ආගම කුමක් වුණත් අන්තවාදින්ගෙන් රටට වෙන්නේ විනාශයක් | දිනමිණ

ආගම කුමක් වුණත් අන්තවාදින්ගෙන් රටට වෙන්නේ විනාශයක්

ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද හිමි

වර්තමානයේ අප රටට බෙහෙවින් අවශ්‍ය වී ඇති පුද්ගල සංවර්ධනය තුළින් සමාජ සංවර්ධනය අැතිවන අාකාරය පිළිබඳ අදහස් දක්වන්ෙන් මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිවු කෝරළ‍යේ ප්‍රධාන සංඝ නායක අත්තනගල්ල රජමහා විහාරය, ඇමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ථෙරවාදී බෞද්ධ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති මහෝපාධ්‍යාය අාචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද හිමිය.

බුද්ධ දේශනාවට අනුව පුද්ගල සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

තර්කානුකූලව සිතිය හැකි උසස් මනසක් පුද්ගලයෙකු සතු වෙනවා. එම බුද්ධිමත් බව උප‍යෝගී කරගනිමින් සමාජයේ යහපත්ව ජීවත්වීම සඳහා තම තමාගේ ධර්මයට අනුකූල වන පරිදි ජීවිතය හැඩගසා ගන්න ඕන. බෞද්ධයෙකු නම් සෑම විටම දුෂ්චරිතයෙන් ඉවත්වෙමින් පංචශීල ප්‍රතිපත්තිය අනුගමනය කරමින් වැරැදි නිවැරැදි කරගනිමින් පුද්ගල අභ්‍යන්තරය දියුණු කර ගත යුතුයි. පංච ශීලය යනු පුද්ගල සංවර්ධනයේ ප්‍රඥප්ති පහයි. විෂය දැනුමෙන්, තාක්ෂණයෙන්, විද්‍යාවෙන් දැනුම ලබාගන්නා පුද්ගලයාගේ සමබරතාව ආරක්ෂා කරගැනීම සඳහා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන් වර්ධනය කරගැනීම වැදගත්. ඡන්දය, ද්වේෂය, මෝහය යන සතර අගතියෙන් තොරව කටයුතු කිරීමට නිතරම පුරුදු පුහුණු ෙවන්න ඕන.

පුද්ගලයන් තමාගේ පවුලටත්, ගමටත්, රටටත් සමාජයටත් යහපත් විශිෂ්ට පුරවැසියන් වෙනවා. ඔහු සම්‍යයක් දෘෂ්ටියෙන් අවබෝධයෙන් කටයුතු කරන පුද්ගලයෙකු නිසාම පුද්ගල සංවර්ධනයට ‍මෙන්ම සමාජ සංවර්ධනයට ඉවහල් වෙනවා. පුද්ගල සංවර්ධනයේදී පරාර්ථකාමී ජීවන රටාවක් ජීවිතයට හුරු පුරුදු කරගැනීම අතිශයින් ම යෝග්‍යයි.

පුද්ගල සංවර්ධනය තුළින් රටේ සංවර්ධනය කෙරෙහි බලපාන ආකාරය පැහැදිළි කළොත්?

රටක් සංවර්ධනය වීමේදී පාලකයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වාම ධාර්මික දිවිපෙවෙතක් අනුගමනය කිරීම වැදගත් ෙවනවා. සතර අගතියෙන් තොරව, දශරාජ ධර්මයෙන් යුක්තව, සප්ත අපරිහානිය ධර්ම අනුගමනය කරමින් පාලකයා රට පාලනය කරන්න ඕන. දූෂණයෙන් භීෂණයෙන් තොරව කටයුතු කිරීම තුළින් ඉහළ සිට පහළට සංවර්ධනය ගලාඒමක් සිදු වෙනවා. පුද්ගලයා ධාර්මික වන ප්‍රමාණය අනුව ර‍ටේ සංවර්ධන වේගය රඳාපවතිනවා. තමන් ගැන පමණක් සිතමින් තම අභිමතාර්ථයන් පමණක් සපුරාගැනීමට සිතනවා නම්, ඔහු සමාජය රට ගැන හිතන්නේ නැහැ. අනෙකාගේ සුවය පහසුව අයිතිය නිදහස අගය නොකර හොඳින් හෝ නරකින් තමාගේ සිතැඟි පමණක් ඉටුකරගැනීමට උත්සාහ කරනවා නම්, පුද්ගලයාත් පිරිහෙමින් රටත් පිරිහීමට පත්වෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි රටක දියුණුවට පුරවැසියන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් මොනවාද?

රටක දියුණුවට පුද්ගල දියුණුව ඍජුවම බලපානවා. සිඟාලෝවාද සූත්‍රය, මංගල සූත්‍රය, පරාභව සූත්‍ර දේශනා විචාරශීලීව විමර්ෂණය කරමින් ඒ අනුව අන්‍යෝන්‍ය සුහදතාව ගොඩනඟාගනිමින් එකිනෙකා අතර යුතුකම් වගකීම් වටහාගැනීමෙන් පුරවැසියන් වශයෙන් රටක දියුණුවට දායකවිය හැකියි. දහමෙහි ධනය පිළිබඳව අවධාරණය කරන්නේ ධාර්මික පදනමයි. දෑතේ දෙපයේ වීර්යයෙන් ධර්මානුකූලව ධනය ඉපයිය යුතුයි. අවි ආයුධ ගනුදෙනු, වස විෂ වෙළඳාම, සත්ත්ව වෙළෙඳාම, වහල් වෙ‍ෙළඳාමෙන් වැළකී සාර්ථක ධනවතෙකු වීමට අනුගමනය කළ යුතු උපාය උපක්‍රම ගති ලක්ෂණ ව්‍යාග්ග පජ්ජ සූත්‍රයෙහි පෙන්වා දී තිබෙනවා.

වර්තමාන ජීවන රටව තුළ මෙවැනි ආකාර‍යෙහි කටයුතු කරන්නේ කෙසේදැයි යමෙකු විරෝධය දැක්වීමට ඉඩ තිබෙනවා. එය සාධාරණ නැහැ.

ලෝකයේ සාර්ථක ව්‍යපාරිකයන්, ධනවතුන් බිහිවුණේ දවසකින් දෙකකින් නොවේ. ව්‍යාපාරිකයන් පිළිබඳව විමසිලිමත් වන විට බුදු දහම අනුමත ධ‍නෝපායන මාර්ග ඔවුන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව අනුගමනය කර ඇති බව පෙනෙනවා. දුරාචාරය අනුගමනය කරමින් අයථා ක්‍රමවලින් ධනය උපයන පුද්ගලයා මෙලොවත් පරලොවත් විනාශ වෙනවා. බුදු රදුන් අනුදැන වදාළ ධනවතෙකු වීමේ දැහැමි මඟ නම්, උට්ඨානු උපසම්පදා, කල්‍යාණ මිත්‍රත්වය, උපයන ධනය සුරක්ෂිත කරගැනීම හා සමබර ජීවන ක්‍රමයක් අනුගමනය කිරීමයි.

පුද්ගලයා පිරිහෙනවිට පුද්ගලාන්තර බලපෑමෙහි සමාජයම පිරිහීමට ලක්වෙනවා. පුද්ගලයාගේ දැනුම හා ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන ඔහුගේ කේන්ද්‍රීය සම්ප්‍රේෂණය තුළින් අසල්වැසියන්, ඥාතීන්, ජාතිය හා සමස්ත මානව පරපුරෙහිම අනාගතයට බලපානවා.

පුද්ගල හා සමාජ සංවර්ධනය පිණිස භික්ෂුවගෙන් සිදුවිය යුතු මෙහෙවර කුමක්ද?

තථාගතයන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අනාගතය සඳහා පවත්වාගෙන යාමට බිහිකළ පිරිසක් ලෙස භික්ෂූන් වහන්සේලාට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. බුද්ධ ශාසනය සමාජයට රැගෙන යාමේදී සමාජයේ පොදු වස්තුවක් ලෙස බෞද්ධ භික්ෂූන් වහන්සේ අපමණ මෙහෙවරක යෙදෙනවා. සංසාර දුක පිළිබඳ හැඟීම් ඇතිවන ආකාරයෙන්ද, සංසාර දුක අවබෝධවන ආකාරයෙන්ද යහපත අයහපත නිවැරැදිව පැහැදිලි කරදෙමින් අර්ථ‍යෙන් ධර්මයෙන් ධර්ම දේශනා කිරීම භික්ෂූන් වහන්සේගේ කාර්යභාරයයි.

සංහිඳියාව ගොඩනැඟීමේදී ඔබ වහන්සේ ප්‍රායෝගිකව ආදර්ශමත්ව ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කරනවානම්

බෞද්ධ, හින්දු, කතෝලික. ඉස්ලාම් ආගම අදහන විවිධ ජාතීන්ගෙන් විවිධ සංස්කෘතින්ගෙන් යුක්ත සංකීර්ණ සමාජයක් තිබෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගන්න පුළුවන්. භින්නරුචික සමාජයක ජීවත්වන නිසාම විවිධාකාරයේ අදහස් අතර ගැටුම් ඇති විය හැකියි. එය ස්වභාවික තත්ත්වයක්. එම නිසාම අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමට කාලය උදාවෙලා තිබෙනවා. අනබෝධයෙන් කටයුතු කිරීමෙන් විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවුණා. හැම ජාතියකම හැම ආගමකම සිටින අන්තවාදී පුද්ගලයන්, ජන සමාජය විනාශ කරමින් තමාගේ පටු පරමාර්ථ මුදුන්පත් කරගැනීමට උත්සාහ කළා. එහි අයහපත් ප්‍රතිඵලයක් වශයෙන් කරුණාව, මෛත්‍රිය පදනම්ව අතීතයේ සිට ගොඩනැඟුන සෞභාග්‍යමත් දීප්තිමත් සංස්කෘතිය විනාශ වුණා. එම නිසා සංහිඳියාවෙන් කටයුතු කිරීමට සියලු දෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර ගත යුතුයි. සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කිරීම වැදගත් වනවාසේම යම් ක්‍රියාවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමෙන් හටගන්නාවූ ප්‍රතිඵලය සංහිඳියාව ගොඩනැඟීමේදී වඩාත් වැදගත් වෙනවා.

 

සටහන
හේමමාලා රන්දුනු

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...