පල නැති ඉඩම් කුමට ? | දිනමිණ

පල නැති ඉඩම් කුමට ?

 රටේ මුළු ඉඩම් ප්‍රමාණය පවුල් ප්‍රමාණයෙන් බෙදා බැලුවහොත් පවුලකට විශාල ඉඩම් ප්‍රමාණයක් ලැබෙන්නේ නැත. ඉඩම් ප්‍රමාණය ජනගහනයෙන් බෙදා බැලුවහොත් එක පුද්ගලයකුට අක්කර කාලක්වත් අයිතිවන්නේ නැත. එය සිදුවීමට ද ඉඩම්වල අයිතිය සමසේ බෙදීයා යුතුය. එවැන්නක් කුමන රටකවත් නැත. එහෙත් පුද්ගලයකු සැබෑ නම්; ඔහුට බිම් අඟලක හෝ අයිතියක් තිබිය යුතු යැයි කියති. මේ සියලු කතන්දරවලින් පෙනීයන්නේ ඉඩම් යනු ඉතා වටිනා සීමිත සම්පතක් බව ය. ඉඩම් අඩුවනවා මිස; වැඩිවන්නේ නැත. මෙහි අර්ථය වන්නේ රටක් සිය භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතු බව ය.

අපේ රටේ ඉඩම් පිළිබඳ සැලැකිල්ල යොමු කළහොත් එහි අයිතිය මූලික වශයෙන් පාර්ශ්ව දෙකකට බෙදී යයි. එක පාර්ශ්වයක් වන්නේ රජයයි. අනෙක් පාර්ශ්වය වන්නේ පෞද්ගලික අංශයයි. මේ පාර්ශ්ව දෙකම ඉඩම්වලින් උපරිම ප්‍රයෝජන ගන්නේ නැතැ’යි කියන්නට පුළුවන. සරල නිදසුනක් ගතහොත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව අක්කර පහළොස්දහසක භූමිභාගයක් තිබේ. එය රට පුරා විහිදී ඇති අතර එයින් වැඩි ප්‍රමාණය වල්වැදී තිබේ. මෙලෙස වල්වැදී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර හත්දහසකට වැඩි බව කියති. මේ ඉඩම් වාණිජ කටයුත්තක් සඳහා හෝ වගාවක් සඳහා හෝ යොදා නොගන්නේ මන් ද?

පෞද්ගලික අංශයේ ඉඩම් ගත්ත ද ඉන් එහා තත්ත්වයක් දැකගත නො හැකිය. අක්කර සිය ගණන් වල්වැදී තිබේ. ඇතැම් ඉඩම්වල අයිතිකරුවෝ පිටරට පදිංචියට ගොස් සිටිති. ඒවායෙහි අලුත් වගාවන් නැත. තව ඉඩම්වල අයිතිකරුවන් රටේ සිටිය ද කිසිදු වගාවක් සිදුකර නැත. තවත් ඉඩම්වල ඇත්තේ හානියට ගිය වගාවන් ය. ඒවා පුරන් වු ඉඩම් ලෙස ‍ඔහේ පවතී. දිස්ත්‍රික්ක ගණනාවක පරණ කුඹුරු දැන් වගා කරන්නේ නැත. ඒවා අඳයට දෙන්නේ ද නැත. වගා නොකිරීමට හේතුව ලෙස දක්වා සිටිනුයේ වගාවෙන් පාඩුයි යන්නය. ශ්‍රී ලංකාවේ සියලු කුඹුරු කන්න දෙකෙහිම වගාකරන්නේ නම්; අපට කිසිදු සහල් හිඟයක් ඇතිවන්නේ නැත. සහල් ගිනි ගණන් වන්නේ ද නැත.

ජනාධිපතිවරයා දිඹුලාගල දී කියා සිටියේ පෞද්ගලික අංශයේ සියලු ඉඩම් ප්‍රයෝජනවත් දෙයකට යොදාගත යුතු බවය. වගා කළ හැකි ඉඩම් පුරන්වීමට හරින්නේ නම්; ඒවා වෙනත් අය වෙත පවරා වගා කරවීමට අදාළ නීති-රීති ඉදිරියේදී සකස් කරන බව ය. මෙබඳු තීරණ ගෙන පෞද්ගලික ඉඩම් වගාවට යොමු කිරීමට මීට පෙර ද අවස්ථා දෙක-තුනක දී උත්සාහයන් ගෙන තිබේ. එහෙත් ඒවා හරියට ක්‍රියාත්මක වූයේ නැත. එක පවුලකට අයත් ඉඩම් ප්‍රමාණය පවා තීන්දු කළ නමුදු ඉඩම්වලින් උපරිම ප්‍රයෝජන ගන්නා තැනකට රට පත්වූයේ නැත. ජනගහනය අධිකවීමත් සමඟ ඉඩම් නිසි කළමනාකරණයකට ලක් නොකළහොත් රට අසීරු තත්ත්වයකට පත්වනු ඇත.

අතීතයේදී රටේ සියලු ඉඩම් රජතුමා සතුවිය. විහාර හා දේවාලවලට අයත් ඉඩම් පවා රජුගේ නියමය පරිදි තීන්දු විය. එදා පැවැති හොඳ ක්‍රමයක් වූයේ වගාකළ හැකි සියලු ඉඩම් වගා කිරීම ය. මඩ ඉඩම් කුඹුරුවලට ද, ගොඩ ඉඩම් හේන් වගාවට ද යොදා ගැනිණි. භාණ්ඩාගාරයට බදු වශයෙන් කොටසක් ලබාදුන් අතර ඉතිරිය පරිභෝජනයට යොදා ගැනිණි. අද ඉඩම් පිළිබඳ අයිතිය නිර්ණය කරනු ලබන්නේ රෝම - ලන්දේසි නීතියට අනුවය. මේ නීතියට අනුව පරවශ්‍යතා නම් සංකල්පයක් පවතී. එහි අර්ථය වන්නේ වෙනකකුගේ හෝ පොදු සමාජයක හෝ අවශ්‍යතා සඳහා ඉඩම් භාවිත කිරීමට නීති ප්‍රතිපාදන ඇති බවය. ඒ අනුසාරයෙන් බලනවිට ඈලියාවට ගිය පෞද්ගලික ඉඩම් රජයට පවරාගෙන ඒවා සංවර්ධනය කළ හැකි ය.

අංශ කිහිපයක තොරතුරු විමසා බලනවිට රටේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුකාරී තැන් ගණනාවක් තිබේ. සමහරු හොර ඔප්පු හදාගෙන අනුන්ගේ ඉඩම් භුක්තිවිඳිති. තව සමහරු ව්‍යාජ බලපත්‍ර ආදිය ඉදිරිපත් කරමින් රජයේ ඉඩම් භුක්ති විඳිති. තවත් සමහරු හොර ඔප්පු හදාගෙන ඉඩම් කට්ටිකොට අලෙවි කරති. පාතාල කල්ලි විසින් ද රජයේ ඉඩම් කොල්ලකනු ලැබේ. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඩම් අක්කර සියයක් මෙලෙස කොල්ලකාගෙන ඇතැ’යි කියති. ජනපදකරණයට හවුල්වූ ඇතැම් පුද්ගලයන්ගේ ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්න තිබේ. පරම්පරා ගණනකට පසු එම ඉඩම්වල අයිතිය කාටදැ’යි ගැටලුවකි. මේවාට විසැඳුම් ලෙස ‘බිම් සවිය’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වුව එය සාර්ථක වූයේ නැත.

රජයට අයත් ඉඩම් ද විවිධාකාර‍ණයෙන් අවභාවිතයට ලක්වෙයි. නැ‍ඟෙනහිර ඉඩම් කොල්ලයක් ගැන අසන්නට ලැබී වැඩි කාලයක් ගතවී නැත. උතුරේ ඉඩම් හමුදාව විසින් අත්පත් කරගෙන ඇතැ’යි තවත් චෝදනාවක් පවතී. තව පැත්තකින් කුඹුරු ගොඩ කරයි. තවත් පැත්තකින් වගුරුබිම් ගොඩකරයි. මේ නිසා ඉඩම් ගැටලුව පමණක් නොව; පාරිසරික ගැටලු ද මතුවී තිබේ. ඉඩම් සම්බන්ධයෙන් වගකියන ආයතන රටේ ඉඩම් සම්බන්ධයෙන් හොඳ අවධානයකින් සිටින්නේ යැයි කියන්නට හේතු-සාධක නැත. මෙය විශාල පාඩුවකි. මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඉඩම් පිළිබඳ අයිතිය හා වගකීම මුළුමනින්ම මධ්‍යම රජයට අයත් කාරණයක් හැටියට ය. මේ අනුව ඉඩම් පිළිබඳ තීරණය රජය සතුවේ.

රටේ සංවර්ධනය, වගා සංග්‍රාමය ආදී වැඩසටහන් සම්බන්ධයෙන් කුමන තීන්දු - තීරණ ගෙන තිබුණ ද, කුමන ප්‍රචාරාත්මක වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබුණ ද, රටේ මුළු ඉඩම්වලින් හතරෙන් පංගුවකවත් නිසි ප්‍රයෝජන අප ලබාගන්නේ නැත. හැම බිම් අඟලකම වගා කරමු යැයි සටන් පාඨ වරින්-වර සමාජගත වෙයි. එහෙත් ඒවා ඉතා ඉක්මනින් ජනතාව විසින් අමතක කරනු ලැබේ. එහෙත් නීති පනවා ඒවා සක්‍රීය කළහොත් ඉඩම්වලින් උපරිම ප්‍ර‍යෝජන ගැනීමට ජනතාව පෙලඹෙනු ඇත යන්න අපගේ පිළිගැනීම ය. කිසිවකු ඉඩම් අයිතිය අතහැරීමට කැමැති නැත. අයිතිය තබාගනිමින් ඒවා පුරන්වීමට ඉඩහැරීම අපේ සිරිතක් ලෙස පවතී. එම සිරිත වෙනස් කළ යුතුය. අපට රත්තරන් පොළොවක් ඇති බව පෙන්වා දුන්නෝ විදේශිකයෝ ය. ඔවුන්ගේ මතයට අනුව වියළි දණ්ඩක් වීසිකළ ද ලක් පොළොවෙහි එය මුල් අදියි!


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...