මිදි රෝග රැසකට ඖෂධයක් | දිනමිණ

මිදි රෝග රැසකට ඖෂධයක්

මිදි සියලු පලතුරු අතර විශිෂ්ටයා යැයි ඉන්දියාවේ ලියැවුණු චරක නම් ආයුර්වේද ග්‍ර‍න්ථයේ සඳහන්ව ඇත. සෞම්‍ය දේශගුණය සහිත යුරෝපා රටවල උපත ලද මිදි, ශ්‍රී ලාංකිකයන් හඳුන්වන්නේ පොහොසතුන්ගේ පලතුරක් ලෙස ය. ප්‍රංශය, ඉතාලිය, අමෙරිකාවේ කැලිෆෝනියාව ආදී ප්‍රදේශවල හොඳින් වැඩෙන මිදි, කොළ, දම් සහ කළු වර්ණ ගනී. විවිධ හැඩ සහ ප්‍ර‍මාණවලින් යුක්ත මිදි, කුඩා ප්‍ර‍මාණයේ සිට විශාල ප්‍ර‍මාණය දක්වා ද, ඇට රහිත තත්ත්වයේ සිට ඇට ඇති තත්ත්වය දක්වා ද විවිධ වේ.

මිදි ඉතා වටිනා ‍ඖෂධීය ගුණැති පලතුරකි. සමේ රෝග, උගුර ආශ්‍රිත රෝග ආදියට ගුණදායක ය. මිහිරි රසයකින් යුක්ත නිසා ආහාර රුචිය ඇති කරයි. ඉදුණු මිදිවල මූත්‍රාකාරක ගුණය අඩංගු අතර, සිහිල්ය. වාජීකරණ ගුණයෙන් ද යුක්ත ය. පිපාසය, උදරයේ දැවිල්ල, උණ, ක්ෂයරෝගය, සෙංගමාලය, ඇදුම, වමනය, අක්‍ර‍මවත් ඔසප් වීම, ශරීර තරබාරුව සහ කතා කිරීමේ අපහසුතාව වැනි රෝග තත්ත්වවලට ගුණ ලබාදෙයි. ආමාශයේ අම්ල තත්ත්වය අඩුකර, ආහාර ජීර්ණය පහසු කරයි. ආයුර්වේද ග්‍ර‍න්ථවල සඳහන් පරිදි මිදිවල අඩංගු වාජීකරණ ගුණය, වයස්ගතවීම වළක්වා, තරුණ බව රැක දෙයි.

අමු මිදිවල අම්ල ගතිය වැඩි ය. සීනි මට්ටම අඩු ය. එහෙත්, ඉදෙන විට ග්ලූකෝස් ලෙසින් පවතින සීනි මට්ටම ඉහළ නගියි. 30%ක පමණ අගයක් ගන්නා මේ සීනි, ඉතා ම ඉක්මනින් සිරුරට උරා ගන්නා නිසා, දුර්වල රෝගීන්ට ඉතා ගුණදායක ය. එමෙන් ම, ශක්තිය ද ලබාදෙයි.

මිදිවල අඩංගු යකඩ, නීරක්තිය හෙවත් ලේ හිඟ බවට සහනය ලබා දෙයි. මිදි යුෂ මිලි ලීටර් 300ක් පානය කිරීමෙන් රක්තහීනතාව පාලනය වන බැව් පර්යේෂණවලින් සනාථව ඇත. මිදිවල අඩංගු මැලික්, සිට්රික්, ටාටරික් ආදී අම්ල මගින් රුධිරය පිරිසුදු වේ. අන්ත්‍ර‍ සහ වකුගඩු ක්‍රියාකාරීත්වය උත්තේජනය වෙයි. මූත්‍රා දැවිල්ලට මෙන් ම වේදනාකාරී ඔසප් වීම, අක්‍ර‍මවත් ලෙසින් ඔසප්වීමේදී රුධිරය පිටවීම සහ ආතරයිටිස් රෝග තත්ත්වවලට ගුණ ලබා දෙයි.

මිදි ග්‍රෑම් 100ක අඩංගු පෝෂණ සංයුතිය වන්නේ, ජලය 85.5%, මේදය 7.1%, ප්‍රෝටීන් 0.8%, පිෂ්ඨය 0.2%, විටමින් ඒ, බී2, නියැසින්, විටමින් සී, කැල්සියම්, පොස්පරස් හා යකඩ බහුලව ඇත.

යුෂ මිරිකා පානය කිරීමෙන් මිදිවලින් ලබාගත හැකි ගුණ උපරිම කරගත හැකි ය. මිදි යුෂ පානය කිරීමෙන් ශරීරයේ උෂ්ණාධික බව දුරුවී, ලේ පිරිසුදු වේ. මළබද්ධය වළකා, අර්ශස් රෝග තත්ත්ව ආරක්ෂා කරයි.

අමෙරිකාවේ කරන ලද පර්යේෂණයක සඳහන්ව ඇත්තේ, මිදිවල පිළිකා නාශක ගුණ පවතින බව ය. මිදි යුෂ පානය කිරීමෙන් උදරගත සහ බඩවැල්වල ඇති විය හැකි පිළිකා අවදානම බොහෝ දුරට පාලනය කර ගත හැකි ය. ඒෙස්ම මේ සෑම ගුණයක්ම ලැබෙන්නේ, වස විසෙන් තොර මිදිවලින් බව මතක තබා ගන්න.

අන්තර්ජාලය ඇසුරිනි

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න