සිරුර නිරෝගී කරන සරල සංගීතය | දිනමිණ

සිරුර නිරෝගී කරන සරල සංගීතය

සංගීතය සම්බන්ධයෙන් කර තිබෙන දීර්ඝ පර්යේෂණවලින් තහවුරු වී තිබෙන්නේ, කායික වගේම මානසික නිරෝගී බවට සංගීතය බෙහෙවින් ඉවහල් වන බව ය. සංගීතයට සවන් දීම, ගායනය, වාදනය මඟින් කායික මානසික සමතුලිත බව මෙන් ම, ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වය ද ඇති කරවයි.

එසේ ම, ආහාර දිරවීම, නිසි ලේ ගමනාගමනය, ශක්තිය රඳවා ගැනීම, සිරුරේ වර්ධනය, පෙනහළුවල අසාදිත තත්ත්ව අවම කිරීම, පෙනහළු නිරෝගී කිරීම, ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සඳහාත් සංගීතය ඉවහල් වේ. හදවත් රෝග සුවපත් කරන ප්‍රතිකාර අතර සංගීතයත් එක ප්‍රතිකාරයකි. හදවත් රෝග හා ලේ ගමනාගමනය ගැන පර්යේෂණ රැසක් කළ රුසියානු වෛද්‍යවරුන් දක්වන ආකාරයට, මෘදු සංගීතයට සවන් දීමෙන් මානසික ආතතිය අවම වන අතරම, ලේ ගමනාගමනය හා රුධිර සංසරණ රිද්මය නිවැරැදි කෙරේ.

වර්තමානයේ අපට බොහෝවිට ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ ඝෝෂාකාරී සංගීතයකි. ඝෝෂාකාරී හා අධික රිද්ම තරංග සහිත සංගීතය ශ්‍රවණය කිරීමෙන් පුද්ගලයාගේ භාව ප්‍රකෝප වේ. ඒ වගේම, නාඩි වේගය, මාංශ පේශිවල චලනය, රුධිර පීඩනය, ලේවල සීනි ප්‍රමාණය, ඝෝෂාකාරී සංගීතය නිසා ඉහළ යන බව සඳහන් වේ. ශාස්ත්‍රීය ගීත වගේ ම මෘදු නාද රටා මඟින්, මානසික ආතතිය මඟ හැරීමට, සිත සැහැල්ලු කිරීමට, ආහාර රුචිය වැඩි කිරීමට, හොඳ නින්දක් ලැබීමට වගේම, සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් කෙරෙහි අප වින්දනය කරන සංගීතය බලපායි.

මේ නිසා, ඔබත් ඝෝෂාකාරී හා කරදරකාරී සංගීතයෙන් මිදී, සරල හා මියුරු සංගීතය ශ්‍රවණය කිරීමට උනන්දු විය යුතු ය. ඒ මඟින් ඔබට කායික මානසික සුවයක් අනිවාර්යයෙන් ම ලබා ගත හැකි ය. ඔබගේ හිතේ හිර කර සිටින පීඩාකාරී වේදනා අඩු කර ගැනීමට මෙය උදව්වක් වේවි.

 

අන්තර්ජාලය ඇසුරිනි

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න