මාධ්‍ය නිදහස අවභාවිතය | දිනමිණ

මාධ්‍ය නිදහස අවභාවිතය

මේ දිනවල, මාධ්‍ය නිදහස ගැන මෙන්ම මාධ්‍ය අවභාවිතය ගැනද කථාබහ වෙමින් ඇත. මාධ්‍ය විසින් ධාතු ප්‍රදර්ශනය කිරීම ඉහවහ ගොස් ඇත. කුඩුවලට සබැඳි සහෝදරත්වයෙන් යුතු නාමික ක්‍රිස්තියානි බටහිර කාමසුඛල්ලිකානු සංස්කෘතියේ නියැලුණු මාධ්‍ය අයිතිකරුවන් වෙසක් ද, පොසොන් ද, තමන් සිංහල බෞද්ධ, සිල්ගත් නියම උපාසකයන් බවට අහිංසකයන් රැවටීමට උපයෝගී කර ගනී.

තවත් කට්ටියක් තමන් සිංහල බෞද්ධ සංස්කෘතිය පෝෂණය කරන්නන් මෙන්ම දුප්පතුන්ගේ බෝක්කු, පාරවල්, වතුර පයිප්ප හදන්නන් වශයෙන් ශ්‍රී ධාතු පෙන්වමින් සිරස නමා වැඳපුදා ගන්නා ලෙස අහිංසකයන් හැමදා රවටති. පවතින රජය බලයට පත්වීමත් සමඟ කොළඹ වරාය නගරයේ කොන්ත්‍රාත්තුව නවතා තිබිය දී එම චීන කොන්ත්‍රාත්කරුවාගේ මුදලින් ඔහු සමඟ ගඩොල් බාග මුළු රටපුරා සාම සමාදාන පෙරහැර ගෙනයාමට යෙදුණි.

අහිංසක සාමය සමාදානය ඉල්ලන අහිංසක ජනයා සෑම ගම්දනව් නගරයකම නැවතී සිට එම කොන්ත්‍රාත්කරුවා සමඟ පෙරහරින් පැමිණි ගඩොල් බාගවලට අත්තබා ගනිමින් තම සිරස නමා සාමය පිණිස යැයි ඒවාට ආචාර කරන ලදී. අහිංසක ජනයා කොන්ත්‍රාත්කරුවා එහි ගමන් කළ පෝට් සිටි කොන්ත්‍රාත්කරුවා හැඳිනුවේ නැත. වීමංසනයෙන් සිටි මා හට ඔහු දැකිය හැකි විය. අහිංසක මිනිස්සු චීන කොන්ත්‍රාත්කරුවාට ද සිරසා නමා ආචාර කරනු දැකිය හැකි විය.

වෙසක් ධාතු ප්‍රදර්ශනයේදී සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පිටුපසින් සිටි මහාම දායකයා වන්නේ සත්ගුණවත් ගෝඨාභය මහතා විසින් ඇමරිකානු බටහිර සමාජ සංවර්ධන ආකෘතියෙහි දියත් කළ කොළඹ සුරපුරයක් කිරීම මීතොටමුල්ලට සියලු කුණු ‍ ගොඩ ගෙන ගොස් කෙරුණු කටයුත්තට වැඩිමනක්ව සියලු බදු, තීරුබදු විරාම සහිතව රජයේ ඉඩම් ද ලබා ගෙන බේරේ වැවේ අධිසුඛෝපභෝගී කාමසුඛල්ලිකානු සියලු සන්තර්පණයන් සහිත පුරවරයක් සදන කොම්පැනි කාරයා බව දන්නේ ඉතා සුළු පිරිසකි.

මාධ්‍ය ආයතන අහිංසක මිනිසුන්ට ශ්‍රී ධාතු ප්‍රදර්ශනය කරමින් සිංහල බෞද්ධ සංස්කෘතිය, සමාජය සුරකින්නේ එලෙසින් බව අහිංසක බෞද්ධ සැදැහැවත්හු නොදනිති. ඔවුහු දින ගණන් පෝළිමේ සිට තම සිරස නමා පිටුපසින් සිටින එම වංචනිකයන්ට ආචාර කරති. ඇහුවොත් සල්ලි තමා කියමින් ගුවන් විදුලිය ද ඔවුන් අහිංසක මිනිසුන්ගේ දුප්පත්කම ප්‍රයෝජනයට ගෙන මුදල් දී තම රේඩියෝව ඇහීම සල්ලි තමා යැයි කියති. එම වැකි ඇතුළත් පෝස්ටර් ද පසුගිය සතියේ රට පුරා විය.

වෙසක්, පො‍ෙසාන්, ශ්‍රී ධාතු, ලයිට් බුබුළු, වෙසක් කළාපවලට අමතරව ගංවතුර, නායයෑම්, සුළිසුළං, කුණු කසළ ගොඩවල් නායයෑම් ද මෙම මාධ්‍ය ආයතන සඳහා ඊනියා සමාජය සත්කාර නමින් තම ව්‍යාජ ප්‍රතිරූපය ගොඩනඟා ගෙන අහිංසක මිනිසුන් රැවටීමට පහළ වන මහඟු අවස්ථා වේ.

පසුගිය දිනෙක පැවැති ස්වභාවික විපතේදී තමන් තමයි එවැනි අවස්ථාවලදී හරියට වැඩේ කරන එකම සමාජ සත්කාරය කරන්ණන් බව කියමින් ආධාර එකතු කළේත් සමාජ සත්කාරක පෙරහරවල් පැවැත්වූයේත් මේ ව්‍යාජ මාධ්‍ය කරුවන් ය.

විශේෂයෙන් එවැනි ආපදා අවස්ථාවකදී රටේ මධ්‍යම සැලසුමක් මත රජයේ ආපදා කළමනාකරණය සහ ත්‍රිවිධ හමුදාවන්ගේ ක්‍රියාන්විතය හරහා එවැන්නක් සිදු කළ යුතු බවට පවසද්දී ආධාර සියල්ල ළඟම ඇති රත්මලාන ගුවන්තොටුපල පරිශ්‍රයට ගෙනත් දෙන ලෙස ඉල්ලා සිටියදීත් මෙම ව්‍යාජ මාධ්‍ය සමාජ සත්කාරක ආයතන එය හරියට කරන්නේ තමන් පමණක් බව කියමින් අහිංසක මිනිසුන්ට වැරදි හැඟීමක් දෙන ලදී. රටේ එවැනි ජාතික ආපදා අවස්ථාවන්හිදී මෙවැනි මාධ්‍ය කරුවන්ගේ ඉවක් බවක් නැති සමාජ සත්කාර නමින් හඳුන්වා දෙමින් මිනිසුන් රවටා දැමීම වහාම නැවැත්විය යුතු ය. එවැනි අවස්ථාවකදී එම මාධ්‍යකරුවන් සමාජ සේවා ආයතන මෙන්ම ස්වෙච්ඡා ආයතන සියල්ල මධ්‍යගත සැලසුමකට හමුදාව විසින් මෙහෙයවිය යුතු ය.

එපමණක් නොවේ, මාධ්‍ය ආයතන දේශපාලන පක්ෂවලට සෘජුව සම්බන්ධ වී කටයුතු කිරීම තහනම් කළ යුතු ය. ඔවුන් තමන් යටතේ සේවය කරන නිලධරයන් විවිධ පක්ෂවලින් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කරනවා පමණක් නොව තමන් කැමැති අකැමැති දේශපාලන නායකයන්ගේ ප්‍රතිරූපය ගොඩනඟති. පහර ගසති. ඔවුනට ඕනෑම දේශපාලන මතයක් දැරීමට හෝ ප්‍රගුණ කිරීමට ඉඩ හැරීම වෙනම කරුණකි.

එහෙත් ඔවුන් දේශපාලන පක්ෂවල ව්‍යාපෘතිවලට අරමුදල් සපයමින් දේශපාලනයේ නිරත වෙමින් තමන්ගේ නියෝජිතයන්ට මැති ඇමැති පදවි ඉල්ලා රාජ්‍ය නායකත්වයට බලපෑම් කිරීමට ඉඩ නොදිය යුතු ය. දේශපාලන පක්ෂවල නිරතවන ඔවුන්ගේ සේවකයන් සඳහා ඇමැතිධුර ලබා දෙන ලෙස රාජ්‍ය නායකයන් වෙත බලපෑම් කර එයට කන් නොදෙන විට පුද්ගලික මට්ටමින් වෛර සහගතව රාජ්‍ය නායකයන්ගේ ප්‍රතිරූපය වැනසීම ද මෙකල ඔවුන් කරන අමන වැඩකි.

මේ සියල්ලටම වඩා රටේ සංස්කෘතික යහපැවැත්ම කඩා බිඳලීම ඔවුන්ගේ ප්‍රධානම කාර්යයක් විය. එය සම්පූර්ණයෙන්ම සිංහල බෞද්ධ සාරධර්මවලට හෝ අන්‍යාගමික සාරධර්මවලට හෝ ජීවන රටාවට ප්‍රතිවිරුද්ධ සංස්කෘතික සමාජයක්, සුඛෝපභෝගී බඩුභාණ්ඩ පිරි අධිපරිභෝජන වාණිජ සමාජ ක්‍රමයක් රටතුළ ප්‍රවර්ධනය කිරීම ඔවුන් විසින් කළ සාර්ථකම ව්‍යාපෘතිය විය. මෙම තත්ත්වය යහපත් ජනයා විසින් වටහා ගත යුතු අතර, එය නැති කර සාරධර්ම පිරි යහපත් සමාජයක් සඳහා වන මහජන නියෝජිතයන් ඔවුන් විසින් ඉදිරියෙහිදී වත් පත්කර ගත යුතුය.

ජයසිරි සමරතුංග

නව අදහස දක්වන්න