අරහත්ත වග්ගයෙන් නිරූපිත රහතන්වහන්සේ | දිනමිණ

අරහත්ත වග්ගයෙන් නිරූපිත රහතන්වහන්සේ

 

කෑගල්ල ඔලගංකෙන්ද, ශ්‍රී සාම විහාරාධිපති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පටිපත්ති සංවර්ධන සභාවේ ලේඛකාධිකාරී, පූජ්‍ය
දීවෙල මහින්ද මහා ස්ථවිර

රහතන් වහන්සේ පිළිබඳව ඉතා සුන්දර ලෙස හඳුන්වා දෙන්නේ ධම්මපදයේ අරහත්ත වග්ගයෙහිය. බුදු දහමේ ඉගැන්වෙන පරම නිෂ්ටාව වශයෙන් සැලකෙනුයේ නිවන යි. වාණ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් මිදීම නිවන වශයෙන් ථෙරවාදී ඇදුරෝ විස්තර කරති. තෘෂ්ණාව හෙවත් ආශාව මුල්කොට ඇති කෙලෙසුන් ප්‍රහීණ කළ පුද්ගලයා රහතන් වහන්සේ ය.

රහත් යන්න අර්හත් යන පදය හා සම්බන්ධයි. එය ‘අර්හ’ යන ධාතුවෙන් නිපදී තිබේ. එයින් අදහස් කරනුයේ යෝග්‍ය, සුදුසු පුද්ගලයා යන්න යි. මෙහි නිරුක්ති අර්ථ රැසක් විසුද්ධි වග්ගයෙහි දැක්වේ.

රහතන් වහන්සේ යන අරුත දීමට ක්ෂීණාශ්‍රව යන්න ද ව්‍යවහාරයට පත් ව ඇත. ක්ෂීණ වූ පහ වූ ආශ්‍රව ඇති තැනැත්තා යනු එහි අර්ථය යි. කාම - භව - දිට්ඨි - අවිජ්ජා යනුවෙන් ආශ්‍රව හතරකි. රහත් බවට පත්වීමේ දී මේ ආශ්‍රව සියල්ල ඔහුගේ සන්තානයෙන් බැහැර වේ. එවිට ඔහු නිවනට පැමිණියා වේ. ‘ඛීණා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්ථාය’ යනුවෙන් දැක්වෙන පරිදි එබඳු ශ්‍රේෂ්ඨ පුද්ගලයා ජාතිය හෙවත් උපත පහකොට ඇත. ඒ සඳහා බඹසර හැසිර ඇත. කිරීමට තවත් යමක් ඉතිරි වී නැත. සියලු කෙලෙසුන් නසා ඇත.

ධම්මපද අරහත්ත වග්ගයේ ගාථා දහයකි. එම ගාථාවලින් රහතන් වහන්සේගේ ස්වභාවය කෙබඳු ද යන්න පැහැදිලි කරගත හැකිය. එක් අවස්ථාවක ජීවක වෛද්‍යවරයා බුදුරදුන්ගේ පාදයේ ඇති වූ තැල්මකට බඳින ලද බෙහෙතක් නියමිත වේලාවට ලිහා දැමීමට නො හැකි වීමෙන් බුදුරදුන්ට වේදනාවක් ඇති වූයේ දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ,

‘ගතද්ධිනො විසොකස්ස

විප්පමුත්තස්ස සබ්බධි

සබ්බගන්තප්පහීණස්ස

පරිළභො න විජ්ජති’

යනුවෙන් සසර ඉපදීම නැති කළ, ශෝක දුරු කළ සියලු තැන්හි නො ඇලී ඉන් මිදුණා වූ, සියලු කෙලෙස් ගැට සිඳලූ රහතුන් වහන්සේට දැවිල්ලක් නැත. කෙලෙස් නැසූ නිසා සිත් තැවුලක් හෝ දැවිල්ලක් ඇති නො වෙතැ’යි වදාරා ඇත.

මෙහි ‘ගතද්ධිනෝ’ යනු මාර්ගයට පැමිණි යන අර්ථය යි. කාන්තාර මාර්ගය, සංසාර වට්ට මාර්ගය වශයෙන් අතර මාර්ග දෙකකි. එයින් කාන්තාරයට පැමිණි පුද්ගලයා යම් විටක තමන් කැමැති ස්ථානයට නො පැමිණෙන්නේ ද එතෙක් ඔහු මගියෙක් ම වේ. ඒ ස්ථානයට පැමිණි විට ඔහු ගතද්ධි මාර්ගය අවසන් කළ පුද්ගලයෙක් වෙයි. සංසාර වට්ටයෙහි ඇවිදින පුද්ගලයෝ ද සසර වසනා තාක් කල් මගියෝ ම වෙති. කුමක් නිසා ද? සංසාර වට්ටය අත් නො හැරි හෙයිනි. සෝවාන් ආදීහු ද මගියෝ ම ය.

සසර පැවැත්ම පසෙකට දැමූ රහතන් වහන්සේ වූ කලි ගතද්ධි හෙවත් සසර ගමන් කෙළවර කළ හෙයින් ගතද්ධි යන නම ලබයි. ‘විසෝකස්ස’ යනු සසර පැවැත්ම මුල්කොට ඇති ශෝකවලින් බැහැර වූ හෙයින් ශෝක නැත්තෙකු වෙයි. ‘සබ්බධි’ සියලු ස්කන්ධාදි ධර්මයන් කෙරෙහි ‘විප්පමුත්තස්ස’ සිව් වැදෑරුම් ග්‍රන්ථ (ගැටලු) ප්‍රභීණ කළ හෙයින් සබ්බගන්ථප්පහීණස්ස යනු වේ. ‘පරිළහෝ න විජ්ජති’ දැවීම් දෙකකි. කායික හා චේතසික වශයෙනි. එයින් රහතන් වහන්සේට ශීත උෂ්ණාදී වශයෙන් උපදින කායික දැවීම් නිවුණේ නැත.

ආහාරපාන ආදී ගොදුරුවලින් පිරුණු කුඩා විලකට බසින හංසයෝ ගොදුරු සොයාගෙන එයින් පිටත් ව යන විට මේ මගේ ජලය ය. මේ මගේ නෙළුම් ය. මේ මගේ උපුල් ය. මේ මගේ මල් කෙම් ය අදී වශයෙන් ඒ තැන පිළිබඳ කිසි ම බැඳීමක් නොමැති ව අපේක්ෂා රහිත ව ම ඒ පෙදෙස හැරදමා ඉගිලී යති. එසේ හංසයන් මෙන් රහතන් වහන්සේ ද කිසි ම තැනෙක හෝ කිසි ම දෙයක හෝ කිසි ම කෙනෙකු කෙරෙහි නො ඇලෙන බව,

රහතන් වහන්සේලා කර්ම හෝ සිවුපසය රැස් කිරීමක් නො කරති. කැඳ ආදියේ දී ඒවා කැඳ බව දැනීම (ඤාතපරිඤ්ඤා) කැබැලි ආහාර ගැනීමේ දී ඡන්දරාගයෙන් තොර වූ ඥානයෙන් යුතු ව ගැනීම, (පහාණ පරිඤ්ඤා) යන මේ ආකාරයෙන් දැනගෙන ආහාර ගැනීම සිදු කරති. රාගාදියෙන් මිදුණ, රාගාදී නිමිති නැති, නිවන අරමුණුකොට වසන එබඳු රහතන් වහන්සේ මරණින් මතු ගිය මග හෝ යන මග නොදත හැකි ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරයත්ති සංවර්ධන සභාව විසින් ප්‍රකාශනය කරන ‘පරයත්ති’

සඟරාවේ 8 වන කලඹින් උපුටාගන්නා ලදි 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...