වසර 8කට පසු ශ්‍රී ලංකා පිලේ ලාහෝර් ගමන ස්ථීර වෙයි | දිනමිණ

වසර 8කට පසු ශ්‍රී ලංකා පිලේ ලාහෝර් ගමන ස්ථීර වෙයි

ප්‍රින්ස් ගුණසේකර

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්තානයේ ලාහෝර් හී ගඩාෆී ක්‍රීඩාංගණයේදී පැවැත්වීම ස්ථීර බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි. අද ලාහෝර්හීදී ආරම්භවන ලෝක ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තානය අතර විස්සයි 20 තරගාවලියෙන් පසු පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට කිසිදු බාධාවක් නැතැයි සඳහන් වේ.

ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වසර 8ක කාලයක් තිස්සේ පාකිස්තානයේ ටෙස්ට් හා එක්දින ක්‍රිකට් තරග පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල අනුමැතිය නොලැබුණු අතර ලෝක ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තානය අතර අද ආරම්භවන තරගාවලිය පාකිස්තානයට නැවැත ක්‍රිකට් වසන්තය උදාවීමක් ලෙස සැලකේ. මෙම විස්සයි 20 තරගාවලියේදී ලෝක ක්‍රිකට් පිලේ නායකත්වයට දකුණු අප්‍රිකාවේ ඩූ ෆෙලෙසීස්. හසීම් අම්ලා, එංගලන්තයේ පෝල් කොලින්වුඩ්, කොදෙව් ක්‍රීඩක ඩැරන් සමී, බංග්ලාදේශයේ තමීම් ඉක්බාල්, හා ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා වැනි ක්‍රීඩකයන් එක්ව සිටිති.

මේ මස අගදී ආරම්භවන ශ්‍රී ලංකා - පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් දෙක අතර පළමු ටෙස්ට් තරගය මේ 28වැනිදා අබුඩාබී ක්‍රීඩාංගණය ආරම්භවන අතර දෙවැනි ටෙස්ට් තරගය ඔක්තෝබර් 6වැනිදා ඩුබායි හීදී ආරම්භ වෙයි. එය රෝස පැහැති පන්දුවෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු දිවා - රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස ඉතිහාසයට එක් වේ. එක්දින තරගාවලිය ලබන මස 13 වැනිදා ඩුබායි හීදී ආරම්භවන අතර , අබුඩාබි සහ සාජා යන නගරවල ඉතිරි එක්දින තරග 4 පැවැත්වේ.

පළමු විස්සයි 20 තරග දෙක අබුඩාබිහි ​​දී පැවැත්වෙන අතර තෙවැනි විස්සයි 20 තරගයට පාකිස්තානයේ ලාහෝර් නුවර බලා කණ්ඩායම් දෙක පිටත් වේ. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වසර 2009දී පැවැති ක්‍රිකට් තරගාවලිය අතරතුර එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම මුලුමණින්ම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනම් කළ අතර, මේ වසරේ මුල් භාගයේදී සිම්බාබ්වේ පිල පමණක් එක්දින තරගාවලියකට සහභාගී විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ගමන්ගත් බස් රථයට 2009 මාර්තු මස 3වැනිදා එල්ලවූ ප්‍රහාරයෙන් ආරක්ෂක නිලධාරීන් 6 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මියගිය අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු තුවාල ලැබීය. පසුගිය මාසයේ කොළඹ පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමක් අමතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානී තිලංග සුමතිපාල මහතා පවසා ඇත්තේ පාකිස්තානයේ හුදකලාව අවසන් කිරීමට ශ්‍රී ලංකාවේ උපරිම සහයෝගය ලබාදීමට සූදානම් බවය.

පාකිස්තානයේ නැවැත ක්‍රිකට් තරගයක් පැවැත්වීමට කරන ලද ඉල්ලීම් සලකා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂක ප්‍රධානියකු පසුගිය මාසයේදී පාකිස්තානයට ගොස් ආරක්ෂාව පිළිබඳ වාර්තාවක් ද සපයා තිබිණි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...