චර්යාවලට හේතුවන, පාදකවන දේත් පොලිස් සේවයට අදාළ ‍නොවේ.

පොලිස් සේවයේ අපේ නිලධාරීන්, ඒ ආලෝලනය වූ දරුණු ජන ගොඩට ඇතුළුවන්නේ, ජන හානි, ජීවිත හානි ගෙන එන ඒ අමානුෂික දරුණුකම් මැඬපවත්වන්නටයි.

අවාසනාව නම්, ජන ජීවිත කෙරේ භක්තියෙන් එසේ රාජකාරියේ යෙදෙන අපගේ නිලධාරීන් ඒ දරුණු කම්වලට ගොදුරුවීමයි.

එසේ කම්පාදයි ලෙස එවැනි දරුණුකම්වලට ගොදුරු වූ පොලිස් නිලධාරීන් පිළිබඳ හද සසල කරන සිද්ධි බොහෝමයක් මෑතකදී වාර්තා විය.

මාත්, මගේ සේවයේ සිටින අය සියලු අන් නිලධාරීන් පිරිසක් මේ නර නපුරන්ගේ මතවාද ගැන සිතන්නේ නොවේ. අපගේ ගැඹුරු, ස්ථාවර, අචල කැපවීම නම් ජීවිත බේරාගැනීමත්, පෞද්ගලික හා රාජ්‍ය දේපළ ආරක්ෂාකොට ගැනීමත්ය.

අප මානව හිතවාදීව කැපවී සිටින්නේ ප්‍රබල ලෙස ස්ථාපිත වූ පරිසමාප්තාකාරයෙන් ක්‍රියාකරන පොලිස් - ප්‍රජා සම්බන්ධතා සංවිධානයක් පිහිටුවාලීමේ උදාර පරමාර්ථයටයි.

ආතතිය ගැන

මෑත කාලයේදී, අපගේ මේ ධර්මද්වීපයේ වීථි, මංමාවත්, කොවේ - මාවේ සියල්ල පුපුරන සුළු ස්ථාන බවට පත්වී ඇත්තේය. ඒවා අත්පත්කොට ගනු ලබන්නේ ඒ මහජන මංමාවත් අවුරාලන ස්ත්‍රී - පුරුෂයන් විසිනි.

මේ සංවර්ධනය වීගෙන එන, සංවර්ධනයේ උදාව බලාපොරොත්තුව සිටින, ඒ සඳහා වෙහෙසෙන අපේ මේ භාග්‍යමත් දේශයේ වැඩට යන ශ්‍රම දායකයන්ට බාධා කරන ශ්‍රම පැය දසදහස් ගණනින් නාස්ති කරන ක්‍රියා පිළිබඳ ගවේෂණයක යෙදීම සත්‍ය වශයෙන්ම මගේ වගකීම් පථයට අයත් කරුණක් නොවේ. එහෙත් නීතිය හා සාමය රැක බලා ගන්නවත්, ඒ මඟින් සාමය සහ සහජීවනය තහවුරු කිරීමටත්, මිනිස් ජීවිත නිධාන සේ සුරක්ෂිතකොට ගන්නටත් කැපවූ පිරිසක් වශයෙන් මාත්, මගේ නිලධාරීවරුත් අපගේ මහා මාර්ගවල සිදුවන අතිශය තර්ජනාත්මක දරුණුකම් ගැන අත්‍යන්තයෙන්ම කම්පා වී සිටින්නෙමු. මේ මාර්ග දරුණුකම් රටේ මුළුමහත් ජන ජීවිතය පුරාම අනන්ත අප්‍රමාණ ආතතියක් හා චිත්ත වේදනාවක් පතුරවන්නේය.

පොලිස් සේවයට - පොලිස් සේවයෙන් බැහැර පෙලඹවීම් නොමැත. එවැනි සෙසු අරමුණු ද නැත්තේය. ඒ නිසා, දහස් ගණන් යොවුන් අය මාර්ග අවුරන්නේ ඇයි දැයි කියා ගවේෂණයේ යෙදෙමින් පොලිස් නිලධාරීන් වන අපට, මානව වෛරීන් නිසා මහමඟ යන ජනී ජනයාගේ ජීවිතවලට එල්ලවන තර්ජන ගැනත්, ඒ දරුණු චර්යාවලට ගොදුරු විය හැකි දේපළ ගැනත් දැඩි කම්පනයකට මූණ පාන්නට සිදුවේ.

අපට මේ ‘මානව වෛරීන්’ යන යෙදුම අකැමැත්තෙන් වුවද භාවිත කරන්නට සිදුවීම ඛේදයකි. එසේ එවැනි යෙදුමක් භාවිත කරන්නට වන්නේ හෝ පැහැදිලි ලෙසම විවෘතව, කිසි තැකීමකින්, මානව කැක්කුමකින් තොරව අමානුෂික ආකාරයෙන් ඔවුන් සොබාදහමේ ශ්‍රේෂ්ඨතම දායාදය වන මානව ජීවිතයේ විභූතිය හා ශෝභාව පළුදු කරන හෙයිනි.

ඔවුන්ට යම්කිසි මතවාද තිබිය හැකිය. ඒ ගැන සිත් යොමුකළ යුතු සෙස්සෝ සිටිති. එහෙත් උදාර පොලිස් සේවයේ අපගේ ඉතාම ප්‍රබල අචල කැපවීම නම් සාමය හා සහජීවනය සුරක්ෂිත කිරීමත්, නීති ගරුකබව ක්‍රමවත්ව ක්‍රියාවේ යෙදෙන තැනට වගකීමත්ය.

අපගේ පොලිස් සේවයේ නිලධාරීහු ප්‍රතාපවත් නිල ඇඳුම්වලින්‍ ලොව හමුවේ පෙනී සිටිති. එසේ වුවද ඒ විභූතිමත් නිල ආයිත්තම් ඇතුලේ වෙසෙන්නේ ලෙයින් - මසින් තැනුණු‍ නියම මිනිස්සු වෙති. ඔවුහු පියවරු, මව්වරු, මාමාවරු, නැන්දාවරු හා දූ - පුත්තු වෙති. ඒ අයගේ අදරැති පවුල්වල සාමාජිකයෝ ඒ ආදරණීයයන් නිවස බලා එන තෙක් ඇල්මෙන් බලා සිටිති. එහෙත් ඔවුන්ගෙන් ඇතැම්මු සිය පවු‍ෙල් පෙම් කැදැල්ලට ආපසු නොයති.

අපගේ යහපත් මහජනයා අනේක වාරයක් දැක ඇති දර්ශනයක් වේ. නීතියේ, සාමයේ ජීවිතය නොතකන ඇතැම් අඥාණ කණ්ඩායම්, අපගේ නිලධාරීන්ට තර්ජනය කිරෛම් එක දර්ශනයක් බොහෝදෙනා විසින් අනිවාර්යයෙන්ම දක්නා ලද බවට සහතික කළ හැකිය. එහි ඡායාරූපයක් පුවත්පත්වල පළවූයේය. ඉතා උසස් ශීක්ෂණයක් සහිත ඉහළ පොලිස් නිලධාරියෙක් තමාට එල්ල කෙරුණු පහරකින් වළකින්නට පස්සෙන් පස්සට නැවෙයි. ඒ නිලධාරියාට එල්ල වන්නේ ආගමික ඇඳුමක් සහිත මැරවර අතකි. මේ උසස් නිලධාරියා වරදකරුවන් මෙල්ලකරන ක්‍රම පිළිබඳ විශාරදයෙකි. එහෙත් යුක්ති සහගත ලෙස තමාගේ ආරක්ෂාව සලසා ගන්නටවත්, ඒ උසස් නිලධාරියා, ඒ තමාට තර්ජනය කරන මැරවර අතට පහරක් දෙන්නට සැරසුණේ නැත. මේ සියල්ල යොමුවන්නේ ඉතාම ප්‍රබල එක් ප්‍රශ්නයක් දෙසටයි. ස්ථාවර පොලිස් - ප්‍රජා සම්බන්ධතා සංවිධානයක් ආරම්භ කිරීම අප පටන් ගන්නේ කොතැනින්ද?

මගේ අදහස මෙසේය. අප මේ ධර්මය පටන්ගත යුත්තේ පාසල් මට්ටමෙනි. දරුවන් සාමය හා සහජීවනය ගැන අතිශයින්ම සංවේදීය. සතකුට හිරිහැර කරනු දුටුවද ඇතැම් දරුවෝ අඬා වැටෙති. අනිත් ශ්‍රේෂ්ඨ කේන්ද්‍රය නම් සිද්ධස්ථානයි. පන්සල්, පල්ලි, කෝවිල්, සාමයික රැස්වීම් ශාලා ආදිය එයට අයත් වේ. තෙවැන්න නම් මේ කාර්ය රටාව දෙමාපියන් වෙත ගෙන යෑමේ ක්‍රියාවලියයි. සිය සිඟිති දූ දරුවන් රැක බලාගත යුතුවන්නේ අදරැති දෙමාපියන් විසිනි.

මේ අමානුෂික දරුණුකම්වලට ගොදුරු වූ දරුවන්ගේ දෙමාපියන් බාහිර වශයෙන් හා අභ්‍යන්තර වශයෙනුත් වැළපෙන ආකාරය මට සිතාගත හැකිය.

මට එසේ සිතාගත හැක්කේ ගැමි දිවිපෙවෙත ගැන කුඩා කල පටන්ම දැන සිටි අයෙකු හැටියටයි.

නාදුනන නිලධාරියා

ගැමි - නාගරික හා ජාතික නායකයන් විසින් අධිෂ්ඨාන කොට ගතයුතු වන්නේ, සාමය හා සුහද සහජීවනය පුනරුත්ථාපනය කිරීමේ වගකීම තමන්ට අත්හැරිය නොහෙන කැපවීමක් බව අවබෝධ කොට ගන්නටය. අපගේ මේ ශ්‍රේෂ්ඨ පූජනීය දේශයට යළිත් ඒ සුහද මානව ජීවිතය ගෙන එමු. ඒ අරමුණ ඉටුකොට ගත හැක්කේ පොලිස් - ප්‍රජා සථාවර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමට සදා කැපවීමෙනි.

මා ඉතා සම්භාවනීය ලෙස ගරු කරන මගේ අත්‍යන්ත ඇදහීම මෙයයි. ‘ නාශක අරමුණු සහිත නපුරෝ මට, විවිධ ප්‍රහාර එල්ල කරන්නට කැමැති වෙති. මා කියන්නේ, ‘ඒවා එල්ල කරපුවාවේ.’ මා ඒ කිසිවකින් නොසැලී, අභීතව ගමන් ගන්නේ, පොලිස් - ප්‍රජා සම්බන්ධතාවය විසින් අපගේ ජනතාවගේ කායික හා මානසික සෞභාග්‍යය තහවුරු කරන ශ්‍රී ලංකාවක් තනාලීමේ අරමුණ දෙසටයි. එවැනි ශ්‍රී ලංකාවක අපගේ ජනතාවට, පොලිස් සේවය සහ පූර්ණ ප්‍රජාව විසින් සැපයෙන ආරක්ෂිත පරිසරයෙහි අකම්ප්‍ය දිවි පෙවෙත ගෙවිය හැකිවේ. යහගුණ සහිත සියල්ලන් විසින්ම, මේ උදාර මානව අරමුණට සහාය සපයන බව මගේ ඒකාන්ත විශ්වාසයයි.

ගරු රජය විසින් මා කෙරෙහි තබන ලද විශ්වාසය මම සදාකල්හිම සුරකිමි. මා එසේ කරන්නේ නීති ගරුකත්වයක්, අක්ලිෂ්ට මානව භක්තියත්, සහජීවනයෙන් බැබළෙන රාජ්‍යයක් අපගේ රජයට පිරිනැමීමෙනි.

එවැනි රාජධානියක මිනිසුන්ට ආපදා - බාධාවලින් තොරව සුවය හා සැපත සෙවීමේ භාග්‍යයසම්පන්න ගවේෂණයක යෙදී සිටිය හැකි වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...