ඔබ පලතුරුවල හොඳ ම ටික කන්නෙ නැද්ද? | දිනමිණ

ඔබ පලතුරුවල හොඳ ම ටික කන්නෙ නැද්ද?

එදිනොදා අහාරයට ගන්නා බොහෝ පලතුරුවල පෝෂණ ගුණයෙන් යුක්ත කොටස්,හිතාමතාම හෝ නොදැනුවත්කම නිසා අපි ඉවත් කරන්නෙමු. මේ , නිතර කෑමට ගන්නා පලතුරුවලින්, කෑමට නොගෙන ඉවත දමන, එහෙත් පෝෂණ ගුණයෙන් ඉහළ කොටස් පිළිබඳ ය.

ඇපල් පොත්ත

බොහෝදෙනා ඇපල් කනවිට පොත්ත ඉවත් කරන්නේ, එහි දූවිලි සහ කල් තබා ගැනීමේ රසායන ද්‍රව්‍ය ඇතැයි පැවසෙ නිසා ය. ඇපල් පොත්තේ අඩංගු වන ක්යරසෙටින් නමැති විශේෂ ප්‍රතිඔක්සිකාරකය නිසා, පෙනහලු සහ මොළයට ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකි ය. ඇපල් පොත්ත, මදයට වඩා කෙදි සහ විටමින්වලින් බෙහෙවින් ම වැඩි ය. මේ නිසා, ඇපල් පොත්ත ඉතාමත් ගුණදායක ය. ඇපල් කනවිට කවදාවත් පොත්ත ඉවත් කිරීම නුසුදුසු බව පැවසෙන්නේ මේ නිසා ය. ඒ නිසා, ඇපල් පොත්තේ ඇති ගුණ ලැබ ගන්න, ගෙඩිය හොඳින් සෝදා කෑමට ගැනීම සුදුසු ය.

දොඩම් ලෙල්ල

දොඩම් කියන්නේ විටමින් සී සහිත ආහාරයකි. ඒත්, දොඩම් ලෙල්ල සතු සුවිශේෂී ගුණ ගැන ඔබ දන්නවාද? දොඩම් ලෙල්ලට , රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇත. මේ හැකියාව කොලෙස්ටරෝල්වලට ලබා ගන්නා සමහර ඖෂධවලටත් වඩා ප්‍රභල ය. ඒ විතරක් නොව, හදවත් රෝගවලින් අප ආරක්ෂා කිරීමේ හැකියාව ද එය සතුව තිබේ. දොඩම්වලට පමණක් නොව, දොඩම් පවුලේ අනෙක් පලතුරුවල ද මේ හැකියාව පවතී. එහෙත්, දොඩම් ලෙල්ල පිටින්ම ආහාරයට ගත නොහැකි ය. ඒ නිසා, දොඩම් ලෙල්ල කුඩා කැබැලිවලට කුඩු කර,ආහාරවලට එකතු කර ගත හැකි ය.

පැණි කොමඩු පොත්තේ සිවිය

පැණි කොමඩුවල අපි හැම විටම ආහාරයට ගන්නේ රතුපාට මාංශල කොටස පමණි. එහෙත්, පොත්ත සමඟ ඉවත් කරන සුදු පැහැති කොටස අපි ආහාරයට නොගන්නෙමු. ඒත්, මේ සුදුපාට කොටසේ එල් සට්‍රලයින් නමැති ඇමයිනෝ අම්ලය අන්තර්ගත නිසා, ඒ මඟින් ශරීරයේ ක්‍රියාශීලී බව වැඩි කරන අතර, මාංශ පේශීවල වේදනාව දුරු කිරීමේ හැකියව ද ඇත. ඒ විතරක් නොව, රුධිරයේ නයිට්‍රජන් ඉවත් කිරීමේ හැකියාව ද කොමඩු පොත්ත සතුව ඇත. මීට පසු කොමඩු ආහාරයට ගන්නා විට, පොත්ත රැහැලා ඉවත් කර, සුදු පාට කොටසත් සමඟම ආහාරයට ගැනීම වඩාත් සුදුසු ය.

යශෝදා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...