කඳුකරයට සිහිල බෙදන බඹරකිරි ඇල්ල | දිනමිණ

කඳුකරයට සිහිල බෙදන බඹරකිරි ඇල්ල

හිරු,කඳු වළලු අතරින් එබී බලන්නට තැතනුවත්, ඊට ඉඩක් නම් නැත. අහස් වියන සිඹින තුරු හිස්, ගැටගැසුණු වලාකුළු අතරින් පෙරී එන ලා හිරු කෙඳිති මකාලන්නට තරම් සැහැසි වී ඇත. මුළු පරිසරයම වැස්සකට අර අඳින විට පරිසරයේ දැකිය හැකි මූසල අඳුරින් පිරී ඇත. ඉඳහිට වැහි පොදයක් දෙකක් පතිත වුණත්, මාස කිහිපයකම සිට වැසි නොදුටු පරිසරයක් මුළු මාතලේ දිසුත්‍රික්කය පුරාම දැකිය හැකි ය.

අපේ අරමුණ වූයේ, මාතලේ සිට රිවර්ස්ටන් සහ පිටවලපතන පුංචිලෝකාන්තය දක්වා යාමට ය. ඒ යන අතරමඟ, වියන් මත වියන් බඳිමින් කඳු මුදුන් සරසන තුරු සමූහයාත්, නෙක් අපූරු සොබාසිරි අසිරි විඳගැනීමට සමත් පරිසරයත් ගෙන දුන්නේ අප්‍රමාණ ප්‍රබෝධවත් බවකි. මේ මඟ ගමන්ගත් අපට,මාතලේ රත්තොට සිට පල්ලේගම දක්වා දිවෙන මාර්ගයේ රත්තොට සිට කිලෝ මීටර් අටක් ගියතැන, හොරගොල්ල වෙලන්ගහවත්ත ගම්මානවලට යන අඩිපාර අසළ,බඹරකිරි ඇල්ල ලෙසින් සඳහන් නාමපුවරුවක් දැකගත හැකි විය.

"අන්න දියඇල්ලක්. නවත්තන්න.නවත්තන්න." ඒ කෑගැසීමත් සමඟ විඩාබර දෙනෙත් ප්‍රාණවත් විය. බඹරකිරිඇල්ලට හැරෙන වංගුව අසල වාහනය නතරවිණි. සියල්ලෝම වාහනයෙන් පැනගත්තේ දියඇල්ලක් නැරැඹීමට ලැබීමේ නිම්හිම් නැති ප්‍රීතිය විඳ ගනිමිනි.

වෙලන්ගහවත්තට ගමන් ගන්නා මාර්ගය දිගේ මීටර් 200ක් 300ක් පමණ පයින් ගමන්ගත්විට මේ දියඇල්ල වෙත ළඟාවිය හැකි ය.

ඇල්ලට සමීප වන්න සමීප වන්න වැයෙන පදට ගැයෙන රාවයක් ද අසන්නට ලැබිණි. සමහරු ඇල්ලෙන් වැටෙනා දිය දහරේ සිසිලස විඳිමින් දියබුං ගසති. තවත් සමහරු දිය වැටෙමින් සැකසෙන තටාකයේ පිහිනති. තවත් නඩයක් දිය නා , ඇල්ල අසල කොළ එලාගෙන දිවා ආහාරය බුදිති. තවත් අය, ඇල්ල අසලින් එගොඩට වැටී ඇති එල්ලෙන පාලමේ හරි මැදට වී දියඇල්ලේ සුන්දරත්වය විඳිති. තව පිරිසක් කැමරා එල්ලාගෙන දියඇලි කොමළියගේ සොඳුරු දසුන්, නෙක් කෝණවලින් හිඳ කාච මත සිත්තම් කරති. සමහරු එල්ලෙන පාලමේ ගමන් ගනිමින්, ඒ සොඳුරු අත්දැකීම වින්දනය කරති.

මධ්‍යම කඳුකරයේ සුන්දරත්වය ඔප් නංවන දුම්බර කඳු, එසේත් නැත්නම් නකල්ස් කඳුවැටිය යනු,මේ වනවිට සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයකි. තරුණ පරපුරේ ගමන් පිපාසිතයන්, නකල්ස් යාමට වැඩිපුරම කැමැත්තක් දක්වයි. විදේශ සංචාරකයන් ද බොහෝ පිරිසක් දුම්බර ප්‍රදේශයේ විවිධ ස්ථාන කරා ඇදෙමින් සංචාරයේ නිරත වන අතර, මේ ප්‍රදේශයේ පිහිටි සොඳුරු ස්ථාන අතරින් දියඇලිවලට විශේෂත්වයක් හිමිවේ. එම දියඇලි අතරින් බඹරකිරි ඇල්ල ද සුවිශේෂී සංචාරක ස්ථානයකි.

බඹරකිරිඇල්ලේ ජල දහරා ඇරැඹෙන්නේ නකල්ස් කඳු පන්තියෙනි. එම සුපිරිසිදු දිය දහරා ගලාවිත් තනනා මේ දියඇල්ලේ ජලය, අතිශයින් ම සුපිරිසුදු ය. පානයට සුදුසු ය. රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසෙන ජනී ජනයාගේ දිය පහස නිවාලන්නේ ද මේ දියඇල්ලෙනි.මේ ඇල්ලට බඹරකිරි ඇල්ල යන නම පටබැඳී ඇත්තේ, ඇල්ල අසල පර්වතයේ බඹර බැඳ තිබූ නිසා යැයි කතාවක් පවතී. එය කෙසේ වුව ද, බඹරකිරිඇල්ල යනු අතිශයින් ම චමත්කාරජනක දියඇලි කොමලියකි.

මෙහි දියඇලි දෙකකි. එක් දියඇල්ලක් අඩි පහලොවක් පමණ උස ය. එම ජලය විශාල වළකට ඇදහැලේ. එතැන් සිට දිය ගලාවිත් තවත් දියඇල්ලක් තනයි. එයින් වැටෙන ජලය පොකුණක් ආකාරයෙන් දිස්වේ. එයින් පසු, ගල් තලාවක් මතින් පහළට ජලය ගලා යයි. එම ජලය ගලායන ප්‍රදේශය ද ගල් බේසමක් වැනි ලෙස සැකසී ඇත. එය අපූර්ව ස්වභාවික නිර්මාණයකි.

දියඇල්ලේ ජලය කඩා හැලෙන වතුර වළ, කවාකාර ය. එයට වැටෙන ජල දහර රවුමක් කරකැවී පහළ‍ට ගලා බසී. මේ ස්ථානයට ගොස් බොහෝදෙනා දිය නෑමට කටයුතු කළ ද, එම ස්ථානය ලිස්සන සුළු ය. එබැවින් මෙහි දිය නෑම භයානක බව ප්‍රදේශවාසීහු පවසති. පසුගිය කාලයේදී මේ ස්ථානයේ නෑමට පැමිණි පිටස්තරයන් දියේ ගිලී මියගිය අවස්ථා බොහොමයක් ම වාර්තා වූ බව ද ඔවුහු පවසති.

මේ ස්ථානය අවට, නකල්ස් රක්ෂිතයට ආවේණික පැළෑටි, ගස් බොහොමයක් දැකිය හැකි ය. කුරුල්ලන්, සමනල් විශේෂ බොහොමයක් මේ ප්‍රදේශයේ වාසය කරති.බඹරකිරිඇල්ලෙන් ගලා හැලෙනා දිය දහර, ඉන් පහළ ප්‍රදේශයේ කුඹුරු යාය කිහිපයක්ම සරු කරමින් ගලාබසී. එසේ ගලා යන දියදහරා, අඹන් ගඟ ඔස්සේ මහවැලි ගඟට ගලාගොස්, රජරට කුඹුරු සරු කරයි.

ඉරෝෂිණී දීපිකා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...