දෑත්වල ආතරයිටිස් ද? මෙන්න ප්‍රතිකාර | දිනමිණ

දෑත්වල ආතරයිටිස් ද? මෙන්න ප්‍රතිකාර

ආතරයිටිස් යනු වර්තමානය වනවිට මැදි වයසේ කාන්තාවන්ට සුලභවම වැලඳෙන රෝගයකි. එය වැඩි වශයෙන් ම වැලඳෙන්නේ නිරතුරුවම ගෙදරදොරේ වැඩ කටයුතු කරන කාන්තාවන්ට වීම විශේෂත්වයකි. බෙහෝ විට කාන්තාවන්ට වැළදෙන ආතරයිටිස් රෝගී තත්ත්වය බලපාන්නේ දෑත්වලට ය. දෑත්වල ඉදිමීම, අධික වේදනාව නිසා ඔවුන්ට තම ගෙදර දොරේ කටයුතු කිරීමට නොහැකි වේ. මේ නිසා ඇතිවන දෑත් වේදනාව වළක්වා ගැනීමට නිවසේ දීම කළ හැකි ප්‍රතිකාර කිහිපයකි.

අයිස් බෑගය

ආතරයිටිස් තත්ත්වය දීර්ඝ කාලයක් පැවතීමෙන් ඇතිවන දෑත්වල වේදනාව සමනය කිරීම සඳහා, අයිස් බෑග් චිකිත්සාව වඩාත් යෝග්‍ය බව බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරති. දවසකට විනාඩි 20 පමණ කාලයක් අයිස් බෑගයක් මඟින් දෑත් සහ ඇඟිලි සම්භාහනය කිරීම සුදුසු බව ඔවුන්ගේ අදහස ය. එය කළ යුත්තේ ද තමන්ට පහසු වේලාවකදී ය. එහෙත් මේ ප්‍රතිකාරය බොහෝවිට සෙම් රෝගීන්ට සුදුසු නැත. එම නිසා, සෑම ආතරයිටිස් රෝගීයෙක් ම මේ ප්‍රතිකාරය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් පිළිපැදීම වඩාත් යෝග්‍ය ය.

ඉගුරු

ඉගුරුවල අන්තර්ගත ඇන්ටිඔක්සයිඩ් මඟින් දෑත්වල වේදනාව සමනය කළ හැකි ය. බටහිර වෛද්‍යවරුන් තම පර්යේෂණ මඟින් සනාථ කර ඇත්තේ, ඉඟුරු තේ පානය, ආතරයිටිස් මඟින් ඇතිවන දෑත් වේදනාවට වඩාත් ගුණදායක බව ය.

මී පැණි සහ කුරුඳු

මී පැණි මේස හැන්දකට කුරුඳු කුඩු මේස හැඳි භාගයක් එකතු කර සාදා ගන්නා මිශ්‍රණය, සෑම උදෑසනකම ආහාරයට ගැනීම ආතරයිටිස් රෝගීන්ට වඩාත් සුදුසු ඖෂධයකි. මේ ප්‍රතිකර්මය දිනපතා උදෑසන සිදු කළ හැකි නමුත් , එසේ කළ යුත්තේ උදරයේ ආසාත්මිකතා ඇති නොවනවා නම් පමණි. මී පැණිවල අඩංගු ඇන්ටි ඔක්සයිඩ මඟින් ආතරයිටිස් රෝගය මඟහරවා ගත හැකි බව බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරති.

ඔලිව් ඔයිල්

සෑම දිනකම දෑත්වල සහ ඇඟිලිවල ඔලිව් තෙල් ගල්වා හොඳින් සම්භාහනය කිරීම, ආතරයිටිස් රෝගීන්ගේ දෑත්වල වේදනාව සමනය කිරීමට වඩාත් සුදුසු ය. ලැවෙන්ඩා තෙල් බිංදුවකට ඔලිව් තෙල් මේස හැඳි 2ක් හෝ 4 ක් එකතු කර සාදා ගන්නා මිශ්‍රණය, දිනපතා දෑත්වල ගැල්වීම ද වඩාත් යෝග්‍ය ය.

මෙවැනි රෝගීන්ට, ඔලිව් තෙල් භාවිත කර සාදා ගන්නා ආහාර ගැනීම ද වඩාත් හිතකර ය.

අන්තර්ජාලය ඇසුරිනි

මදාරා මුදලිගේ 

නව අදහස දක්වන්න